අපේ අම්මා එයාට කැමැති වෙලා තියෙන්නෙ එයාගෙ ගතිගුණවලට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙව්නක පෝරගේ පසුගිය කාලයේදී ප්‍රේක්ෂකයින් අතරට ආවේ හිතළඟ හිනැහුණා, නාට්‍යයේ ‘සිහින’ ගේ චරිතය සමගයි. හිටි හැටියේම ඔහු ඒ චරිතයෙන් ඉවත් වුණා. ඒ විදියට ඉවත් වුණේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කියලා තමයි ඔහු කියන්නෙ. ඒ ගැන අපි දෙව්නකගෙන් විමසීමටයි මේ සූදානම. ඒ අතරේ ඔහුගේ සැබෑ ජීවිතයේ පෙම් කතාව ගැනත් අද ඔහු අපට කියාවි. හැබැයි තනිවම නම් නෙවෙයි, එයාගේ පෙම්වතිය එක්කම අපට ඒ පෙම් කතාව ගැන කියාවි.

දෙව්නක ඉස්සෙල්ලම කියන්නකො ඇයි හිත ළඟ හිනැහුණා නාට්‍යයෙන් ඉවත් වුණේ?

මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඒ කියන්නෙ ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන් මට කාලය ගත කරන්න තියෙන නිසයි. ඒ විදියට උපාධියට ඉගෙන ගනිද්දී සම්පූර්ණ අවධානය යොමු කරන්න ඕනෑ.

නීතිය පිළිබඳව උපාධියකුත් තියෙනවා නේද? ඒ කියන්නෙ LLB

ඔව්, මම නීති අංශයේ උපාධිධාරියෙක්. නීතිවේදී කිව්වොත් හරි.

අනාගතයේදී ආචාර්ය උපාධියකුත් ගනීවි?

බොහෝ විට එහෙම වේවි.

ඉතින් නීතිවේදී දෙව්නක පෝරගේ කොහොමද ජීවිතේ?

ජීවිතේ සතුටින්.

ඒ සතුටට හේතුව?

ඒකට හේතුව හසිනි.

හසිනි, කවුද මේ හසිනි? ඔබ හමුවෙන්නෙ නම් සංගීතේ නාට්‍යයෙන්?

මගේ ගැන කිව්වොත් සංගීත ක්ෂේත්‍රයට මම ආවේ කුඩා කාලයේදීමයි. මොන්ටිසෝරි යන කාලයේ ඉඳලම සංගීත වැඩ සටහන්වලට මාව එක්කගෙන ගියේ අපේ තාත්තා. පසු කාලයකදී දෙරණ ඩ්‍රීම් ස්ටාර්, අටවැනි අදියරේ තරග මාලාවට මමයි, අපේ අය්යයි, නංගියි ඒ විදියට රියැලිටි තරගයකට ඇවිත් තරග වට ගණනාවක් දක්වා පෙනී සිටියා. අය්යා අවසන් නම දෙනා අතරට තේරුණා. ඊට පෙර ඉවත්වීමට මට සිදුවුණා. පසුව දෙරණ නාලිකාවෙන්ම සංගීතේ නාට්‍යයේ රඟපෑමට මට අවස්ථාව ලබා දුන්නා. බඳවා ගැනීමේ පරීක්ෂණය සමත්වූ පසුව තමයි මාව සංගීතේ නාට්‍යයට ගත්තෙ. ඉන්පසුව තව එකක් කළා. ඒක තවම විකාශය වුණේ නැහැ. කොහොම වුනත් සංගීතයෙන් පටන් ගත්ත මගේ කලා ගමනේදී ඉදිරියේදී වැඩිපුර දායකත්වය ලබා දෙන්නෙත් සංගීත අංශයට.

හසිනි, දෙව්නක කිව්වෙ එයාගෙ ජීවිතේ සතුට හැදුවෙ ඔයා කියලයි, කොහොමද ඔබ ඒ සතුට ඔහුට ගෙනැත් දුන්නෙ?

ඇත්තටම එයානෙ කියන්නෙ මම එයාගෙ ජීවිතයට සතුට ගෙනාවා කියලා. ඉතින් මම හිතන්නෙ ඒකට හේතුව අපි දෙදෙනා අතර තියෙන අවබෝධය වගේ දේ නිසා වෙන්නැති. ඒත් හරිම උත්තරය එයාගෙන්ම තමයි දැන ගන්න ඕනෑ?

දෙව්නක ඔබගෙ ජීවිතය හසිනි ඒමට පෙර තිබූ විදිය සහ ප්‍රේමය රැගෙන හසිනි ආ පසුව වූ වෙනස ගැන කියන්නෙ කොහොමද?

ඒක මෙහෙමයි, මේ විදියයි කියලා විග්‍රහ කරන්නට බැහැ. ඒක හදවතේ තියෙන දෙයක්. මම ආදරේ හෙව්ව කෙනෙක්. ඒ ආදරයේදී කවදා හරි මගේ බිරිඳ විය යුතු කෙනා ළඟ තිබිය යුතු ගුණාංග ගැන මම හිතුවා. අපේ අම්මටයි, තාත්තටයි ගරුත්වයක් දක්වන සහ මම වගේම එයාලට සමීප වූ කෙනෙක් නම් වඩා හොඳයි කියන දේ මගේ යටි හිතේ තිබූ දෙයක්. හසිනි හමුවූ පසුව ඒ මගේ හීනය සැබෑ වුණාය කියලා මට දැනෙන්න ගත්තා.

මේ ප්‍රේම කතාවට මුල පිරුවේ කොහොමද? දෙව්නක ඔබම අපට ඒ ගැන කියන්නකො?

මුලින්ම මට හසිනිව හමුවුණේ පාටියකදී. එතකොට එයා රංගනයටත් ඇවිත් හිටියෙ. අපි ඉතින් සහෝදර කලා ශිල්පීන් විදියට දැන හඳුනා ගෙන සිටියෙ. එදා පාටියේදි මම සුපුරුදු විදියට ගිටාරය වයමින් ගීත ගයන්න පටන් ගත්තා. හසිනිටත් ගිටාර් ගහන්න පුළුවන් බව මම දැනගෙන හිටියෙ නැහැ. ඒ ගැන දැන ගත්තාම ආ ඔයත් සිංදුවක් කියන්නකො කියලා මම ගිටාරය එයාට දුන්නා. ගැහැණු ළමයි ලස්සනට නියපොතු හදනවනෙ. එයා හදලා තිබුණු ලස්සන නියපොතු ටික හපලා විසිකළා. ඒක කළාට පස්සෙ මට මාර විදියට එයාව දැනෙන්න පටන් ගත්තා. එයා ඒක අවංකවම කළේ.

හසිනි එදා එහෙම කළේ එදා දෙව්නකගෙ සිත ගන්නද?

එහෙම දෙයක් නෙවෙයි වුණේ. කොහොමටත් නියපොතු දිගට වැවීම ගැන මට කාලයක ඉඳලා එච්චර උනන්දුවක් තිබුණෙ නැහැ. මම කරන්නෙ සංගීතය නිසා වාදනය කරන කෙනෙක් විදියට මට නියපොතු වවන්නත් බැහැ. ඉතින් නියපොතු කපලා දාන්න ලැබුණු අවස්ථාවෙ මම ඒක කළා. එදා මට ගිටාරය වයන්නම හිතුණා. ඉතින් මම ඒක කළා.

ඒ වෙනකොට, එයා ගැන ‘හසිනිට’ ආදර හැඟීමක් ඇතිවෙලාද තිබුණෙ?

නැහැ ඇත්තටම නැහැ. අපි සහෝදර කලා ශිල්පීන් ලෙස දැන සිටියත්, මම ඊට පෙර එයා දිහා කෙළින්ම බලලාවත් තිබුණෙ නැහැ. ‘බර්ත්ඩේ’ එක දවසේදි ආ හැපි බර්ත්ඩේ කියලා මම එයාට විෂ් කළා මතකයි.

දෙව්නක මුලින්ම ආදරෙයි කියලා දෙදෙනාගෙන් කවුද කිව්වෙ?

මම කිව්වෙ. එදා එයා ගිටාරය වයමින් සිංදුව ගැයූ වෙලාවෙ මගේ හිත එතැන් සිට ඇයව සෙව්වෙ. පසුව එක් තැනකදි අපි දෙන්නට දෙන්නා මූණ බලලා හිනා වුණේ මම විහිළුවක් කළ නිසයි. ඒ වෙලාවෙ එයාගෙ හිනාව ඇතුළෙ මට වඩාත් සමීප බවක් දැනුණෙ. එදා තමයි අපි දෙන්නා මුහුණට මුහුණ බලලා හිනාවෙච්ච පළමු දවස.

හසිනි, දෙව්නක එදා ඔයාගේ හිනාවට වශීවුණා වගේ, දෙව්නකගෙ හිනාව හසිනිට දැනුණෙ කොහොමද?

ඒක හරිම නැවුම් හිත ඇදී ගිය ආදරණීය හිනාවක්.

දෙව්නක එදාමද හසිනිට ආදරේ කියලා කිව්වෙත්?

ඊට පහුවදා මම එයාගෙ ෆෝන් එකට මැසේජ් කළා. ඔයා පරිස්සමින් ගෙදර ගියා නේද කියලා. ඒක තමයි මුලින්ම යැවූ මැසේජ් එක, පස්සෙ දිගටම ටිකින් ටික කතා කරන්න පටන් ගත්තා. එක දවසක් වීඩියෝ කෝල් එකක් ගත්තා. ඒ වනවිට අපි දෙන්නම මම හිතන්නෙ අාදරේ වග වටහා ගෙන හිටියෙ. දෙන්නටම ඒක ප්‍රකාශ කරන්න තමයි තිබුණෙ.

දෙව්නක ඔබ හසිනිව විවාහ කර ගන්නවාය කියන අදහස ඇති කර ගත්තෙ කවදද?

මම හිතන්නෙ එදාම තමයි. ආදරෙ කියන දේ වචනවලට පෙරළන්න බැරි දෙයක්. ඒත් එදාම මට හිතුණෙ මෙයා තමයි මගේ ආත්මීය බැඳීම කියලා.

හසිනි ඇත්තම කියන්න දෙව්නක තෝරා ගැනීමට හේතු වූ ඇත්තම හේතුව?

ඒක මට කියන්න තේරෙන්නෙ නැහැ. එයා කලා විෂයේදි දක්ෂයෙක් වග දැන ගෙන හිටියෙ. ඒත් වෙලාවකට මට හිතුණෙ පණ්ඩිතයෙක් වගෙයි කියලයි. එයාටත් මා ගැන හිතිලා තිබුණෙ මහා පණ්ඩිත කෙල්ලෙක් කියලයි. හැබැයි එයා හරිම නිර්ව්‍යාජ හරිම හොඳ කෙනෙක් කියලා මට තේරුණා. ඒ වගේම හරිම නිහතමානී, විනීත චරිතයක්. ඒ විනීතකමට මම හරි කැමැතියි. එයා එයාගෙ පාඩුවෙ සිටින කෙනෙක්. පෙනුමද හැකියාවද, පවුල් පසුබිමින්ද එයාට අඩුවක් නැහැනෙ. ඒත් ඒ දේවල් නිසා උදුම්මා ගත්ත චරිතයක් නෙවෙයි. ඒ නිහතමානී ගුණයට මම හරි කැමැතියි.

දෙව්නක මේ ප්‍රේමය ගැන ගෙදරට කියන්න ඔබ බය වුණාද? මොකද ඔබ පවුලේ එකම දරුවා?

ඒක ඇත්තටම හරිම උද්යෝගිමත් අවස්ථාවක්. මේ වගේ දේවලදී අපේ අම්මා ඉතාම සුපරීක්ෂාවෙන් බලන කෙනෙක්. ඒ නිසාම අපෙ අම්මට මම හසිනි ගැන කිව්වෙ මාරම බයකින්. ඒ නිසා තාත්තට තමයි මුලින්ම මේ ගැන කිව්වෙ. තාත්තා එතකොට එයාව දන්නෙ නැහැ. ඒ නිසා ඔයාට ගැලපෙනවද නැද්ද කියලා එක පාරටම තීරණය නොකර ආශ්‍රය කරලා බලන්න කිව්වා. ඔය විදියට කාලයක් යද්දි හසිනි කිව්වෙ දැන් අපි අම්මට කියමු නේද කියලයි. ඒත් මට තව දුරටත් බයක් තිබුණෙ. මොකද අම්මා එහෙම ලෙහෙසියෙන් කැමැති වෙන්නෙ නැති බව මම දන්න නිසයි. කොහොම හරි එක් අවස්ථාවකදි ‘අම්මෙ මට කෙල්ලෙක් ඉන්නවා කිව්වා’ ඒත් එයාලගෙ අම්මා දැනගෙන හිටියෙ එයා එක්ක යාළුවෙලා සතියක් යන්න පෙර මම එයාලගෙ ගෙදරට ගිහින් මම කෙළින්ම කියලා තිබුණෙ. කොහොමින් කොහොම හරි දැන් අපෙ අම්මට ‘හසිනි’ නැතුව බැරි තරම්.

දෙව්නකගෙ අම්මයි-තාත්තයි දෙන්නම උපාධිධාරින්. ඉතින් කවදා හරි පවුලට එක්වන ලේලිය ඒ විදියෙ චරිතයක් විය යුතුයි කියලා කිව්වද?

එහෙම නැහැ. කොහොමටත් හසිනි උසස් අධ්‍යාපනය ලබන චරිතයක්. ඒත් අපේ අම්මා එයාට කැමැති වෙලා තියෙන්නෙ එයාගෙ ගතිගුණවලට. මම එයාට කැමැතියි කියලා කිව්වට පස්සෙ තමයි අම්මා හසිනිගෙ විස්තර ඇහුවෙ. හසිනි එයාගෙ උපාධියෙ අවසන් වසරෙ ඉන්නෙ. ඇයයි මමයි දෙන්නම ප්‍රධානව අරමුණු කරන්නෙ අධ්‍යාපනයට.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ