අපි අරගලය අත්හැරලා නැහැ. බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා, සුනිල් ආරියරත්න අවධාරණය කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය සමයේ ගෝඨාගෝගමේ පැවතින අරගලය සඳහා ලංකාවේ කලාකරුවන් බොහෝ ප්‍රමාණයක් පැමිණියා. ඒ අතර ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ද විශාල ප්‍රමාණයක් මේ අරගලය සඳහා තම පූර්ණ සහයෝගය ලබාදුන්නා. එම කලාකරුවන්ගෙන් ආචාර්ය නන්දා මාලිනී සහ මහාචාර්ය සුනිල් ආරියරත්න අරගල භූමියට පැමිණීම විශේෂ සිදුවීමක් වුණා.

ගෝල්ෆේස්හී පවතින අරගලය ව්‍යාපාරයක් පමණක් බවත් ඒ පිළිබඳව දන්නවා නම් තමන් එහි නොයන බවටත් සුනිල් ආරියරත්න සහ නන්දා මාලිනී ප්‍රකාශ කළ බවට පුවතක් සමාජ මාධ්‍යවල පළ වුණා. ඒ පිළිබඳව සුනිල් ආරියරත්නයන්ගෙන් විමසීමක් කළා. එය අරගලය කඩාකප්පල් කරන්නන්ගේ වැඩක් බවත් තමන් සහ නන්දා මාලිනී අරගලය ජයගන්නතුරු අරගලයට සහයෝගය ලබාදෙනවා කියලාත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අපට කියා සිටියා.

සුනිල් ආරියරත්නයන් කළ ප්‍රකාශය පහතින් දැක්වෙයි.

"මේ අරගලය ගැන අපි විවේචනය කළා කියලා සාවද්‍ය පුවත් සමාජ මාධ්‍යවල පළ වෙනවා. ඒවා අරගලය කඩාකප්පල් කරන අයගේ වැඩ. මේ අරගලය ජයග්‍රහණය කරන්න ඕනේ. අරගලය අඛණ්ඩව කරගෙන යන්න ඕනේ. මේ අරගලයෙන් අපි දිනාගත්ත දේවල් විශාලයි. ඒ ගැන අපි සතුටු වෙනවා. මේ බොරු ප්‍රචාර කරලා සතුරුකම් කරන්නේ අරගලය ජයග්‍රහණය කරා යන නිසායි.

අරගලය කවුරුත් අත්හැරලා නැහැ. මේක අසාර්ථක කරන්න කටකතා ගෙන යනවා පමණයි. අරගලයක් කියන එක එක වගේම එකම තත්ත්වයකින් පවතින්නේ නැහැ. මුහුදු රැල්ලක් වගේ. වෙලාවකට උත්කර්ෂවත් වෙනවා වගේම වෙකාවකට බැස්මක් ඇති වෙනවා. දවස් 50කට වැඩි ප්‍රමාණයක් අරගලය නොකඩවා කරගෙන යෑමම ජයග්‍රහණයක්. අරගලය අඛණ්ඩව කරගෙන යන තරුණ තරුණියන් සමඟ අපි හැමදාම ඉන්නවා. ඔවුන්ට අපේ ගෞරවය සහ ආචාරය පුද කරනවා."