අද රොෂාන්ගේ බිරිඳ එදා රොෂාන්ගේ මල්ලිගේ හොඳම යාළුවෙක්
රොෂාන් සහ කුශ්ලානි විවාහවෙලා දැන් අවුරුදු අටක් වෙනවලු. කාලයක ඉඳන් තිබුණ ආදර කතාවක් තමයි මීට අවුරුදු අටකට උඩදී මල්ඵල දරලා අද එක වහළක් යටට වෙලා තියෙන්නේ. ඉතින් ඔය අවුරුදු ගණනාවම කුශ්ලානිගෙන් රොෂාන්ටත්, රොෂාන්ගෙන් කුශ්ලානිටත් එයාලගේ උපන්දින වෙනුවෙන් ''සප්‍රයිස්'' එහෙමත් විඳලා තියෙනවා.
''කුශ්ලානි මගේ උපන්දිනවලට විවිධ උපන්දින තෑගි නම් දීලා තියෙනවා. ඒ අතරින් මට අමතක නොවන උපන්දින සැමරුම් එහෙමත් එයා මට දීලයි තියෙන්නේ. ස්ටාර් සිටි (Star City) වැඩසටහන කරන කාලයේදී මගේ උපන්දිනයට එයා දීපු සප්‍රයිස් එක මට හොඳට මතකයි. එදා උපන්දිනයදා මම ස්ටාර් සිටි වැඩසටහනට සහභාගි වෙලයි හිටියේ. ඒක ඉවරවෙලා ගෙදර එද්දී ගොඩාක් රූ වෙලා තිබුණා. මම ගෙදරට එද්දී සාමාන්‍ය විදිහට ගෙදර විදුලි බුබුළු දැල්විලා තිබුණා. මම උඩට ගිහින් බලද්දී අපේ කාමරේ කළුවරේ. මට හිතාගන්න බැහැ. මම කාමරය ඇතුළට ගිහින් ''ලයිට්'' එක දාන්න හදද්දී පුංචිම පුංචි එළියක් කළුවරේ මම දැක්කා. මම ඉක්මනට ''ලයිට්'' එක දාලා බලද්දි කුශ්ලානි ''බර්ත් ඩේ'' කේක් එකක් ගෙනත්, ඉටිපන්දම් පත්තු කරලා කාමරේ සරසලා තිබුණා. ඒ උපන්දින සප්‍රයිස් එක නම් මට අමතක වෙන්නේ නැහැ.
2002 ඒ දවස කොහොම අමතක කරන්නද?
අද රොෂාන් රණවන කියන්නේ දක්ෂ, කඩවසම් රංගන ශිල්පියෙක් වුණාට රොෂාන් මුලින්ම Mr. Sri Lanka තරගයට ඉදිරිපත් වෙලා එයින් ජයග්‍රහණය කරපු තරුණයෙක්. මම 2002 අවුරුද්දේ Mr. Sri Lanka තරගයට ඉදිරිපත් වෙලා පළමු ස්ථානය දිනාගත්තා. ඒ ජයග්‍රහණය මට කවදාවත් අමතක වෙන්නේ නැති දවසක්. තමන්ට ජයග්‍රහණයක් එක්ක ලොකු වටිනාකමක් ලැබෙද්දී හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ ජයග්‍රහණය මට හිමිවුණේ 2002 අවුරුද්දේ.
"නැගී එන නළුවා" මට මාර වටිනවා
රොෂාන් ජනප්‍රිය නළුවාට හිමි සම්මානය මේ වෙද්දී කීපවතාවක්ම දිනාගෙන තිබෙනවා. හැබැයි රොෂාන් සිනමාවේ මුලින්ම දිනාගත්තේ නම් ''නැගී එන නළුවා'' සම්මානයයි.
2006 අවුරුද්දේදී තමයි සිනමාවේදී මුලින්ම මට සම්මානයක් හිමිවුණේ. එම වසරේදී පැවැති ජනාධිපති සම්මාන උළෙලේදී මම ඒ සම්මානය ''හිරිපොද වැස්ස'' චිත්‍රපටයේ එක්වුණු රංගනය වෙනුවෙන් සම්මානය දිනාගත්තා. ඒ තමයි මම රඟපාපු මුල්ම චිත්‍රපටය.
මම යද්දී කට්ටිය තෝරගෙන ඉවරයි කීවා! ඒත් ඊට පස්සේ... හිතාගන්න බැරිවුණා!
හිරිපොද වැස්ස චිත්‍රපටයේ මුල්ම රංගනය වුණ රොෂාන් ඒ චිත්‍රපටයට දායක වෙන්න අවස්ථාවක් ලැබීමත් අහම්බයක් වගෙයි.
''හිරිපොද වැස්සට සම්බන්ධ වීමත් හරි අපූරු අත්දැකීමක්. එහි අධ්‍යක්ෂක උදයකාන්ත මහතාව සම්බන්ධ වෙන්න ගියපු මුල්ම අවස්ථාවේදී හරිම පුදුම සහගත අත්දැකීමකට රොෂාන් මුහුණදීලා තියෙනවා.
හිරිපොද වැස්ස චිත්‍රපටයට මම යද්දිත් කට්ටියව තෝරාගෙන ඉවරයි. ''පස්සෙ දන්වලා එවන්නම්'' කියලා කිව්වට මේ තරම් දුරක් ගෙනයන සුභ ආරංචි පණිවිඩය රොෂාන්ට ඒවි කියලා නම් රොෂාන් හිතලා තිබුණේ නැහැ. කොහොම හරි ඒ පණිවිඩය නිසාම රොෂාන් උදයකාන්ත අයියව මුණගැහෙන්න නැවත යද්දී ''ඔන්න ඔයාව ප්‍රධාන චරිතයට තෝරාගෙන තියෙනවා කියලයි කියලා තිබුණේ. ඉතින් හිතාගන්න පුළුවන්නේ ඒ වෙලාවේ රොෂාන්ට මොනතරම් සතුටක් හිතෙන්න ඇත්ද කියලා. ඒ ලැබුණු පණිවිඩය අද රොෂාන්ව ගොඩාක් දුර අරගෙන ඇවිත් තියෙනවා. ඒ වගේම තමන් රඟපාපු මුල්ම චිත්‍රපටය අර පුළුල් තිරයෙන් දැකපු මුල්ම මතකයත් අමතක වෙන්නේ නැහැ කියලයි රොෂාන් කියන්නේ. එදා දැනුණ ඒ නැවුම් හැඟීම අද ලබාගන්න බැහැලු.
කොල්ලෙක් වගේ හිටපු කෙල්ලක්!
අද රොෂාන්ගේ බිරිඳ එදා රොෂාන්ගේ මල්ලිගේ හොඳම යාළුවෙක්. ඒ ගොඩාක් පොඩි වයසේදී. ඉස්සර රොෂාන්ගේ සීයගේ ගේ ළඟ තමයි කුශ්ලානිත් පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් රොෂාන් එයාගේ මල්ලි එක්ක සීයලාගේ ගෙදර ආවම රොෂාන්ගේ මල්ලි තමයි සීයලාගේ ගෙවල් ළඟ හිටපු පොඩි කෙල්ලෙක් එක්ක බැඩ්මින්ටන් සෙල්ලම් කළේ.
''ඉස්ස මට වඩා මගේ මල්ලි කුශ්ලානිගේ හොඳ යාළුවෙක්. දවසක් මම හවායි කොළපාට පිනපෝ ටීෂර්ට් එකකුයි කලිසමකුයි ඇඳගෙන කොල්ලෙක් මල්ලිත් එක්ක සෙල්ලම් කරනවා දැක්කා. ටික වෙලාවක් මේ දෙන්නා සෙල්ලම් කරන දිහා බලාගෙන හිටපු මට ''මේ කොණ්ඩය කොටටම කපපු ගැහැනු ළමයෙක් කියලා තේරුණා. අද කොච්චර කාලය ගෙවිලා ගියත් ඒ සුන්දර මතකය මට හොඳටම මතකයි.
මුලින් ආසාවෙන් හිටියේ දුවෙක්ට
කුශ්ලානියි මායි විවාහ වුණේ 2014 අවුරුද්දේ. අපේ පුතා ඉපදුනේ 2019 අවුරුද්දේ. ඇත්තටම මුලින්ම මම ආසාවෙන් හිටියේ දුවෙක්ටයි. හැබැයි අද මිනෙත් අපේ ජීවිතේ සතුටින් පුරවනවා. කුශ්ලානිට පුතා ඉපදෙද්දී මාත් එයා ළඟම හිටියා. ඒක වෙනමම අත්දැකීමක්. වචනයෙන් අදටත් කියාගන්න බැරි අත්දැකීමක්. අද මිනෙත් පුතා මගෙයි කුශ්ලානිගෙයි ජීවිතේ දවසින් දවස හරි අපූරුවට සතුටින් පුරවනවා. අද ඒ සැමරුම හරි අපූරුයි.
දිශානි