අද වැඩියෙන්ම හදන්නෙ බූට් සින්දු - තරුණ ගායන ශිල්පි කනිෂ්ක කවිරත්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ළංවෙන්න බෑ දුරයි

ඔබේ හැඟුමන් මා පෙළයි

තනි කම පාළුව මට දැන් හුරුයි

සමුගන්නේ මා හිතනම්

කල්ගන්නේ ඔය දෙනුවන්

ඔබේ නමින් කිසිවක් මතකේ නෑ...

කලබලයක් නෑ හිතනම්

රැවටෙන්නේ මා හැඟුමන්

ඔබ ආවෙ නෑ කියා... කවදාවත්...

මේ ගීතය ගායනා කරන්නේ තරුණ ගායන ශිල්පියෙක් වන කනිෂ්ක කවිරත්න. ඔහු ගැන කතා කරන්නයි මේ සටහන.

‘‘ළංවෙන්න බෑ’’ කනිෂ්කගෙ අලුත්ම ගීත නිර්මාණය එළි දැක්වුණා. කොහොම ද ලැබෙන ප්‍රතිචාර.

ඇත්තටම ගීතය එළි දක්වලා මේ වෙද්දි සති කිහිපයක් වෙනවා. ඒ සති කිහිපය ඇතුළත හොඳ ප්‍රතිචාරයක් ලබා ගන්න හැකිවුණා. ගොඩක් දෙනෙක් කිව්වෙ දැනෙන හැගෙන ගීතයක් කියලා.

මේ ගීතය ලියවෙන්නෙ කනිෂ්කගෙම අත්දැකීමක් මත කියන්නෙ ඇත්ත ද?

ඔව්, මේ ගීතය මගේ ජීවිතේ අත්දැකීමක්. ගීතය ලියවා ගත්තෙ සන්තුස දිසානායකට කියලා. මෙහි කතාව තියෙන්නෙ යාළුවෙක් ගැන ආදරයක් හිතිලා ඒ යාළුව නැති කරගන්න බැරි හින්දා ඒ හැඟීම් යටපත් කරගත්තු කතාවක්.

ඒ කියන්නේ හිතේ තිබුණු ආදරයක් ප්‍රකාශ කරගන්න බැරිවුණු අවස්ථාවක් කනිෂ්කටත් තිබණා ?

ඔව්, ඇත්තටම මගේ හොඳම කිට්ටු යාළුවෙක් ගැන ආදරයක් ඇතිවුණා. නමුත් යාළුකම නැති කරගන්න බැරි නිසා ඒ දේ මම හිතින් අමතකම කළා.

මේ ගීතය එළිදැක්වීමෙන් පසුව ඇය දැන ගත්තොත්?

ඇය දැනටත් ඒ සම්බන්ධව දන්නවා. නමුත් නොදන්නා සේ ඉන්නවා.

මේ ගීතයට පෙර එළි දක්වපු ගීත නිර්මාණ ගැන කතා කළොත් ?

මීට පෙර ගීත නිර්මාණ හතක් කරලා තියෙනවා. ඒ අතර ආදර ගීත විරහ ගීත, සමාජ ප්‍රශ්න කාලීනව දක්නට තියෙන ​ගොඩක් දේවල් ගැන කතාබහ කෙරෙන ගීත නිර්මාණ තියෙනවා. ඉදිරියටත් විවිධාකාර විදියේ ගීත නිර්මාණ කිහිපයක් එළි දක්වන්නත් බලාපොරොත්තුවෙනුත් ඉන්නවා. මගේ එළි දක්වපු නිර්මාණ අතර අභිනික්මන සහ ‘‘මානෙත්’’ නම් ගීත නිර්මාණ දෙක ගොඩක් කතාබහට ලක්වුණු නිර්මාණ දෙකක් වුණා. ‘‘මානෙත්’’ කියන්නේ වෙනස්ම විදියෙ ගීත නිර්මාණයක්. එහි ගීත වීඩියෝව ගැනත් ​ගොඩක් දෙනෙක් කතා කළා. මේ විරහ ගීතයක්. ඒ නිසා වෙන්න ඇති සමහරවිට මේ ගීතයට වැඩි ප්‍රතිචාරයක් ලැබෙන්න ඇත්තේ.

ඒ කියන්නෙ ලංකාවෙ ගොඩක් දෙනෙක් විරහවට කැමතියි කියන දේද?

අද ලංකාවේ විශේෂයෙන්ම බූට් සින්දු කියන දේ ගොඩක් හැදෙනවනෙ. නමුත් මම නම් ඒ දේට හරිම අකමැතියි. අපි කවුරුත් විරහව විදලා තියෙනවනෙ. ඇත්තටම විරහව කියන්නෙ ඉස්සර කාලේ ඉදන්ම අපේ ගීතවල ලියවුණු කියවුණු දෙයක්. නමුත් දැන් ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා ‘‘බූට් සින්දු’’ කියලා. ඒ ගීත නිර්මාණ එකම විදියට යන්නෙ. ප්‍රඩක්ෂන් එක ගත්තත් එකම වගේ හැදෙන්නෙ. ඒ නිසා තමයි මම මෑතක ඉදන් එන බූට් සින්දුවලට අකමැති. ඒ වගේම අද ගිත නිර්මාණය කරද්දි ගොඩක් අය SMS එකක් ගහනවා වගේ තමයි ගීත නිර්මාණය කරන්නෙ. ඇත්තටම ඉස්සර කාලෙ අපේ ප්‍රවීණයන්ගෙ සුනිල් එදිරිසිංහ, ටී.එම්. ජයරත්න, අමරදේව ශූරීන්ලා වගේ චරිතවල ගීත ගත්තම ඒ ගීතවලත් විරහව ගොඩක් තියෙනව. නමුත් ඒ කාලෙ ලියවුණු ඒ ගීත හරිම ලස්සනයි. ඒ කියන්නේ භාෂාව හසුරවන විදිය එහෙම ඉතාම විශිෂ්ටයි. ඒ ඒ ගීතවල වචන ගැඹුරටම දැනෙනවා. ඒ නිසාම තමයි විරහ ගීතවලට ගොඩක් දෙනෙක් ප්‍රිය කළේ. 

කනිෂ්ක ගීත ගායනයට පෙළෙඹෙන්නෙ කොහොමද?

පොඩි කාලෙ ඉදන්ම මම ගීත ගායනයට යොමුවෙලා තියෙන්නෙ. පුංචිම කාලෙදිත් අවුරුදු 3, 4 කාලෙදී වගේ මම කුස්සියේ හැදි, ගෑරුප්පු අරගෙන හට්ටි, මුට්ටිවලට තට්ටු කර කරා ගීත ගායනා කරලා තියෙනවා. ඒ කාලේ ඉදන්ම මගෙ අම්මයි, අප්පච්චියි මේ අංශයට මාව යොමු කරලා තියෙනවා. ඒ දෙන්නාටත් හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. ඒ ආභාසයත් එක්ක තමයි මම සංගීතය පැත්තට එන්නේ. මම මුලින්ම පාසල් ගියේ මහනුවර ධර්ම රාජ විද්‍යාලයට. මම මුල්ම කාලෙදිත් පන්තිභාර ටීචගෙන් අහලා තියෙන්නෙ ඉස්කෝලෙ සින්දු කියන්න පුළුවන් ද කියලා. ධර්මරාජ විද්‍යාලයේ මම හිටියෙ ටික කාලයයි. එතැනින් පස්​සේ මම ගේට්වේ ජාත්‍යන්තර පාසලට ගියේ. ඒ පාසල් දෙකේදීම මම සංගීතය කළා. ගේට්වේ පාසලේ ගොඩක් අය මාව හඳුනන්නේ සින්දු කියන කනිෂ්ක නැත්නම් ඩ්‍රම්ස් ගහන කනිෂ්ක කියලා. මොකද මම පාසල් අපරදිග තූර්ය වාදක කණ්ඩායමෙත් හිටියා. ඒ වගේම ඒ කාලෙ අපි සංගීත කණ්ඩායමකුත් කරගෙන ගියා. ඒ කාලෙම ආරම්භ කරපු සංගීතය A/L වලින් පස්සෙත් නැවතුණේ නැහැ. ඊට පස්සෙත් මම සංගීත කණ්ඩායම්වල ප්ලේ කළා. දුෂ්‍යන්ත වීරමන් අයියා එක්කත් වැඩ කරලා තියෙනවා.

කනිෂ්ක දැන් සංගීතය කරන්නේ විනෝදාංශයක් විදියට ද?

මම උසස් අධ්‍යාපනය හැදෑරුවේ නම් ගිණුම්කරණ අංශයෙන්. උපාධිය ලබා ගත්තෙත් ඒ අංශයෙන්. ඒ නිසාම ඒ ක්ෂේත්‍රයේ අවුරුදු 3 ක් විතර රැකියාව කළා. නමුත් මගේ කැමැත්ත උපරිමව තියෙන්නෙ සංගීත පැත්තට. ඒ අංශයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව ඉතිං මට හිතුණා කරන රැකියාව අකමැත්තෙන් කරන නිසා මම ඒ අංශය හරියන්නෙ නෑ කියලා. ඒ නිසා මම 2019 දී කරපු රැකියාව අත ඇරලා ෆුල් ටයිම් සංගීත ක්ෂේත්‍රයට පිවිසුණා. මුලින්ම ඒ දේට අම්මගෙ ලොකු විරුද්ධත්වයක් තිබුණා. මොකද ගිණුම්කරණ අංශයෙන් උපාධියකුත් අරගෙන ඒ තුළින් ප්‍රයෝජනයක් නොගෙන සංගීත ක්ෂේත්‍රයට පිවිසෙනවට නමුත් අම්මට මගේ කැමැත්ත තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ නිසා මගේ කැමැත්තට ඉඩ දුන්නා. දැන් අම්මගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ ගමන යන්න අම්මාට ගීත නිර්මාණය කරන්නත් හැකියාවක් තියෙනවා. අම්මයි මමයි එකතුවෙලා ලියපු ගීතත් තියෙනවා. ඉතින් ගීත නිර්මාණයත් එක්ක මම ගායකයෙක් සංගීත නිෂ්පාදකවරයෙක් විදියට දැන් ෆුල් ටයිම් වැඩ කරනවා.

කනිෂ්කගෙ අම්මා ලංකාවෙ ජනප්‍රිය දේශපාලන චරිතයක්. ඇය රෝහිනී කවිරත්න ඉතින් ඇයගේ අඩිපාරෙ යන්න අදහසක් තිබුණෙම නැද්ද?

මගෙ අම්මා, අප්පච්චි දෙන්නම දේශපාලනයට සම්බන්ධයි. අප්පච්චි 1993 සිට දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියේ. අම්මා සම්බන්ධ වුණේ 2015 වසරෙ. ඉතින් මම ඉපදුනු දවසෙ ඉදන්ම දකින දේ තමයි දේශපාලනය ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි දේශපාලනයට එන්නෙ නැද්ද කියන දේ. දේශපාලනය ගැන මට තියෙන්නෙ ලොකු කළකිරීමක්. ඒනිසා ඒ පැත්තට යොමුවෙන්න මගේ හිත නැහැ.

රංගන ක්ෂේත්‍රයටත් සම්බන්ධ වෙලා තියෙනවා නේද?

ඔව්, මම 2004 විකාශය වුණු ‘‘මල් කැකුළක් ඉකිබින්දා’’ ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය කළා. එහි කතාව වුණේ පාසල් අවසාන දවසේ ළමයෙක් පාසල ඇතුළෙ හිරවෙලා අම්මලාට තාත්තලාට හොයාගන්න බැරිව ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න වුණු කතා පුවතක්. ඒ ගොඩක් දෙනෙක් නරඹපු කතාවක්. එතැනින් පස්සේ දිගටම රංගනයට මට ආරාධනා ලැබුණා. නමුත් පාසල් වැඩ අතපසු වෙන නිසා ඒ කාලෙ ගෙදරින් රංගනයට අවසරයක් තිබුණේ නැහැ. නමුත් දැන්නම් ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලොකු කැමැත්තක් තියෙනවා. ඉදිරියේදී ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම රංගනයට එකතුවෙන්න කැමැත්ත තියෙනවා.

ධනු විජේරත්න