’’අපිට ඕනේ පැය දහයකටත් වඩා පත්තු වෙන එකක්’’ කියලා පිරිමි ළමයි මට විහිළු කළා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔන්න ඉතින් නිමන්ති පුංචි තිරයට එන්නට කලින් වෙළඳ දැන්වීම්වලින් තමයි ප්‍රේක්ෂකයින් අතරට ගියේ. අද කාලේ වගේ වෙළඳ දැන්වීම් මහ ගොඩක් ඒ කාලේ රෑපවාහිනියේ විකාශය වුණේ නැහැ. ඉතින් ඔහොම විකාශනය වුණ කිරිපිටි වෙළඳ දැන්වීමකටත් නිමන්තිට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. 

''ඉස්සර අපේ තාත්තාට ලොකු බඩක් තිබුණා...''

ඒ කාලේ නිමන්ති පාසැල් අධ්‍යාපනය ලබන කාලයයි. ඔය නිමන්ති කියන දෙබස් ඒ කාලේ කොච්චර ජනප්‍රියද කියනවා නම් මඟතොටේදී දකින, මුණගැහෙන පිරිමි ළමයි ''ඉස්සර අපේ තාත්තාට ලොකු බඩක් තියෙනවා'' කියලා විහිළු තහළුත් කරනවාලු.
ඔය අතරේ ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කරපු මදුරු කොයිල් වෙළඳ දැන්වීමකටත් නිමන්තිට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

''මම කරපු වේදිකා නාට්‍ය කිහිපයක් දැකපු ජයන්ත චන්ද්‍රසිරි මහතා මාව මදුරු කොයිල් වෙළඳ දැන්වීමකට සම්බන්ධ කරගත්තා. හැබැයි ලොකු ප්‍රතිචාරයක් ලැබෙයි කියලා නම් මම හිතුවෙම නැහැ. ඒ වෙළඳ දැන්වීම මුලින්ම ප්‍රචාරය වෙච්චි දවසේ පටන් සතියක් යනතුරු මට හිතාගන්නවත් බැරි විදිහට ප්‍රතිචාර ලැබුණා. ඒ කාලේ එස්.එම්.එස්. එහෙම නැහැනේ. මට මදුරු කොයිල් වෙළඳ දැන්වීම නිසා දවස ගාණේ මිටි බැගින් ගෙදරට ලියුම් ආවා. ඒ කාලේ මම පාරේ යද්දී ''අපිට ඕනේ පැය දහයකටත් වඩා පත්තු වෙන එකක්'' කියලා පිරිමි ළමයි මට විහිළු කළා. දැන් ඒ වෙළඳ දැන්වීම් කරලා අවුරුදු විස්සකටත් වැඩියි. තාමත් මිනිසුන්ට ඒ වෙළඳ දැන්වීම මතකයි. ඒ කාලේ සමහරු මට ''කොයිල් අක්කා'' කියලත් කිව්වා.

මැණිකා නිසා හොඳටම ඇඬුවා

නිමන්ති රඟපෑ මුල්ම ටෙලිනාට්‍යය වුණේ ''කස්තිරම''යි. හැබැයි නිමන්ති කියන්නේ නම් කස්තිරම මුලින්ම රෑපවාහිනියෙන් දැකපු දවසේ නිමන්ති හොඳටෝම ඇඬුවා කියලයි.

''මුලින්ම විජය ධර්ම ශ්‍රී සර්ගේ ''කස්තිරම'' නාට්‍යයේ මැණිකාගේ චරිතයටයි මම සම්බන්ධ වුණේ. හැබැයි ඒ ටෙලිනාට්‍යය විකාශනය වෙද්දී විජය ධර්ම ශ්‍රී සර් ජීවතුන් අතර හිටියේ නැහැ. ඒ නිසා පළමුවෙනි කොටස රෑපවාහිනියෙන් විකාශනය වෙද්දී මට හොඳටෝම ඇඬුණා. මට තාත්තා කෙනෙක් වගේ මේ ක්ෂේත්‍රයේදී හැමදේම මුලින්ම කියලා දීපු, ඒ ටෙලිනාට්‍යයේ රෑගත කිරීම් කරද්දී මට හැමදේම අලුත්. වේශ නිරෑපණය කරද්දී, රඟපාන අය එක්ක දෙබස් පුහුණුවෙද්දී, කැමරාව ඉදිරියේ රඟපාද්දී මේ හැමදේම මට අලුත්. ඒ හැමදේම මට කියලා දුන්නු විජය ධර්ම ශ්‍රී සර්ව මතක් වෙලා මට හොඳටෝම ඇඬුණා. කස්තිරමේ මම මැණිකාගේ චරිතය රඟපෑවේ. මාව පුංචි තිරයෙන් දකිද්දී මට මං ගැන පුදුම හිතුණා.

පාසැලේදී හිත් රිදීම් ගොඩයි

පාසැල් ජීවිතේදී නිමන්තිගේ සමහර ගුරුවරු නම් නිමන්තිට සෑහෙන්න සප්‍රයිස් කරලා තියෙනවා කියලයි නිමන්ති කියන්නේ. ඒ නිසාම හිත්රිදුණු තැන් පාසල් ජීවිතේ තිබිලා තියෙනවා. අහලා බලමු ඒකෙන් එක් සිදුවීමක් ගැන.

''මම පාසැලේදි පෙරදිග සංගීත කණ්ඩායමේ නායිකාව වෙලා හිටියා. මම උසස් පෙළ පන්තියේ ඉගෙන ගනිද්දී සෞන්දර්ය විෂයයක් උගන්වන එක ගුරුවරයෙක් පණිවිඩයක් එවලා තිබුණා. පස්සේ පහළට ගියාම ''අන්න සංගීත කණ්ඩායම අරහේ පුහුණු වෙනවා..'' කියලා කිව්වා. මම පුහුණු වෙන තැනට ගිහින් බලද්දී මට වඩා අවුරුද්දක් විතර බාල නංගි කෙනෙක් පෙරදිග සංගීත කණ්ඩායමේ නායිකාව විදිහට පුහුණුවෙනවා මම දැක්කා. මගේ කකුල් දෙක වෙව්ලන තරමට මාව එදා සප්‍රයිස් වුණා.

රතුයි - කළුයි උපන්දිනයක්

නිමන්තිගේ උපන් දිනය තිබුණේ අගෝස්තු මාසෙ දහවෙනිදායි. හැම අවුරුද්දෙම උපන්දිනය දවසේ සැමියයි දරුවන් දෙන්නයි නිමන්තිව සප්‍රයිස් කරනවලු. ඒ නිසා මේ අවුරුද්දේ මොන ගිනි ගෙඩියක් දේවිද කියලා නිමන්ති ටිකක් බයෙන් ඉඳලා තියෙන්නේ.

මේ අවුරුද්දේ උපන්දිනයට සතියකට කලින් ප්‍රභාත් නිමන්තිට දුන්නු ගිනි ගෙඩිය ආරම්භය කියලා තිබෙනවා. ''පත්තරේකින් ඔයාගේ ආටිකල් එකකුයි ෆොටෝ ටිකකුයි කරගන්න ඕනේ කියලා දිනයක් ඉල්ලුවා. මම අගෝස්තු 10 වැනිදාට එන්න කියලා කිව්වා. වෙන දවසක් දෙන්න තිබුණේ නෑ.'' කියලා ප්‍රභාත් මට කිව්වා. මට දහය දුන්නු එකට තරහත් ගියා. හැබැයි එයාට වැඩ නිසා ඉවසගෙනත් හිටියා. කොහොම හරි දහවෙනිදාට දවස් දෙකකට විතර උඩදී ''එයාලා රතුයි කළුයි ඇඳුමක් අඳින්න'' කියලා කිව්වා කියලා ප්‍රභාත් කිව්වා. මට තිබුණ රතු, කළු ඇඳුම් අඳින්න එපා කියලත් ප්‍රභාත් මට කිව්වා. කොහොම හරි ඔන්න ඉතින් හොයලා හොයලා ඇඳුමක් ගත්තා. උපන් දින දවසේ හවස ඇඳුම අඳිද්දී බෙල් එක වැදුණා. මම ගිහින් දොර ඇරලා බලද්දී මගේ යාළුවෝ ඔක්කොම එක පොදියට රතුයි, කළුයි ඇඳුම් ඇඳගෙන ගේ දොරකඩ හිටියා. මට හිතාගන්නවත් බැරිවුණා. එයාලම මුළු ගේම සරසලා එදා මගේ උපන්දිනය සැමරුවා.

නම කියද්දී කකුල් දෙකත් වෙව්ලුවා

මේ වෙද්දී නිමන්ති සම්මානනීය රංගන ශිල්පිනියක්. ජීවිතේ මුල්ම වතාවට සම්මානයක් අතට ලැබීමත් හරි අපූරුම අත්දැකීමක්.

''මට මුලින්ම සම්මානයක් ලැබුණේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම සහාය නිළියටයි. ඒ ''එව බලව'' වේදිකා නාට්‍යයේ ශීලාගේ චරිතයටයි. ඒක අධ්‍යක්ෂණය කළේ ඊ.එන්.ඩී. උපාලි මහතායි. ඒ කාලයේදී රාජ්‍ය නාට්‍ය උළෙලේදී නිර්දේශ වන තුන්දෙනාවම වේදිකාවට කැඳවනවා. එදා මාත් එක්ක අනෝමා ජනාදරියි, යශෝදරා සරච්චන්ද්‍රයි නිර්දේශ වෙලා තිබුණා. ඒ දෙන්නව දකිද්දී මම සම්මානය ගැන තිබුණ හීනය අතහැරියා. හැබැයි අවසානයේදී මගේ නම කියද්දී මගේ කකුල් දෙක පවා ගැහෙන්න පටන් ගත්තා.

දිශානි