අද මාව බොහෝ දෙනෙක් හඳුනන්නේ ‘දෙවෙනි ඉනිම’ ටෙලි නිර්මාණයේ ‘රදීෂ්’ චරිතය නිසා
කලා ක්ෂේත්රයට අලුතින් සම්බන්ධ වුණු තරුණ රංගන ශිල්පීන් අතරින් වැඩිම ආකර්ෂණයක් දිනාගෙන ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පියෙක් තමයි ඉෂාර මධුෂාන්. ඔහු ගුරුවරයෙක් විදියටත් සමාජ ජාලා ඔස්සේ අතිශය ජනප්‍රිය චරිතයක්. මෙවර සඳැල්ලෙන් ඔහු ගැන පුංචි කතාබහක් කරන්නට ඉඩක් වෙන්වෙන්නෙ මෙලෙසින්.
ඉෂාර මදුෂාන් ගැන කලා ක්ෂේත්රයේ කතාබහ කෙරෙන්නේ ‘දෙවෙනි ඉනිම’ ටෙලි නිර්මාණය නිසානෙ ඉතින් මුලින්ම ඒ ගැන සඳහන් කරමු?
ඔව්, අද මාව බොහෝ දෙනෙක් හඳුනන්නේ ‘දෙවෙනි ඉනිම’ ටෙලි නිර්මාණයේ ‘රදීෂ්’ චරිතය නිසා. මීට වසර එක හමාරකට පමණ පෙර වගේ තමයි මම මේ නිර්මාණය වෙනුවෙන් සම්බන්ධ වුණේ. ඉතින් අද වෙද්දී මගෙ රංගනය වෙනුවෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. මේ නිර්මාණයේ අවසන් කොටස් කිහිපය තමයි දැන් විකාශය වෙන්නේ. ඉතින් ගෙවුණු කෙටිකාලය තුළ ලැබුණු ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි.
මේ නිර්මාණයට සම්බන්ධ වීම කොහොමද සිද්ධ වුණේ?
මේ චරිත රංගනය වෙනුවෙන් මට ආරාධනා කරන්නෙ දෙරණ නාළිකාවෙ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයා. ඔහුට ස්තූතිවන්ත වෙන්න ඕනැ මාව මේ වෙනුවෙන් දායක කර ගැනීම සම්බන්ධව.
මීට පෙර රංගනය පිළිබඳ අත්දැකීම් තිබිලා තියෙනවද?
ඇත්තටම නැහැ. නමුත් මම පුංචි කාලෙ ඉඳන්ම කලාවට සම්බන්ධ වෙන්න ඒ තුළින් ජනප්‍රිය වෙන්න ලොකු කැමැත්තක් තිබුණා. ඒ කැමැත්ත තිබුණත් මගේ ලොකුම හීනය වුණේ ඉංජිනේරුවරයෙක් වීම. ඒ නිසා ඒ හීනයට තමයි වැඩ කළේ. ඉතින් පාසල් යන කාලෙදි රංගනය සම්බන්ධ කිසිම දෙයක් කරලා නැහැ. මම පාසල් ගියේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයට. ඒ පාසල තුළ මම නිවේදනයට නම් සම්බන්ධ වෙලා හිටියා. ඒ හැර බාහිර වැඩ කටයුතු කළේ ගොඩක් අඩුවෙන්. මුල්තැන ලබාදුන්නෙ අධ්‍යාපන කටයුතුවලට.
අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දුන්න ඉෂාරට හොඳ ප්‍රතිඵල ලැබෙන්නත් ඇති?
ඔව්. අනිවාර්යයෙන්ම මම මහන්සි වුණු විදියට ප්‍රතිඵලය ලබා ගන්න හැකි වුණා. සාමාන්‍ය පෙළ විභාගයේ A සාමාර්ථ 9 ක් සහ උසස් පෙළ විභාගයේ A සාමාර්ථ 3 ක් ලබාගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න මට අවස්ථාව ලැබුණා. ගණිත අංශයෙන් තමයි මම උසස් පෙළ සමත් වෙන්නෙ.
ඒ කියන්නෙ ඉංජිනේරු සිහිනය සැබෑ වුණා?
ඔව්, මගේ කැමැත්ත සහ එකම බලාපොරොත්තුවට යන්න මට හැකි වුණා.
ඒ ඉංජිනේරුවා අද රංගන ශිල්පියෙක් සහ ගුරුවරයෙකුත් වෙලා පුංචි කාලෙ තවත් බලාපොරොත්තුවක්ව තිබුණු ජනප්‍රියත්වයටත් ඇවිල්ලා ඉන්නවා නේද?
ඔව්. ඇත්තටම ඒ ගැන මට ගොඩක් සතුටුයි. මම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සෙ තමයි කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න ආයෙත් කැමැත්තක් ආවෙ.
2019 වසරේ ‘අවුරුදු කුමාරයා’ තරගාවලියකට සම්බන්ධ වෙලා ඒ තුළිනුත් මට ජයග්‍රහණය ලබාගන්න හැකි වුණා. පසුකාලීනව තමයි මට අවස්ථාව ලැබුණෙ දෙවනි ඉනිම නාට්‍යයට සම්බන්ධ වෙන්න. ඒ තුළින් මගේ රංගන ශිල්පියෙක් වීමේ බලාපොරොත්තුවත් ඉෂ්ට වුණා. ඉතින් ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වීම ගැන මට තියෙන්නෙ ලොකු තෘප්තියක්.
රංගන ශිල්පියෙක් විදියට කොයි වගේ දුරක් ද යන්න බලාපොරොත්තු වෙන්නෙ?
දෙවනි ඉනිම කියන්නෙ මගේ පළමු ටෙලි නිර්මාණ රංගන දායකත්වය. මේ නිර්මාණයට සම්බන්ධ වෙලා වසරක් ගතවෙන්නටත් පෙර රයිගම් සම්මාන උළෙලෙ ජනප්‍රියම කාණ්ඩයේ රංගන ශිල්පීන් අතරින් මුල්ම 10 දෙනා අතරට එන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් ඒ තරම් කෙටිකලක් තුළ ඒ විදියට ජනප්‍රිය වීම සම්බන්ධයෙන් ගොඩක් සතුටුයි. ඇත්තටම රංගනය කියන්නෙ හිතන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ තුළ ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම තවත් මේ ක්ෂේත්රයේ දේවල් අධ්‍යයනය කරමින් හොඳ නිර්මාණ ලැබුණොත් තෝරා බේරාගෙන ඒ වෙනුවෙන් දායක වෙන්න කැමැත්තක් තියෙනවා. මේ වෙද්දිත් රංගනය තුළ අවස්ථා කිහිපයක්ම ලැබිලා තියෙනවා සම්බන්ධ වෙන්න. නමුත් රංගනය කියන්නෙ මගේ වෘත්තිය නෙමෙයිනෙ. ඒ නිසා මට නිර්මාණයක් වෙනුවෙන් ලබාදෙන්න පුළුවන් කාලයත් එක්ක ඒවාට සම්බන්ධ වෙලා පියවරෙන් පියවර හිමින් ඒ තුළත් ගමනක් යන්න කැමැතියි. විශේෂයෙන්ම සිනමා නිර්මාණයකටත් සම්බන්ධ වෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
ධනු විජේරත්න