අද ජීවිතය වින්දට එදා අපි දෙන්නම විඳෙව්වා
චමත්කා... මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ පෝලිම්වලයි. ඊට අමතරව වැඩ ටිකකුත් කරනවා. කරන්න තිබුණ වැඩ කිහිපයක්ම මේ රටේ පවතින තත්ත්වයත් එක්ක පස්සට ගියා. කලණ ගුණසේකර එක්ක කරපු පියාඹන්න ආයෙත් චිත්‍රපටය තිරගත වීමට නියමිතව තියෙනවා. අජිත් ධර්මසූරියගේ වර්ණ නම් චිත්‍රපටයත්, තිරගත වීමට සූදානමින් ඉන්නවා. ඊට අමතරව බාරගත්තු චිත්‍රපට දෙකක් රෑගත කරන්නට සූදානමින් ඉන්නවා.
ඒ චමත්කා.... වැඩිපුරම කැමැති සිනමා නිර්මාණවලට දායක වෙන්නද?
ඔව්... මේක තමයි මගේ හීනය වුණේ. මෙච්චර දේවල් මම කළෙත් සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන්නයි. මුල් කාලයේදී මට ටෙලිනාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණ. හැබැයි මම ඒවා බාරගත්තේ නැහැ. මගේ පළමු ටෙලි නිර්මාණ වන Black pool කියන නිර්මාණයට මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක නුවරඑළියේ රෑගත කිරීම් කරනවා. ඒ මගේ පළමු ටෙලි නිර්මාණයයි. ඉදිරියට ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේදී හොඳම, වෙනස් විදියේ නිර්මාණ ආවොත් බාරගනීවී. හැබැයි මෙගා නාට්‍ය නම් බාරගන්නේ නැහැ
රංගන ශිල්පිනියක් වීම පුංචි කාලේ චමත්කා දැකපු හීනයක් හැබෑ වීමක්ද?
පුංචි කාලේ මගේ හීනය වුණේ වෛද්‍යවරියක් වීමයි. ඒක ඉතින් ගොඩාක් දරුවන් දකින හීනයක්නේ. මම පොඩි කාලේ දැක්කේ කලාවට යොමුවුණ පරිසරයක්. මගේ ලොකු තාත්තා සහාය අධ්‍යක්ෂවරයෙක්. මගේ තාත්තත් කලාවට සම්බන්ධයි. ඒ පරිසරය මම දැක්කා. තමන්ට තමන්වම සොයාගැනීමේ නිදහස මට ඒ කාලේ ඉඳන්ම වුවමනා වෙලා තිබුණා. ඒ නිදහස මට මේ කලාව තුළින් ලැබුණා.
පුංචි කාලේ චමත්කා මොන වගේ චරිතයක්ද?
මම ගෙදර එකම ළමයා. මගේ ඥාති සහෝදරයන් පවා හිටියේ අයියලා. මම ගෙදරට හරි කීකරු දරුවෙක්. එළියට ගියාට පස්සේ දඟයි. ඉස්කෝලේදී ඉගෙනීම හොඳ වගේම ගුටිකන කණ්ඩායමේත් හිටියා. ක්‍රීඩා කළා. මම අම්මට හොඳ කීකරු දුවෙක්. ගෙදර තනියම හැදුණ ගෑනු ළමයෙක්.
තනි ගෑනු ළමයාගේ ළමා කාලය ගෙවුණේ කොහොමද?
මගේ ළමා කාලය ඇත්තටම සුන්දර නැහැ. මගේ අම්මයි, මායි ජීවිතේ ගොඩාක් දුක් විඳපු දෙන්නෙක්. මාව මේ තැනට ගේන්න මගේ අම්මා ගොඩාක් දුක් වින්දා. ආර්ථික ප්‍රශ්න ගොඩාක් තිබුණ. තාත්තා අම්මගෙන් වෙන්වෙලයි හිටියේ. අම්මා තරුණ ගෑනු කෙනෙක් විදිහට. මාව හදාගන්න සෑහෙන්න කැප කිරීමක් කරපු කෙනෙක්. දැන් තමයි එයා එයාගේ ජීවිතේ පොඩ්ඩක් විඳින්නේ. දැන් අම්මා ඉන්නේ ඉතාලියේ. එයා අද ජීවිතේ වින්දට එදා මම වෙනුවෙන් එයා එයාගේ ජීවිතේ ගොඩාක් විඳවන්න ඇති.
අද චමත්කාගේ අම්මා වගේම චමත්කත් ජීවිතේ විඳින කෙනෙක්. තමන්ටම කියලා වාහනයක්, හොඳ ආර්ථික පසුබිමක් චමත්කට තියෙනවා. එදා මේ වගේ ජීවිතයකට චමත්කා හීන දැක්කද?
නැහැ. ඇත්තටම එදා මට තිබුණ හීනය හෙට කන්නේ කොහොමද කියන හීනය විතරමයි. අම්මටයි, මටයි දෙන්නටම තිබුණේ එහෙම හීනයක්, බලාපොරොත්තුවක් විතරයි. අපිට කවදාවත් මෙහෙම වාහන අරගෙන, ගෙවල් අරගෙන ජීවිතයක් ගෙවන හීනයක් තිබුණේ නැහැ. මම තෝරාගන්න රස්සාවක් එක්ක මේ ක්ෂේත්‍රය කියන්නේ ගොඩාක් හම්බ කරලා පොදි ගහගෙන ඉන්න පුළුවන් ක්ෂේත්‍රයක් නෙමෙයි. මට අද මේ ගෙවන ජීවිතය ලබන්න මගේ අම්මා වගේම මාගේ සැමියාත් ගොඩාක් උදව් කළා. අද මගේ අම්මා ඒ කාලේ ඉතාලියේ හැමෝම කරනව වගේ රස්සාවක් කළා. ඉතාලියට ගිහින් අම්මා ගෙවල්වල. හෝටල්වල වැඩකළා. ආච්චිලා බලාගත්තා. දැන් මගේ අම්මා ආයෙත් විවාහ වෙලා ඉන්නේ. අද ඒ දෙන්නා ඉතාලියේ ඉතා හොඳ රස්සාවල් දෙකක් කරනවා.
ඔයාට හිටපු එකම හයිය වුණ අම්මා රස්සාවට ඉතාලියට ගියාට පස්සේ චමත්කා ලංකාවේ හිටියේ කාත් එක්කද?
මම අට වසරේ ඉගෙන ගනිද්දී තමයි අම්මා ඉතාලියට ගියේ. ඊට පස්සේ මම ලංකාවේ තනියම බෝඩිම් වෙලයි හිටියේ. අවුරුදු දහතුනේ ඉඳන් ලංකාවේ තනියම ජීවත් වෙච්ච කෙනෙක්. ඉගෙන ගත්තේ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ. තනියම මම ඒ හැමදේටම මුහුණ දුන්නා. හැබැයි මාව ආරක්ෂිත පරිසරයක රඳවලා තමයි මගේ අම්මා ඉතාලියට ගියේ. එයා හැම මොහොතෙම මම ගැන හොයලා බැලුවා. මම කොහේද යන්නේ මොනවද කරන්නේ කියලා හොයල බැලුවා. ඒ කාලේ උදේ පහේ ඉඳන් දුරකථනය ක්‍රියාත්මක වෙලයි තිබුණේ. මම නිදාගනිද්දීත් අම්මා මම දිහා බලාගෙනයි හිටියේ. එහෙම කාලයක් තිබුණා. ඒ තරමටම අම්මා මාව පුළුවන් උපරිමයෙන්ම පරිස්සම් කළා.
අවුරුදු දහතුනක කෙල්ලෙක් තනියම ජීවත් වෙනව කියන්නේත් ලෙහෙසි කටයුත්තක් නෙමෙයි?
ඔව්... ඇත්ත. අම්මා කෙනෙක් ළඟ නැතිවීම මට හැම මොහොතකම දැනුණා. මම ළඟ තාත්තා අම්මා දෙන්නම හිටියේ නැහැ. ඒ නිසා හිතට අසරණකම දැනිච්චි තැන් තිබුණා. හැබැයි මට හැමදෙයක්ම ඈතක හිටියත් අම්මට කියන්න පුළුවන්කම තිබුණා. පිරිමි ළමයෙක් මගෙන් ඇහුවත් මම ඒක අම්මට කිව්වා. අම්මගේ දැන් වයස අවුරුදු හතළිස් හතරයි. මට අවුරුදු විසි පහයි. ඒ නිසා හැම මොහොතකම අපි දෙන්නා යාළුවෝ දෙන්නෙක් වගේ හැම අදහසක්ම හුවමාරු කරගත්තා. මම ජීවිතේ දැකපු පළමු පිරිමියා මගේ තාත්තා. මගේ අම්මට ජීවිතේ පළමු වතාවට ආදරේ කරන්න ලැබුණ පළමු පිරිමියා මගේ තාත්තායි. ඒ නිසා අපි දෙන්නගේම ජීවිතයට ළංවුණ පළමු පිරිමි චරිතයම අපේ ජීවිතයට දුකක් ගෙනාවා. මම තනියම ජීවත් වෙද්දී මට මිනිස්සු මුණගැහෙන කොට මනුස්සයින් කවුද කියලා තේරුම් ගත්තා. ඒ නිසා ජීවත් වෙන්න අමාරු වුණේ නැහැ.
අද ආදරණීය මවක්?
ඔව්. මගේ සැමියා මිථිල මුහන්දිරම්. අපිට අවුරුදු දෙකහමාරක චූටි පුතෙක් ඉන්නවා. එයාගේ නම බිනෝල් අග්‍ර මුහන්දිරම්. චූටි පුතාට පුංචි කාලේදීවත් මගෙන්වත් යැපෙන්න ඕන නැති විදිහට එයාට හැදෙන්න නිදහස ලබා දීලයි තියෙන්නේ. මේ ලෝකය දැක්ක දවසේ ඉඳන් එයා පුළුවන් තරමක් එයාගේ වයස මට්ටමටත් වඩා එයා තනියම එයාගේ වැඩ කරගන්න උත්සාහ කරන දරුවෙක්. අදටත් මම කවනවාට වඩා එයා තනියම එයාගේ බත් ටික කනවා. පොල් සම්බෝලයි බතුයි වුණත් මගේ අවුරුදු දෙකහමාරේ දරුවට කන්න පුළුවන්. ඒ තත්ත්වයට මම මගේ දරුවව හදලයි තියෙන්නේ. මගේ ළමයාට කොළඹ හොඳ පාසලක් ලැබුණේ නැත්නම් ගෙවල් ළඟ ඉස්කෝලෙට දාන්න මට පුළුවන්. ඒ දරුවාට හොඳ පරිසයක් මම ගෙදර හදලයි තියෙන්නේ. ඒ නිසා බොහෝම නිදහසේ දරුවව හදන්න මම ආසයි.
දිශානි ජයමාලි / සේයාරුව - සුමුදු හේවාපතිරණ