අපි අවුරුදු 6ක් යාළු වෙලා ඉදලා ලිවින්ටුගෙදර් කන්සෙප්ට් එකේ ඉඳලා විවාහ වුණ දෙන්නෙක්
‘‘ගීනියම් රෑ’’, ‘‘සරුංගල්’’, ‘‘ඊ තලය’’, ‘‘හුස්ම’’ වැනි කලින් කලට ප්‍රේක්ෂකාගාරය ගිනියම් කළ නිර්මාණ හරහා කතාබහට ලක්වූ ඇය පිළිබඳව ඔබට අමුතුවෙන් හඳුන්වාදිය යුතු වන්නේ නැහැ. ඇය චමත්කා ලක්මිණි.... ඔන්න කාලෙකට පස්සේ ආයෙමත් කරලියට ඇවිත්... ඒ ෂර්ලි සමරසිංහයන්ගේ ‘‘පියාඹන්න ආයෙත්’’ නවතම සිනමාපටය හරහා.
චිත්‍රපට කලාව තුළ නව මානයක් නව ප්‍රතිරූපයක් ගොඩනගා ගනිමින් බොහෝ චරිත හරහා සමාජ කතිකාවතක් නිර්මාණය කළ ඇයගේ ‘‘පියාඹන්න ආයෙත්’’ නවතම සිනමා පටය සමඟ චමත්කා කාලෙකට පස්සේ අපිත් සමඟ කතාබහට එක්වුණේ මේ විදිහට.
ඉතින් කොහොමද කාලෙකට පස්සේ?
ඔව් ඇත්තටම කාලකෙට පස්සේ තමයි මම දායක වුණු වැඩක් එළියට ආවේ... මේ දවස්වල නම් පියාඹන්න ආයෙත් චිත්‍රපටයේ ප්රචාරක කටයුතු වලට දායකත්වය දෙමින් ඉන්නවා. පෞද්ගලික ජීවිතෙත් විශේෂයක් නැහැ. පුතාගේ හුරතල් විඳිමින් කාලය ගෙවෙනවා.
පියාඹන්න ආයෙත් සිනමාපටය ගැන කතාකරොත්?
තිරගත වෙලා දින කිහිපයක් වුණත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. පියාඹන්න ආයෙත් චිත්‍රපටය තුළ මගේ චරිතය ඇතුලේ කතා කළේ ආදරය පිළිබඳ නොතේරුම් කාලේ ආදරේ වින්දේ කොහොමද තේරෙන කාලෙට ආවම ආදරේ විඳින්නේ කොහොමද කියන එක වටා ගෙතුණු චරිතයක් අපි ඒ චරිතයට නමක් පාවිච්චි කළේ නැහැ.
හුස්ම චිත්‍රපටය කරලා කොච්චර කාලෙකට පස්සෙද චමත්කා ආයේ මේ විදියට කරළියට එන්නේ?
හුස්ම කරාට පස්සේ මට පුතා ලැබෙන්න හිටියා. ඒකත් එක්ක අවුරුදු එක හමාරක් ටිකක් විවේකීව හිටියා. බබා ලැබිලා මාස 3න් මම පියාඹන්න ආයෙත් චිත්‍රපටයේ වැඩ කළා. පියාඹන්න ආයෙත් චිත්‍රපටය කළේ කොරෝනා තදින්ම තිබුණු කාලේ. පියාඹන්න ආයෙත් කියන්නේ දුෂ්කරතා රැසක් විඳගෙන කට්ට කාගෙන බොහොම අමාරුවෙන් කරපු ලස්සන නිර්මාණයක්. හැමෝටම ආරාධනා කරනවා පියාඹන්න ආයෙත් ඇවිත් නරඹන්න කියලා.
මේ චමත්කාගේ කීවෙනි සිනමා නිර්මාණයද?
මේක මගේ හතරවෙනි සිනමා නිර්මාණය. මගේ පළමු සිනමා නිර්මාණය සරුංගල්. ඒ සඳහා මට ජනාධිපති කුසලාන සම්මාන පවා ලැබුණා. ඊට පස්සේ ඊතලය චිත්‍රපටයේ රඟපෑවා... ඊටත් පස්සේ තමයි හුස්ම ආවේ. හුස්මෙන් පස්සේ මම රඟපෑවේ පියාඹන්න අයෙත් චිත්‍රපටයේ හැබැයි මගේ රංගන පරාසය කොච්චරද කියලා මම තේරුම් ගන්නේ හුස්ම චිත්‍රපටයෙන්.
චමත්කාට ටෙලි නාට්‍යවලින් ඉල්ලුම අඩුද?
ටෙලි නාට්‍යවලින් ආරාධනා ලැබෙනවා. හැබැයි මම මෙගා ටෙලිනාට්‍යය වලට කැමති නැහැ. ඒත් ටෙලි නාට්‍යයකින් මට දෙයක් කරන්න තියෙන පිටපත් නිර්මාණයක් තාම මට ලැබිලා නැහැ.
කොහොම වුණත් චමත්කා ප්‍රේක්ෂකාගාරයම ගිනියම් කරන්නේ ‘‘ගිනියම් රෑ’’ මියුසික් වීඩියෝවත් එක්ක?
මට මියුසික් වීඩියෝ වලින් මුලින්ම රඟපෑවේ සිකුරුලියා කියන රූපරචනයේ. මොන හේතුවක් නිසාද මන් දන්නෑ ඒ වීඩියෝ එක ප්‍රේක්ෂකයෝ අතරට ගියේ නැහැ. ගිනියම් රෑ වීඩියෝ එකේ මම රඟපෑවේ තත්පර 30යි. හිතපු නැති විදිහට මට ඒ හරහා ප්රේක්ෂකාගාරයත් හැදුණා. හොඳ නරක ප්‍රතිචාර දෙකම ආවා. ඒත් මගේ රංගන දක්ෂතාවයට හොඳ පදනමක් වැටුණේ හුස්ම රඟපෑවට පස්සේ.
ඒ වකවානුවේදී හුස්ම චිත්‍රපටයේ රඟපාන්න ගත්ත තීරණය අද මොකද හිතෙන්නේ?
හුස්ම තිරගත වෙලා වසර දෙකක් විතර වෙනවා. ඒත් තාමත් හුස්ම චිත්‍රපටයේ තාරුකා කියන චරිතයට මට තාම ප්‍රතිචාර ලැබෙනවා. එදා මම හුස්ම චිත්‍රපටයේ රඟපෑවට පස්සේ කලා ක්ෂේත්රයේම ප්‍රවීණ බොහෝ දෙනා ඇහුව්වා ඇයි ඔය වයසට ඔය වැඩේ භාර ගත්තේ කියලා. සමහරු ඇහුව්වා ඒක මෝඩකමකට ගත්ත තීරණයක්ද කියලා මම හුස්ම පිටපත භාරගනිද්දි විවහවෙලා නැහැ. කියලා. වෙඩින් එකට සතියක් තියලා තමයි චිත්‍රපටයේ රඟපෑවේ. මේක අනිත් පැත්තට කැරකුණොත් මේ ක්ෂේත්රයේ මට පැවැත්මක් නැහැ කියලාත් මම දැනගෙන හිටියා. හුස්ම කරනවද නැද්ද කියලා මම දහස් වාරයක් එදා හිතුවා.
මගේ මහත්තයා කිව්වේ ඔයා කලා ක්ෂේත්රයේ දිගටම රැඳෙනවානම් විතරක් හුස්ම භාරගන්න කියලා. ඒක අනුවණකමින් ගත්ත තීරණයක් නෙමෙයි. අදටත් ඉදිරියටත් හුස්ම කරපු එක ගැන මට සතුටු වෙන්න පුළුවන්.
හුස්ම චිත්‍රපටයෙන් පස්සේ චමත්කාගේ පීක්ම කාලේ නිහඬ වෙච්ච එක ඔයාගේ රංගනය පැත්තට වුණු අසාධාරණයක් කියලා හිතෙන්නේ නැද්ද?
කවදාවත් එහෙම හිතන්නේ නැහැ. හුස්ම තිරගත වෙනකොට මට පුතා ලැබෙන්න ඉන්නවා. සරුංගල්, ඊතලය, හුස්ම මගේ පීක් එකේ හොඳම කාලේ තමයි පුතා ලැබෙන්න හිටියේ. පුතා මගේ කුසට ආවෙත් හිතපු නැති වෙලාවක. කොහොමටත් හුස්ම කරලා ටික කාලයක් මට නිහඬ වෙන්න ඕන වුණා. ඒ කාලෙදි තමයි දෙවියෝ මගේ කුසට පුතා දුන්නේ.
වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට රාමුවට අහුවුනාම හැම අධ්‍යක්ෂවරයාම බලන්නේ ඒ නිලිය ඒ රාමුව ඇතුලෙම කොටු කරන්න චමත්කාත් ඒ රාමුව ඇතුළේ තාම කොටු වෙලාද?
ඇත්ත ගිනියම් රෑ වීඩියෝ එකේ මම කරපු දේකුත් නැහැ. හැබැයි මම ඊට පස්සේ ඔක්කොම ආවේ ඒ වගේ නිර්මාණ වලට ආරාධනා. හුස්ම රඟපෑමට පස්සේ මම හිතුවා මම තවත් කොටු වේවි කියලා. ඒත් මට වෙනස් චරිත කරන්න ඉඩකඩ ලැබුණා. හුස්මෙන් පස්සේ මට මහා ලොකුවට වැඩ ආවේ නැහැ. ආපු වැඩත් හොඳ නිර්මාණ. හුස්ම චිත්‍රපටයෙන් පස්සේ මට කරන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද කියලා මම අඳුර ගත්තා. කොහොමත් මම රංගනයට සීමාවක් දාගෙන ආවේ නැහැ. මගේ සැමියා හරිම කැමතියි මම වැඩ කරනවට. මම සීමා නැතිව වැඩ කරන කෙනෙක්. නිරුවතට වඩා ඇක්ටින් වල කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. නිරුවත කියන්නේ දර්ශනයක පුංචි කොටසක් විතරයි.
චමත්කාට ජීවිතේ ගන්න අමාරුම වුණු තීරණය මොකද්ද?
මගේ ජීවිතේ ගන්න අමාරුම වුණු තීරණය තමයි හුස්ම චිත්‍රපටය භාරගන්නවද නැද්ද කියන එක...
ඉස්සරහටත් චමත්කාට ඇවිත් තියෙන්නේ හුස්ම තරම්ම අමාරු පිටපත්ද?
ඇත්තටම ඔව්. පිටපත් කීපයක්ම ලැබිලා තියෙනවා. ඒවා හුස්ම තරම්ම අමාරු නැතත් දෙවරක් හිතන්න ඕන පිටපත් කීපයක් තමයි ලැබිලා තියෙන්නේ. කරපු නිර්මාණයක් එන්න තියෙනවා. රංජිත් ධර්මසූරියගේ ‘‘වර්ණ’’ කියලා. ඊට අමතරව එකම අධ්යක්ෂවරයාගේ චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. එක චිත්‍රපටයක රූපගත කිරීම් ඉදිරියේදී ආරම්භ වීමට නියමිතව තියෙනවා.
මේ ලෝකේ චමත්කාව තේරුම් ගත්ත එකම කෙනා කවුද?
වෙන කවුද ඒ තමයි මගේ ආදරණීය සැමියා. ඔහු දෙන සහයෝගය මාව තේරුම් ගැනීම ඒ දෙන ශක්තියට මට සමාන කරන්න මේ මිහිපිට දෙයක් නැහැ. මේ කේෂේත්‍රයට කාටවත් නැතුව ඇති ඒ වගේ සැමියෙක්. අපි අවුරුදු 6ක් යාළු වෙලා ඉදලා ලිවින්ටුගෙදර් කන්සෙප්ට් එකේ ඉඳලා විවාහ වුණ දෙන්නෙක්. ඒ නිසා අපි දෙන්නා අතර හොඳ තේරුම් ගැනීමක් තියෙනවා.
යම් දවසක ඔබ මේ කරන රංගනයන් නිරූපනයන් ඔබේ පුතාට කොයි විදිහට බලපාවිද?
පුතාගෙන් කවදාහරි දවසක ඉස්කෝලේ ළමයි හෝ කවුරුම හරි ඇහුව්වොත් ඔයාගේ අම්මා මෙහෙම රඟපෑවා නේද කියලා. ඒ අහන දේවල්වලට උත්තර දෙන්න මට එයාව හැඩ ගැස්සුවේ පුතා මගේ බඩේ ඉද්දීමයි. අද සමාජය දවසින් දවස වෙනස් වෙනවා. එයාගේ තරුණ අවධිය එනකොට ඒ දේවල් මහා ලොකුවට කතාකල යුතු මාතෘකා වේවි කියලා මම හිතන්නේ නැහැ. මොකද මගේ පුතාව මම පුහු සංස්කෘතියක් ඇතුලේ කිසිම වෙලාවක හිර කරලා හදන්නේ නැහැ.
නදීශා අතුකෝරළ