අද ඉඳන් ඉංග්‍රීසි බෑ කියලා නීතියකුත් දැම්මා - වින්ධ්‍යා දෙගල්දොරුව
වින්ධ්‍යා රංගනයෙන් දායක වෙන පළමු ටෙලිනාට්‍ය 'නන්නත්තාර'. ප්‍රවීණ අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණයක් වුණු එම ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණෙ කොහොමද?
2021 අවුරුද්දෙ ලංකාවට ආව මම අබුඩාබිවල පෞද්ගලික පාසලක සංගීත ගුරු වෘත්තියේ යෙදුණු කෙනෙක්. ලංකාවට ආවට පස්සෙ මට බොහෝ වෙළෙඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා. ඔය අතරතුර "උදයකාන්ත වර්ණසූරිය මහතාගේ චිත්‍රපටයකට අලුත් මුහුණක් හොයනවා.. ඒකට සහභාගි වෙන්න" කියලා මගේ හිතවතෙක් මට කිව්වා. ටික දවසකට පස්සෙ මම ඒකට සහභාගි වෙද්දිත් උදයකාන්ත මහතා ඒ චරිතවලට පිරිස තෝරාගෙන ඉවරයි. ඊට පස්සෙ උදය සර් මට ඇමතුමක් දීලා "ජයන්ත චන්ද්‍රසිරි සර්ගේ අලුත් නිර්මාණයකට අලුත් මුහුණක් හොයනවා" කියලා මට කිව්වා. ඒ වෙද්දි මට ටෙලිනාට්‍ය පහකට පමණ ආරාධනා ලැබුණත් ඒවා බාරගත්තෙ නැහැ. හැබැයි ජයන්ත සර්ගේ නිර්මාණයක් කියද්දි මම දෙපාරක් නොසිතාම ඒකට කැමති වුණා.
'නන්නත්තාර' තුළින් ලබපු අත්දැකීම් ගැන මතක් කළොත්?
ජයන්ත චන්ද්‍රසිරි සර්ගේ නිර්මාණයකට දායක වීමම හරියට පාසලක් වගෙයි. මුලින්ම මාව දැකපු දවසෙම ජයන්ත සර් මට පිටපත දීලා "ඔයා හෙට උදේ වෙද්දි මේ පිටපත කියවලා එන්න ඕනෙ.." කියලා කිව්වා. ඒක ලොකු පිටපතක්. මුළු පිටපත පුරාම මම දායක වෙන චරිතය ලියවිලා තිබුණා. මම එදා රෑ පුරාම ඒ පිටපත කියෙව්වා. පසුවදා "මම සර්ගේ විශ්වාසය තියන්නම්" කියලා ජයන්ත සර්ට කිව්වා. හැබැයි සර් මට කියපු දෙයක් තමයි "අද ඉඳන් ඉංග්‍රීසි කතා කරන්න බැහැ.. හොඳට සිංහල වචන හරි විදිහට කියන්න" කියලා. මම කොහොම හරි ඒ අභියෝගයත් බාරගත්තා. මාස හතරක් පමණ අපි රූගත කිරීම් කළා. මේ නිර්මාණයේ මම හැර අනෙක් අය හැමෝම ප්‍රවීණ, දක්ෂ රංගන ශිල්පීන්. කුසුම් රේණු මහත්මිය, අනුරාධා එදිරිසිංහ, මේඝ සූරියආරච්චි ඇතුළු හැමෝම මට ලොකු සහයෝගයක් දුන්නා. ඒ අනුව මා තුළින් 'රම්බා' කියන චරිතය බිහි වුණා.
නිළියක් වීම ඔබ පුංචි කාලේ දැකපු හීනයක්ද?
ඔව්.. මම නුවර. මම ඉගෙන ගත්තෙ නුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ. මගේ තාත්තා වැඩිපුර හිටියේ පිටරට. මම මාතෘ මූලික පරිසරයක තමයි හැදුණෙ. ආත්තම්මලා ඔසරිය අඳින උඩරට පරම්පරාවට වැඩි නැඹුරුවක් දක්වන අයයි. ඒ නිසා නර්තනය සහ වේදිකාව කියන දේවල්වලට ඒ අය වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ. මම නර්තනය, රංගනයට වඩා ගායනයට දක්ෂ කෙනෙක්. පාසලේදි මම සමස්ත ලංකා ගායන තරගවලින් පාසලට ජයග්‍රහණ ගෙනාවා. මේ වෙද්දි මම ගීත කිහිපයක්ම කරලයි තියෙන්නෙ. අමිල ඕහාන් සංගීතවත් කරපු ළහිරු සාරංග පද රචනා කරපු 'ආදරේ දැනුණාද?' ගීතය වගේම රෝහණ වීරසිංහ සර් එක්කත් මෑත කාලයේදී මම ගීතයක් නිර්මාණය කළා. එය නොබෝ කලකින් අහන්න ලැබේවි. මාව බොහෝ යාළුවෝ පාසල් කාලෙ ඉඳන් හොඳ ගායිකාවක් විදිහටයි හඳුනා ගත්තෙ. හැබැයි පාසල් වේදිකාවෙදිත් මම හොඳ නිළියක්.
අද ගෙදරින් රම්බාට තියෙන ප්‍රතිචාර කොහොමද?
එයාලටත් අද මම ගැන පුදුමයි. මගේ අම්මා තාත්තා මට රඟපාන්න පුළුවන් කියලා දැනගත්තෙ 'නන්නත්තාර' ටෙලිනාට්‍ය නිසයි. මට නංගි කෙනෙකුත් ඉන්නවා. ඉස්කෝලෙ යන කාලෙදි කලාවට සම්බන්ධ වෙනවට එච්චර කැමැත්තක් නොදක්වපු ඒ අයට අද මම ගැන සතුටු ඇති. මම ලංකාවට ආවෙ ආයෙත් අබුඩාබිවලට යන්න හිතාගෙනයි. හැබැයි දැන් ආයෙත් යනවද කියන දෙඟිඩියාවෙන් ඉන්නෙ. නුවර මගේ හෝටලයක් තියෙනවා. ඒ නිසා බොහෝ විට මගේ ව්‍යාපාරයක් කරන අතරතුර කලා කටයුතුවලට සම්බන්ධ වේවි. මට චිත්‍ර ඇඳීමේ හැකියාව තියෙනවා. නුවර මගේ හෝටලයේ මම ඇඳපු චිත්‍ර බොහෝ තියෙනවා. ඉතින් බලමු..
වින්ධ්‍යා රංගනයෙන් දායක වුණු චිත්‍රපටයක් තිරගත වීමට නියමිතයි?
ඔව්.. 'නන්නත්තාර' ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න පෙර මම ලංකාවට ආපු වෙලාවක මගේ යාළුවෙක් මාව නුවර තිබුණු 'Beauty Queen' තරගයකට ඉදිරිපත් කළා. මම ඒකෙන් ජයග්‍රහණය කළා. ඊට පස්සෙ මාව ඉරාන් ගොඩමුණේ නිෂ්පාදනය කළ 'රෝස රහස' චිත්‍රපටයට තෝරාගත්තා. ඒක අධ්‍යක්ෂණය කළේ චන්ද්‍රරත්න මාපිටිගම මහතායි. එම චිත්‍රපටයේ රොෂාන් රවින්ද්‍ර සමඟ මම ප්‍රධාන චරිතය රඟපෑවා. ඒ චිත්‍රපටයත් ඉදිරියේදි තිරගත වේවි. 'නන්නත්තාර' වලින් පසුවත් මට ආරාධනා දෙකක් පමණ ලැබුණා. නමුත් මම 'රම්බා' වෙලා තව ටික කාලයක් ඉන්න ආසයි. මේ මම මුලින්ම දකින මගේ චරිතයයි. ඒ නිසා මට තව ටික කාලයක් රම්බා විඳින්න ආසයි.
දිශානි ජයමාලි