අද නාමල් කියන නමටත් වඩා ප්‍රේක්‍ෂකයන් මට කතා කරන්නේ වස්තු කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔහු මේ දිනවල කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්‍ෂකාගාරයට එන අලුත්ම දුෂ්ඨයා කිවහොත් නිවැරදියි. නාමල් ප්‍රවීන් කියනවට වඩා ඔහුව දැන් බොහෝ දෙනා හඳුන්වන්නේ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ වස්තු විදිහට. ‘‘වස්තු’’ දුෂ්ඨයෙක් වුණත් වස්තුට ආදරය කරන බොහෝ දෙනෙක් ඔහු ගැන දැන කියාගන්න බොහොම ආසාවෙන් ඉන්න නිසාම අපි වස්තු වෙනුවෙන් ඉඩකඩක් වෙන් කරන්න සිතුවා. මේ තමයි වස්තුට පණ දෙන නාමල් ප්‍රවීන්

නාමල් කියන්නේ ප්‍රතික්ෂේප වීම් හමුවේ නැගිටපු තරුණයෙක් කිව්වොත් මම හරිද?

හරියටම හරි නළුවෙක් වෙනවා කියන එක මට පුංචි කාලෙ ඉඳලා තිබුණ හීනයක්. මුල් කාලේ නුවර ඉඳලා කොළඹ ඇවිත් තිරපරීක්‍ෂණවලට මුහුණ දීලා කිසිම සුබවාදී පිළිතුරක් නොලැබුණාම ආපහු ගෙදර ගියත් නළුවෙක් වෙන්න තිබුණු වුවමනාව දශමයකින්වත් අඩු වුණේ නැහැ.

නළුවෙක් වෙන්න තිබුණු වුවමනාව කොයි තරම් ද කියනවා නම් සාමාන්‍ය පෙළ ඉවර වුණ ගමන් රඟපාන්න අවස්ථාවක් සොයාගෙන නුගවෙල ගමේ ඉඳන් කොළඹට ආවා. ඒ දවස්වල සුදර්ශියට නිතරම ආවා. ගණන් කරන්න බැරි තරම් තිරපරීක්‍ෂණවලට පෙනී ඉඳලා තියෙනවා. ඒත් ඒ සැම තැනකින්ම ලැබුණේ පස්සේ දන්වලා එවන්නම් කියන උත්තරය විතරයි. ඒ එක තැනකින්වත් මට පණිවිඩයක් ලැබුණේවත් පුංචි හරි අවස්ථාවක් ලැබුණේවත් නැහැ. අවස්ථා නොලැබෙනකොට දුක හිතුන තැන් තිබුණා. හැබැයි නළුවෙක් වෙන හීනය මගේ හිතෙන් මැරුනේ නැහැ.

රංගන ක්ෂේත්‍රයට ඒ තරම් කැමැත්තක් දක්වන්න විශේෂ හේතුවක් තිබුණද?

පුංචි කාලේ ටෙලි නාට්‍ය චිත්‍රපටි බලද්දි මට ඒ රංගන ශිල්පීන්, ශිල්පිනියන් ඇත්තටම දකින්න ආසාවක් තිබුණා. ඒ අය එක්ක කතා කරන්න ලොකු ඕන කමක් තිබුණා. පහේ පන්තියේදී ලොකු වුණාම කැමති කවුරු වෙන්නද කියලා ඇහුව්වාම මම කිව්වේ නළුවෙක් වෙනවා කියලා. මුළු පන්තියම එදා මට හිනාවුණා. නළුවෙක් වෙන හීනය මට විතරක් තිබුණ හීනයක් නෙමෙයි. මාව නළුවෙක් කරන්න මගේ අම්මාටත් ලොකු ආසාවක් තිබුණා. නළුවෙක් වෙන ආසාවට මුලින්ම ඉඩහසර විවර වෙන්නේ ගමේ දහම් පාසලේ වේදිකාවෙන්.

එතනින් පස්සේ?

ඊට පස්සේ රංගනය ගැන හැදෑරීමක් කරන්න ඕන කියලා හිතුවා. මහේන්ද්‍ර පෙරේරා මහත්මා යටතේ රංගන පාඨමාලාවක් හැදෑරුවා. නමුත් ඒ පාඨමාලාව අවසන් කරන්න තරම් මට ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. පාඨමාලාව අතරමඟ නතර කරන්න වුණා කියලා මම දුක් වුණේ නැහැ. මම ඒ වෙලාවෙදි හිතුවා නළුවෙක් වෙන හීනේ පැත්තකින් තියලා ආර්ථික පැත්තෙන් ශක්තිමත් වෙන්න ඕන කියලා.

ඒ ගමනේද ඔබ ඡායාරූප ශිල්පියෙක් වෙන්නේ?

ඔව් ඊට කලින් මම රැකියාවකට යොමු වෙලා ඒ රැකියාව කරන අතරතුර ඡායාරූප ශිල්පය පිළිබඳ පාඨමාලාවක් කරනවා. ලාල් හෑගොඩ මහත්මා යටතේ ඡායාරූප පාඨමාලාව හදාරලා ඊට පස්සේ ඒ ගැන තවදුරටත් අධ්‍යයනය කරලා මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා. ඊට කලින් මම ෆ්‍රීලාන්සර් ඡායාරූප ශිල්පියෙක් විදිහට වැඩ කළා. මියුසික් වීඩියෝ ෆොටෝ ෂූට් කරලා අත්දැකීම් අරගෙන තමයි මම ඡායාරූප ශිල්පියෙක් විදිහට මගේ වෘත්තිමය ගමන ආරම්භ කළේ. මට ඕන වුණේ මගේ නම බ්‍රෑන්ඩ් එකක් කරගන්න. ඒ වගේම NP කියන බ්‍රෑන්ඩ් එක හදන්න මට හැකියාව ලැබුණා.

කොහොම වුණත් නාමල්ගේ ජීවිතේ වෙනත් මාවතකට හැරෙන්නේ කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ වස්තු හරහා ඒ ගැන කතා කරොත්?

මීට පෙර මම කවදාවත් ටෙලි නාට්‍යයකට දායක වෙලා නැහැ. මේ මගේ පළමු ටෙලි නාට්‍යය රංගනය ඇත්තම කියනවනම් ධනුෂ්ක රත්නායකව මුණගැසීම තමයි මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්‍ෂ්‍යය.

මම ඡායාරූපකරණය කරගෙන යන අතරේ නුවරඑළියේ පොඩි හෝටලයක් පටන් ගත්තා. දවසක් මිලින්ද කියලා මගේ යාළුවෙක් එක්ක යශ් සහ ධනුෂ්ක රත්නායක නුවරඑළියට ආපු වෙලාවේ මට මුණගැහෙන්න අවස්ථාව ලැබුණා? එතනදී ධනුෂ්ක මහත්මයා කතා කරකර ඉන්නකොට තමයි මට වස්තුගේ චරිතයට ආරාධනා ලැබෙන්නේ. එදා ඔහු නුවරඑළියෙදි මට කිව්වා මල්ලි වස්තු කියන චරිතය උඹේ ජීවිතේ හොඳ හැරවුම් ලක්‍ෂයක් වෙනවා. මේක කරහං කියලා. එදා කිව්වා වගේම ඇත්තටම දුෂ්ඨයකුගේ චරිතයක් වුණත් වස්තුට අද ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා.

වස්තු නිර්මාණය කරන්න කලින් වසන්ත ගීතරාජ් මහත්මා යටතේ ධනුෂ්ක රත්නායක මහත්මා මාව වැඩමුළුවකට යොමු කළා. එතනදී තමයි චරිතය හදාගන්න මට පන්නරය ලැබුණේ. විවාණි ඇකඩමි එකේ ජෝන් මහත්මා යටතෙත් වැඩමුළු හදාරලා දැනුම ලබාගන්න හැකියාව ලැබුණා. තාමත් මම ඉගෙන ගනිමින් තමයි රංගනයේ යෙදෙන්නේ.

මම නවකයෙක් වුණත් මාව කොන් කරන්නේ නැතුව ඉස්සරහට එන්න මේ කියා දෙන්න ආදරේ තරම් කණ්ඩායම ලොකු සහයෝගයක් මට ලබා දෙනවා. ඒ සියලුම දෙනා ආදරයෙන් මතක් කරනවා.

එදා නාමල්ගේ රූපෙට නොලැබුණු වටිනාකම අද ලැබිලා තියෙනවා ඒ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මගේ රූපෙන් කවදාහරි ප්‍රයෝජනයක් ගන්නවා කියන එක මට තිබුණ ලොකු බලාපොරොත්තුවක්. දුෂ්ඨයකුගේ චරිතයක් කරන්න ලොකු ආසාවක් මට තිබුණා. මගේ පෙනුම නිසා. වස්තුගේ චරිතයට මට අවස්ථාව ලැබෙන්නත් විශේෂම හේතුව වුණේ මගේ මේ පෙනුම.

වස්තුට කොහොමද ලැබෙන ප්‍රතිචාර?

වස්තු දුෂ්ඨයෙක් වුණත් පොඩි දරුවාගේ ඉඳලා හැමෝගෙන්ම ඉහළ ආදරයක් ලැබෙනවා. වස්තුට කැමති නෑ කියලා මූණටම කියන අයත් ඉන්නවා. කොහොම වුණත් අවුරුදු 16 දී මම කොළඹ සුදර්ශියට එන්නේ නළුවෙක් වෙන්න ලොකු හීන ගොඩක් එක්ක. මාව ප්‍රතික්ෂේප වෙන්න වෙන්න මගේ හීනය තව වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. !අද නාමල් කියන නමටත් වඩා ප්‍රේක්‍ෂකයන් මට කතා කරන්නේ වස්තු කියලා

වස්තු දුෂ්ඨයි නාමල්?

අනේ හරිම සංවේදී කොල්ලෙක් මං

පවුලේ තොරතුරු ටිකකුත් කියමු.

මගේ ගම නුවර කටුගස්තොට. මම ඉගෙන ගත්තේ නුගවෙල මධ්‍යම මහා විද්‍යාලයේ. පවුලේ අම්මායි, තාත්තයි, නංගියි, මල්ලියි තමයි ඉන්නේ.

නදීශා අතුකෝරළ