අපිට වරුගණන් පැය ගණන් කතා කරන්න පුළුවන් යාළුවෝ ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලාංකික සිනමාවේ කාන්තා රංගනයේ ස්වර්ණ වර්ණ රංග වේදිනිය එදා 1984 දී අපට හමුවූයේ දඩයම සිනමාපටයේ ‘රන්මලී’ නමිනි. එලෙසින් එදා අපූර්වතම, සම්මානනීය රංගනයක් ඉදිරිපත් කළ ඇය මෙවර වෛද්‍ය නයෝමාල් පෙරේරා නිර්මාණය කළ දඩඉම සිනමා නිර්මාණයේදී අපට හමුවන්නේ රෝහිණී නමිනි. රංගනයේ ස්වර්ණමය සළකුණු සනිටුහන් කළ ඒ ප්‍රවීණ රංගවේදිනිය, දඩඉම තිරගත වන මොහොතක සැඳැල්ල කතා බහට එක්වූයේ මෙලෙසිනි.

මුලින්ම කැමතියි දැන ගන්න කොහොමද මේ දවස්වල ඔබතුමියගේ ජීවිතය ගෙවෙන විදිය.

දඩඉම ෆිල්ම් එකත් එක්ක කාර්ය බහුල වෙලා. ෆිල්ම් එක දුවන්න  සහයෝගයක් ලබා දෙන්න ඕනෑ. පසුගිය කාලයේදී අපේ රටේ සිනමාව යම්කිසි බිඳවැටීමක තිබුණ කියලා කතා වුණා. ඉතින් නැවතත් ප්‍රේක්ෂකයින් සිනමා නිර්මාණ නරඹන්න එන වග පෙනෙනවා. ඉස්සර ඒ කාලයේදී අපි ෆිල්ම් එකක රඟපාලා, එය තිරගත කරන මොහොතේදී මාධ්‍ය සාකච්ඡාවලට ගියේ නැහැ. ඒත් වත්මන් තත්ත්වය වෙනස්. අපි ඒ වෙනුවෙන් සහයෝගය ලබාදීම හොඳයි.

එදා දඩයම ෆිල්ම් එකේ මුහුරත් උළෙල පවත්වපු විදිය සහ තිරගත වෙද්දී තිබුණේ මොනවගේ තත්ත්වයක්ද?

දඩයම ෂූට් කළ විදිය මතකයි. මුහුරත් එකට ගියා කියලත් මතකයි. දඩයම තිරගත වෙන්න පටන් ගත්තට පස්සේ මාස හයක් විතර යනකල් මාධ්‍ය වේදීන් එකිනෙකා විවිධ විදියේ අදහස් සටහන්, විවාද – විචාර කළා. සුද්දිලාගේ කතාවත් ඒ විදියමයි. සති අන්ත පුවත්පත්වල විවිධ දේ විචාරශීලීදේ, මතවාද පළවුණා. ඉස්සර අද වගේ නොවෙයි. එක් සිනමාහල් මණ්‍ඩලයක් තිරගත කෙරුණු පසුව දෙවන වටයේදී තවත් සිනමා ශාලාවල තිරගත වුණා. ඊළඟට තුන්වන සහ හතරවන වටයේදී නැවතත් තවත් සිනමාශාලාවල තිරගත කෙරුණා. තියටර්ස් එකින් එකට ගියා. දැන් එහෙම නෙවෙයි. ෆිල්ම් එකක රඟපෑවට පස්සේ ඒ ෆිල්ම් එක දුවන්න නළු නිළියන්ට විශේෂ වගකීමක් පැවරිලා තියෙන්නෙ. අද අපට පත්තර විතරක් නෙවෙයිනෙ අවශ්‍ය. ටි.වී., සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය සියල්ල ප්‍රචාරයට අවශ්‍යයි. අද ෆිල්ම් එකක් පෙන්වීම කියන්නෙ වෙනමම කලාවක් බවට පත්වෙලා.

කෙසේ වෙතත් මේ ‌ෆිල්ම් එකට කළින් අන්තිමට ඔබ දැක ගන්න ලැබුණේ?

ඇගේ ඇස අග ෆිල්ම් එකේ. ඒ ෆිල්ම් එකට මම සම්බන්ධ වුණේ අවුරුදු 18 ක විතර විරාමයකින් පසුව. දැන් මේ දඩඉම ෆිල්ම් එක ෂූට් කළේ මතක විදියට 2018 අග සිට වගේ.

මේ ෆිල්ම් එකට (දඩඉමට) සම්බන්ධ වීමට ඔබට විශේෂ හේතුවක් තිබුණාද?

මේ ෆිල්ම් එකට කතා කිරීම වෙනම සිදුවීමක්. සාමාන්‍ය නිෂ්පාදකවරයෙකු ඇවිත් රඟපාන්න ආරාධනා කරනවා වගේ දෙයක් නොවෙයි. වෛද්‍යවරයකු ලෙස ඔහු එක්ක තිබුණෙ ඉතා හොඳ මිත්‍රශීලීත්වයක්. පසුගිය කාලයේදී මා තදබල ලෙස අසනීප වූ මොහොතේත් ඩොක්ටර් නයෝමාල් පෙරේරා තමයි මාව ශල්‍යකර්මයට භාජනය කළේ. ඒ වෙලාවෙ සිට ඩොක්ටර් නයෝමාල් වගේම මට විවිධ අංශ සඳහා ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරු සියලු දෙනා එක්ක ඉතා හොඳ මිත්‍රත්වයක් ඇතිවුණේ. ඩොක්ටර් නයෝමාල් වගේම එතුමාගෙ පවුලේ බිරිඳ ඇතුළු හැමෝම එක්ක ඒ මිත්‍රත්වය ඇතිවෙලා තිබුණෙ. මගේ සැත්කම හරහා ඇතිවූ මිත්‍රත්වය මත අපි විවිධ අවස්ථාවලට ඒ පවුලේ අය එක්ක සම්බන්ධ වුණා. එක් වතාවක ඩොක්ටර් පියයුරු පිළිකා සම්බන්ධව කළ වාර්තාමය එළිදැක්වීමකදී ආරාධිත දේශනයට පවා කතා කරලා තිබුණෙ මට. එදා තමයි මම මේ ඩොක්ටර් සහ  සිනමා මාධ්‍යයේ හැකියාව අපූරුවට වටහා ගත්තේ. ඩොක්ටර් මේ වැඩේ නියමෙට කරලා තියෙනවා. ඉතින් වෘතාන්ත චිත්‍රපටයක් කරන්නකො කියලා මම එතුමාට නිකමට වගේ එදා කිව්වා. ඉන්පසුව අපේ යාළුමිත්‍රකම් තවතවත් ශක්තිමත්වීම එක්ක, වතාවක් මට මුළු ජීවිත කාලයටම එක්වරකදී විතරක් ලබා දෙන සම්මාන උළෙලකදී මගේ පාර්ශවය වෙනුවෙන් මට  ඩොක්ටර්ට සහ එයාගේ නෝනාට ආරාධනා කළා. ඉතින් එදා එයාලා මට සුබ පතලා, ඔව් ෆිල්ම් එකක් කරන්න තියෙනවා තමයි කියලා ඩොක්ටර් කිව්වා. එදා ඒ සම්මානය ලැබූ වෙලාවෙ දඩයමේ තේමා සංගීත කණ්ඩායමත් වාදනය වුණා. මේ ඔක්කොම ඉවර වුණාට පස්සේ ඩොක්ටර්ට එයාගේ නිර්මාණශීලී අදහස් එක්ක දඩඉම කරන්න වස්තු බීජය ඇතිවෙන්න ඇති.

ඊට පස්සේ ඔබට මේ ෆිල්ම් එකේ රඟපාන්න ආරාධනා කළාම?

සාමාන්‍ය අධ්‍යක්ෂවරයකු හෝ නිෂ්පාදකවරයකු නොවෙයිනෙ ඩොක්ටර්. ඒ හැරත් එතුමා ආවේ මගේ රෝගයට බෙහෙත් කරන්න. ඉතින් එයා කී විස්තර අනුව, ඩොක්ටර් මේ ගැන කතා කරන්න මා හමුවන්න ආවා. ඉස්සර නම් අපට ෆිල්ම් එකක රඟපාන්න ආරාධනා කරන්න එන්නෙ අධ්‍යක්ෂවරයා. නිෂ්පාදකවරයා ගැන අපි දන්නේ නැති තරම්. එදා රඟපාපු අපි හැමෝගෙම සන්නිවේදනය තිබුණෙ අධ්‍යක්ෂවරයා එක්ක. ඒත් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරයා සාමාන්‍ය අධ්‍යක්ෂවරයෙක් නොවෙයිනෙ. එතුමා වෛද්‍යවරයෙක්, ඒ හැරත් මෙහි නිෂ්පාදකයත් ඔහු. මේක වෙනස් විදියට ඇතිවූ වස්තුබීජයක්. අදහසක් මත නිර්මාණයවූ ෆිල්ම්එකක්. එක්තරා විදිහක අහම්බයක්.

මෙහි ඔබ රඟපාන චරිතය ගැන ඔබට මොන විදියටද කියන්න පුළුවන්.

මම බොහොම ආසාවෙන් කළ චරිතයක්, ඉතින් ඒ චරිතය හොඳින් කරලා තියෙනවාද නැද්ද කියන එක ප්‍රේක්ෂකයින් සහ මාධ්‍යවේදී ඔබ සියලු දෙනා තීරණය කරන්න. එකමදේ එදා දඩයමේ ‘රන්මලී’ වෙන්න බැහැ. රන්මලී නොවී එයාගේ අක්කා රෝහිණී ලෙස දඩඉමේ චරිතය කළේ. එදා මංගල දර්ශනය නැරඹූ ප්‍රේක්ෂකයින් සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා මට කිව්වේ අපි දඩඉමේදී දැක්කේ දඩයමේ රන්මලී නොවෙයි කියලයි. ඒක මට සතුටට දෙයක්. ඩොක්ටර්ගෙ මනඃකල්පිත කතාවක්නෙ මේ දඩය​ෙම. ඉතින් ඒ කතාවේ රන්මලී නැහැ. රන්මලී නොවී රෝහිණී වීම තමයි මට තිබූ අවස්ථාව.

රෝහිණී ලෙස ඔබ දඩඉමේදී වැඩිපුර ගැටෙන්නෙ ජැක්සන් ඇන්තනීගේ රංගනය එක්ක, ජැක්සන් සහ ඔබගේ ඒ රංගන සුසංයෝගය ගැන මතක ආවර්ජනය කළොත්?

එදා රන්මලී ගැටුනේ ජයනාත් එක්ක. මෙතැන දඩඉමේදී රෝහිණී ගැටෙන්නේ කීර්ති ගජනායක එක්ක. මේ චිත්‍රපටය නැරඹූ පසු මට ඒ ගැන එක්වර කිසිදෙයක් කියන්න බැහැ. කාලයක් ගියාම තමයි මගේ දැක්ම එන්නෙ. චිත්‍රපටයක් වශයෙන් ගත්තාම ඩොක්ටර් නයෝමාල් පෙරේරාගේ විනයානුකූල සංයමයෙන් යුතු අධ්‍යක්ෂණය ස්වභාවය අපූරුවට පෙනෙනවා. නළු නිළියන්ගේ ස්වභාවයන් හැසිරවීම, රූප රාමු සියල්ල ඉතා තාත්විකයි. රුවන් කොස්තාගේ කැමරා කෝණ ඉතා අනර්ඝයි. ජැක්සන් ඇන්තනීගෙන් ලැබුණු සහාය ඉතා විශිෂ්ඨයි.
එයා එක්ක අයෝමා, බවදුක, භවකර්ම ඇතු‌ළු කීපයක රඟපාලා තියෙනවා. මගේ ඒ ආ සිනමා ගමනේදී ගාමිණී, විජය, ටෝනි, රවී, ජෝ වගේ රංගධරයින් එක්ක ඉතා හොඳ සුසංයෝගී රංගනයක් කළේ. ඒ අතරට එක්වූ අනෙක් චරිතය තමයි ජැක්සන් ඇන්තනි. අපිට වරුගණන් පැය ගණන් කතා කරන්න පුළුවන් යාළුවෝ  ඉන්නවා. ඒ වගේම අවශ්‍යදේට විතරක් කතා කරලා ෆෝන් එක තියන්න පුළුවන් යාළුවොත් ඉන්නවා. ඒ අතරින් ජැක්සන් එක්ක කතා කරන්න ගත්තාම පැය ගණන්, වරු ගණන් නිමක් නැතිව කතා කරන්න පු‌‌ළුවන්. එයා හරියට පොතපත කියවන පුස්තකාලයක් වගේ මනුස්සයෙක්. ඉතිහාසය, සාහිත්‍ය, ගීතාවලියද ඒවායේ ඇති පද ද කවිද බෞද්ධ සාහිත්‍යයද ගාථාද එයාට කට පාඩම්. මට නම් ඒවාගේ විෂයයන්වලදී එහෙම එකවර මතකයන් එන්නෙ නැහැ. ටිකක් වෙලා ගිහින් මතක අවදි වෙන්නෙ. ඒත් ජැක්සන්ට එහෙම නෙවෙයි. තනිකර ඇවිදින පුස්තකාලයක් වගේ චරිතයක්.
ලක්ෂපති වැඩ සටහනට ගියාම මගෙන් ඔය සාහිත්‍යය ප්‍රශ්න ඇහුවා. විමලධර්මසූරිය රජු හා සම්බන්ධව. ඉතින් පාසල් සමයේදී මම උසස් පෙළට ලංකා ඉතිහාසය,  ලෝක ඉතිහාසය සහ තවත් විෂයයන් දෙකක් කළා. ඉතින් ඒ පාඩම් මතකය වගේම ඉතිහාසය එක්ක අපි ආදරය කළ වර්ණවත් චරිත ගැන මතකය මගේ මනසේ තියෙනවා. විමලධර්මසූරියත් වගේ ඒ විදියේ චරිතයක්. ප්‍රශ්නෙ දැක්කාම ඔන්න මට මතක් වෙන්න පටන් ගත්තා. එයා දෝන කතරිනාව විවාහ කරගත්තෙ. තිස්ස අබේසේකරයන් ෆිල්ම් එකක් කරන්න හිටියෙ. එහි දෝන කතරිනා ලෙස රගපාන්න මට ආරාධනා කර තිබුණා. ඉතින් එම මතක ඔක්කෝම මට විවර වෙන්න පටන් ගත්තෙ ටිකෙන් ටික. හැබැයි ඉතින් ඕක ජැක්සන්ගෙන් ඇහුවා නම්, බට්න් එක නැත්නම් ස්වීච් එක ඔබන්න විතරයි එයාට තියෙන්නේ. එච්චරටම දැනුමක් ඔහු සතුයි. එච්චරටම හොඳ මතක ගබඩාවක් එයා.

සඳුන් ගමගේ