අදාළ නැති දේවල් හොයන අය ගැන කලාකරුවන් කියන කතා
අනුන් ගැන විනිශ්චය කරන්න කාටවත් අයිතියක් නෑ
මම දකින විදිහට මේක අපිට අපේ රටේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. හොලිවුඩ්, බොලිවුඩ්, නිර්මාණවලත් අපි එවැනි ඕපදූප චරිත, අනුන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන ජීවිත දැකලා තියෙනවා. ඕක අපේ ආසියානු සංස්කෘතිය ඇතුළේ වැඩියි. ඒ වගේම අනිත් පැත්තට කරදරයක් වුණාමත් ඉස්සර වෙන්නේ ආසියානු නෑයෝ සහ අසල්වැසියෝ තමයි. ඒ කියන්නේ ඒකේ හොඳ නරක දෙකම තියෙනවා. මගේ පෞද්ගලික අත්දැකීම් අනුව නම්, විවිධ ජීවිත වේදනා, තමුන්ට මඟහැරී ගිය ජීවිත අත්දැකීම් ගැන පසුතැවිල්ල ඒ කියන්නේ ඇරියස් සහ විවිධ මානසික රෝගී තත්ත්වයන් කියන දේවල් තිබෙන අය තමයි දුෂ්ටකම් කළේ. මීට පෙර මගේ ජීවිතේ තීරණාත්මක අවස්ථාවලදී උදව්වට පේන්නවත් නොහිටපු ගැහැනු සහ මිනිස්සු මම අප්පච්චිගේ අසනීපය නිසා තනි වුණාට පස්සේ ප්‍රශ්න එද්දී මැදිහත් වෙන්න ඉදිරියට ආවා. ඒ අතරින් හොඳ පවුල් ජීවිත ගත කරන අය, ආදරේ ලබන හෝ ලබපු අය, සුන්දර බාහිර පෙනුමක් පවත්වාගෙන ලස්සනට අඳින පළඳින අය සහ ලෝකය දැකලා තේරුම්ගන්න අය වයස් භේදයකින් තොරව මා සමඟ හයියක් වෙලා හිටියා. වචනයෙන් හෝ හිත හැදුවා. නමුත් විවිධ හේතුන් නිසා ජීවිතේ කවදාවත් සතුටින් පවුල් ජීවිතයක් ගෙනියන්න බැරිවුණ, විලාසිතාවන් කරලා නැති, අකමැත්තෙන් ලෝකයට බයේ ලෝක ප්‍රදර්ශනයක් වශයෙන් පවුල් ජීවිත නඩත්තු කරපු අය මගේ මව මා සමඟ බිඳවන්න පවා බොහෝ අය බොහෝ උත්සාහ ගත්තා. ඒ වගේම විවිධ මානසික ව්‍යාධිවලින් පෙළෙන අය මගේ පෞද්ගලික ජීවිතේ ඔවුන්ගේ කෙටුම්පත් අනුව හසුරවන්න විවිධ නින්දිත උත්සාහ ගත්තා.
සමාජ මාධ්‍ය තිබෙන නිසා දැන් හැමෝටම පුළුවන් තමුන්ගේ අදහස වෙන කෙනකුගේ ජීවිතය ගැන ප්‍රසිද්ධියේ දක්වන්න. ගොසිප් කියන්නේ බිස්නස් එකක්. කාගේ හෝ පෞද්ගලික ජීවිතේ අළලා පලකරන බොරු ප්රවෘත්ති තමයි එහි නිෂ්පාදනය වෙන්නේ. කාගේ හෝ හුස්ම ගැන පවා විනිශ්චය කරන්න අදහස් පළකරන තත්ත්වයට අද සමාජය පත්වෙලා. නමුත් මේ වගේ අය වඳවෙලා යන යුගයක් ඒවි කියලා මම හිතන්නේ නැහැ. අපිට කාවවත් හදන්න බැහැ. හැබැයි අපි කාටවත් එහෙම නොකර ඉමු. මම නැති තැන ඔබ සමඟ මට බනින කෙනා නිසැකවම ඔබ නැති තැන වෙන අය එක්ක ඔබට බනින බව සිහි තබාගන්න.
- මාධවී ඇන්තනී
පෞද්ගලිකත්වය ප්‍රශ්න කරන්න අදාළ නැති අයට අයිතියක් නෑ!
ඇත්තට පොඩ්ඩක් අපි මහත් වුණත් ඒක සමහරුන්ට ලොකු ප්‍රශ්නයක්. ඕනෑම කෙනෙක්ගේ පෞද්ගලික දෙයක් ගැන අහන එක හොඳ නැහැ. කෙනෙක් තවත් කෙනෙකුට පොඩි හරි සතුටු හිතෙන දෙයක් ලබාදෙන්න දැනගන්න ඕනේ. ඔයා මහත්වෙලා. ඔයා කැතවෙලා වගේ කිව්වොත් අනික් හිතට ඒක කොච්චර දැනෙනවාද කියලා කියන කෙනාට තේරෙන්නේ නැහැ. සමහරුන් නම් හිත රිදවන්නට ඒ වගේ දේවල් කියනවා. කෙනෙක් පොඩ්ඩක් කෙට්ටු වුණත් අපි ඒක හිත රිදවන්නේ නැතිව ඔයා ලස්සන වෙලානේ. තව චුට්ටක් මහත් වුණා නම් තව ලස්සනයි කියලා කිව්වනම් කොච්චර හොඳද? ඔයා ඇත්තටම ලස්සනයි. ඒත් චුට්ටක් තව මහත්වෙන්න. මේ දේවල් පොඩ්ඩක් කියන්න කියල දන්න ට්‍රීට්මන්ට් එකක් දෙකක් කිව්වොත් කොච්චර හොඳද? ඒකෙන් ඒ කෙනා කොච්චර සතුටක් ලබයිද? තව කෙනෙක්ව සතුටු කරන්න පුළුවන් නම් ඒක කොච්චර හොඳද? කසාද බඳින එක ගැන, ළමයි හම්බවෙන එක ගැන, වයස ගැන අනවශ්‍ය ප්‍රශ්න අහන එක කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඒක ඒ අයගේ පෞද්ගලික ජීවිතය ගැනයි.
- පියුමි ශ්‍රීනායක
රටේ ලෝකේ මිනිස්සුන්ට ඕන විදියට මම ජීවත් වෙන්නේ නැහැ අනවශ්‍ය පෞද්ගලික ප්‍රශ්න අහන්නේ ඉරිසියාවට
ඔය ප්රශ්නය නිසා මේ දවස්වල මම හරි කේන්තියෙන් ඉන්නේ. මම දාපු ෆොටෝ එකකට එක ගැහැනු කෙනෙක් හරිම නැති විදිහට කතා කරලා තිබෙනවා. මගේ දරුවා ඉන්නේ විදෙස් ගතවෙලයි. දරුවා ඉන්නේ දරුවගේ තාත්තා ළඟයි. ඒ දරුවා ගැන එක එක කතා කියලා අනවශ්‍ය කමෙන්ට් දානවා. තමන්ගේ ජීවිතේ තමන්ට කැමැති, තමන්ගේ ජීවිතේ හරි දේ වැරදි දේ තීරණය කරන්නේ තමන්මයි. ඒ තීරණය ගන්න කොහේවත් ඉන්න කෙනෙක්ට අයිතියක් නැහැ. වෙන කෙනෙක්ට එළියෙන් පේන දේ නෙමෙයි ඇතුළෙන් අපි විඳින්නේ හෝ විඳවන්නේ. ඒක තව කෙනෙක්ට පේන්නෙ නැහැ. ඒ නොපෙනෙන දෙයින් කිසිම විනිශ්චයක් කරන්න එපා. අපි ඔය කිසිම කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතය ගැන හොයන්න යන්නේ නැහැ. ඒ අයගේ ජීවිතවලට අපි ඇඟිලි ගහන්නේ නැත්නම් අපේ ජීවිතවලට ඇඟිලි ගහන්නත් ඒ කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. අපි ප්‍රසිද්ධියේ යාළුවෝ ටිකක් එක්ක කොහේ හරි යනවා කියලා හිතන්න. ඒ යන විදිහට අඳින ඇඳුමට මොනතරම් දේවල් කියනවාද? අපි වැරදි දෙයක් කරන්නේ නැති නිසා තමයි අපි ඒ හැමදේම අපේ මුහුණු පොතේ හෝ ඉදිරිපත් කරන්නේ.
අපි හැමෝම මේ ලංකාවේ ඉන්න සාමාන්‍ය මිනිස්සු. අපි හැමෝටම වෙනමම පෞද්ගලික ජීවිතත් තිබෙනවා. මම කොට ගවුමක් ඇන්දත් ''අම්මා කෙනෙක් නේද? ඔහොම අඳින්න පුළුවන්ද? කියලා මගෙන් අහනවා. අම්මලාට කොටට අඳින්න බැරිද? අම්මලට ලස්සනට ඉන්න බැරිද? අපේ වයසට අපි අඳිද්දි කාටවත් ඒක ප්‍රශ්නයක් කරගන්නේ ඇයි. ඔන්න අපි වයසට ගිහින් අපේ ඇඟ වැරහිලා ගියාම එහෙම ඇන්දහම වැරදි වෙන්න ඇති. ඒත් වයස ගියාම ලස්සනට ඉන්න බැරිද? මේවා මිනිසුන්ට ලොකු ප්‍රශ්න වෙලා. අම්මා කෙනෙක්ට ලස්සනට ඉන්න අයිතියක් තිබෙනවා. අපේ අම්මට, මගේ නංගිලාට කියන්නෙත් ලස්සනට ඉන්න කියලායි. මගේ දරුවව දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා. බොහෝ අම්මලා තාත්තලා දැන් දරුවන්ව පිටරටක අධ්‍යාපනය ලබාදෙන්න කැමැතියි. මගේ දරුවට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඇත්තටම මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න අහන බොහෝ දෙනා අහන්නේ ඉරිසියාවටයි. රඟපෑම කියන්නේ මගේ වෘත්තියයි. ඉතින් මට කැමරාව ඉදිරියට ගිහින් මගේ ජීවිතය ගැන කියලා අඬන්න බැහැ. දරුවන්ගේ තාවකාලිකව ඈත්වෙලා මගේ හිතේ තිබෙන වේදනාව දන්නේ මමයි. ඒක මට ප්‍රසිද්ධ මාධ්‍යවල පෙන්වන්න බැහැ. හැබැයි අපි ඒ හැම කැපකිරීමක්ම කරන්නේ අපේ දරුවාගේ අනාගතය වෙනුවෙන්. රටේ ලෝකයේ මිනිස්සුට ඕන විදිහට මම ජීවත් වෙන්නේ නැහැ. මගේ දරුවන් අනාගතය වෙනුවෙන් අපි ගත්තු තීරණ කාටවත් ප්‍රශ්නයක කරගන්න එපා. ගැහැනු අයට වැඩිපුරම පද හදන්නේ ගැහැනුම තමයි. ඒකයි මට දුක. තමන්ගේ ජීවිතේ සතුටක් වින්දේ නැති ගැහැනු පිරිමි අනිත් අයට පද හදනවා. ඒක තමයි ඇත්ත.
- ලෝචනා ඉමාෂි
අනුන්ගේ දේවල් හොයන නරක පුරුද්ද හුඟාක් අයට තිබෙනවා
ලංකාවේ බහුතරයක් මිනිසුන් ළඟ ඔය නරක පුරුද්ද තිබෙනවා. අනුන්ගේ ජීවිතවලට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන එක, ඒ ජීවිත ගැන අනවශ්‍ය විදිහට හොයලා බලන එක හරි වැරදියි. අපිට හරි සාම්ප්‍රදායිකව අහන ප්‍රශ්නවලින් සමහරක් හොඳ පුරුදු වගේම නරක පුරුදුත් තිබෙනවා. ඒ අතරින් බැඳලා නැද්ද? දරුවන් නැද්ද? ඇයි දික්කසාද වුණේ වැනි අතිශය පෞද්ගලික ගැටලු ගැන අහන එක සම්පූර්ණයෙන්ම වැරදි පුරුදු විදිහටයි මම නම් දකින්නේ. ඒ බොහෝ ප්‍රශ්න අහන්න ප්‍රධාන හේතුව වන්නේ කෙනෙක්ගේ ජීවිත වට්ටන්නටයි. අපි මේ ලෝකයට ආවේ කොහෙන්ද කියලා අපි දන්නේ නැහැ. මේ පොඩි කාලයක් මේ ජීවිතය ගත කරලා අපි ආයෙත් කොහාටද යන්නේ කියල අපි දන්නේ නැහැ. ලෝකයේ ඕනෑම කෙනෙක්ට තමන් කැමැති විදිහට ජීවත් වෙන්නට අයිතියක් තිබෙනවා. ඒ ජීවිතවලට බලපෑම් කරන්නට කාටවත් අයිතියක් නැහැ. මට හිතෙන විදිහට ඔය නරක පුරුදු හේතුවෙන් තව කෙනෙකුගේ ස්වාධීන ජීවිතයට ලොකු බලපෑමක් ඇති කරනවා කියලයි. අපේ ජීවිතවල දෙවියා සහ යක්ෂයා ඉන්නෙත් අපි අතරමයි. දෙවියන් නිර්මාණය කර ගැනීමත් යක්ෂයා නිර්මාණය කරගැනීමත් තමන්ගේ වැඩක්. ඒ නිසා කිසිම වෙලාවක යක්ෂයෙක් වෙලා තවත් කෙනෙකුගේ ජීවිතය නැති කරන්න, විනාශ කරන්න එපා. මෙවැනි නරක පුරුදු නැතිකරලා හැම මොහොතකම ස්වාධීන මනුස්සයෙක් වුණොත් ජීවිතේ විඳින්න හරි ලේසියි.
- දිනේෂ් විජේසිංහ
අගයන්න හරිම අකමැති, කුණු හොයන්න හරිම කැමැති සමාජයක්!
සම්ප්‍රදායික ප්‍රශ්න තමයි වැඩිපුරම හිතුවතුන්, යාළුවන් අපෙන් අහන්නේ. ඒ කාලේ මම හරි කෙට්ටුයි. පහුගිය කාලේ ටිකක් මහත් වුණා. ඉතින් මාව දකින කොට ''අප්පා... මහත් වෙලානේ'' කියලා ඇහුවා. ටික කාලයක් යද්දී මම ආයෙත් චුට්ටක් කෙට්ටුවුණා. ඉතින් ''මොකෝ අරවා බොනවාද? සීනිද?'' කියලා ඇහුවා. ඔය වගේ ප්‍රශ්න කෝටියයි. ගානට ඇඟ තියාගත්තොත් ''ඉස්සර හොඳයි මහතට හිටියනේ'' කියලා හරි කියාවි. තව කෙනෙක්ගේ ජීවිතවල තීරණ ගන්නේ මේ සමාජයේ මිනිස්සුමයි. ළමයින්ගේ ප්රශ්නයේදීත් ඔහොමම තමයි. පළවෙනි දරුවා ඉපදුණාට පස්සේ දුවගේ තනියට තව කෙනෙක්ව ගේන්නේ කවදද කියලා ඇහුවා. දෙවැනි දුවත් ඉපදුනානේ. තාම කට්ටිය තුන්වෙනි දරුවෙක් ගැන නම් ඇහුවේ නැහැ. එහෙම තුන්වෙනි දරුවත් ඉපදුනොත් ''දැන් වැඩියි නේද? පවුලට බර දරාගන්න අමාරුයි නේද?'' කියලා අහාවි. මේක හරිම ප්‍රශ්න පත්තරයක්නේ.
අපි රටවල්වල සංචාරය කරලා තිබෙනවා. ඒ රටවල්වල මිනිස්සු හැමදාම උදේට දැක්කම ගුඩ්මෝනිං හරි ඒ භාෂාවලින් ආචාර කරනවා. ඊළඟට ඒ අය අහන්නේ ''ඔයාට කොහොමද'' කියල ඒ ඒ භාෂාවලින්. ඒ මිනිසුන් සුභ පතද්දී අපේ ලංකාවේ මිනිස්සු දැක්ක ගමන් අපෝ ඇදිලා ගිහින්. කැතවෙලා. සීනිද කියලා තමයි අහන්නේ. අපේ රටේ මිනිස්සු ''How are you'' කියන ප්‍රශ්නයට තමයි අරවගේ වැඩකට නැති පෞද්ගලික ප්‍රශ්නයක් අහන්නේ. ඒ වගේ අහන එක වටිනවා. කොණ්ඩය ටිකක් සුදු වුණ කෙනෙක් දැක්ක ගමන් ''අප්පා... වයසට ගිහින් නේද?'' කියලා තමයි අහන්නේ. හැබැයි අහන කෙනාගේ කොණ්ඩය ඊට වඩා සුදුයි කියලා එයාට පේන්නේ නැහැ. ඉස්සර මම පානදුරේ රෙස්ටුරන්ට් එක කරද්දී මොකෝ දැන් රඟපාන වැඩ නැද්ද කියල ඇහුවා. සතියේ දවස් හයේම වැඩ තිබිලා එක දවසකට නිවාඩුවක් තිබිලා එදාට මාව දකිද්දී මොකෝ දැන් වැඩ නැහැ නේද? කියලා තමයි අහන්නේ. බොහෝ අය තව කෙනෙක්ට අගය කරන්න කැමැති නැහැ. ඇත්තටම ඒක හරිම නරක පුරුද්දක්. ඒ නිසා දැන් මිනිස්සු ''නැහැ නේද'' කියලා අහන ප්‍රශ්නවලට ඒ අය කැමැතිම උත්තරය වන ''නැහැ'' කියලා දෙන්න මම පුරුදු වෙලා ඉන්නවා. මේ දවස්වල වැඩ නැහැ නේද? කියලා අහද්දී වැඩ ඕන තරම් තිබ්බත් ''නැහැ'' කියලා මම ඒ අයව සතුටු කරනවා. ඒක මට ලේසියි.
- රජිත හිරාන්
වයස, ජාතිය, ආගම, වැටුප වගේ පෞද්ගලික තොරතුරු හාර හාර අහන එක හරිම කැත පුරුද්දක්
පුද්ගලයෙක් හමුවූ පළමු දවසේ හෝ කෙනෙක් මිත්‍රත්වයක් තුළ ඇසුරු කරද්දී, වයස, අධ්‍යාපන තත්ත්වය, සමාජ මට්ටම, පවුල් පසුබිම, වැටුප, රැකියා ස්වභාවය, විවාහකද නැද්ද, දරුවන් ඉන්නවද, ජාතිය, ආගම පෞද්ගලික ප්‍රශ්න මේ වගේ කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට අදාළ තොරතුරු අනවශ්‍ය විදිහට අහන එක ඇත්තටම සදාචාරාත්මක නැහැ වගේම ඒක හරි අවලස්සන ගෝත්‍රික ගතියක්.
රැකියාවේ අවශ්‍යතාවයකදී, සම්මුඛ පරීක්ෂණයකදී, කෙනෙක් එක්ක සමීප සබඳතාවකදී ඒ ප්‍රශ්න අහන්නට සිදුවන අදාළ අවස්ථා එන්න පුළුවන්. එහෙම අවස්ථාවකදී ඒවා අහන එකයි සාමාන්‍ය ජීවිතයේ හමුවෙන ඕනෑම කෙනෙක්ගෙන් ඒවා අහන එකයි කාරණා දෙකක්. ඇත්තටම අනවශ්‍ය විදිහට කෙනෙකුගේ පෞද්ගලිකත්වයට එබෙන එක සහ හාර හාරා ප්‍රශ්න අහන එක තමන්ගේ පෞරුෂත්වයේ පහත් ගතිය සහ දුර්වල ගෝත්‍රික ස්වභාවය පෙන්වීමක්.
- කැළුම් ආර්යන්
අනුන්ගේ ජීවිතවලට ඇඟිලි නොගහා තමන් හරියට හැදෙන්න
අපිට මිනිසුන්ගේ සිතුවිලි, හිතන විදිහ වෙනස් කරන්න බැහැ.''අනේ ඔයා ඔහොම හිතන්න එපා. මෙහෙම හිතන්න කියලා කියන්න බැහැ. මේ රටේ ජීවත්වන මිනිස්සු එකනෙකට වෙනස්. හොඳම දේ අපි හැමෝම මේ ධර්මය තේරුම් ගැනීමයි. එක එක්කෙනාගේ අධ්‍යාපන මට්ටම්, සමාජ මට්ටම අනුව හිතන විදිහ වෙනස්. සමහරුන්ට ඔය වැස්සකටවත් දහම් පාසැල් ගිහින් නැහැ කියලා කියමනක් තියෙනවානේ. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතේ පැවැත්ම හැදෙන්නේ පොඩි කාලේ ඉඳලා ඒ අයගේ හැසිරීම් රටාවත් එක්කයි. දෙමව්පියන්ට කීකරුව හැදෙන දරුවගෙයි, නිකං ඔහේ අකීකරුව හැදෙන දරුවගෙන් අතර වෙනස්කම් තිබෙනවා. සමහරුන්ට තමන්ගේ වචනවලින් අනිත් කෙනාට අපවාදයක්, හිත් රිදීමක් වුණාට ගානක් නැහැ. ඒ හිත් වැටුණත්, කැඩුණත්, රිදුණත් ඒ අයට ගානක් නැහැ. ගුණගරුක, අම්මා තාත්තාට කීකරුව හැදෙන අය කිසිම වෙලාවක තවත් කෙනෙක්ගේ හිත රිදවන්න උත්සාහ කරන්නේ නැහැ. මම දැඩිව මේ විශ්වයයි, ස්වභාව දහමයි විශ්වාස කරනවා. අපි මේ විශ්වාසයට, ස්වභාවදහමට අනුව ජීවත් වුණොත් කවදාවත් වරදින්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා කෙනෙක්ගේ හිතපාරවන්නට කලින් කීප වතාවක්ම ඒ ගැන හිතල බලන්න.
- නිල්මිණී කෝට්ටේගොඩ
මේ රටේ බහුතරයක් අනුන්ගේ ජීවිතවලින් අනවශ්‍ය සතුටක් ලබනවා
ඔය ප්‍රශ්න හරියට රවුමක් වගෙයි. එකම ප්‍රශ්න ටික තමයි හැමෝම අහන්නේ. මුලින්ම පටන් ගන්නේ ''කසාද බඳින්නේ නැද්ද'' කියලා. බැන්දාම ''දරුවන් නැද්ද?'' ඔන්න ඉතින් දරුවෙක් ලැබුණහම ''ළමයා යන ඉස්කෝලේ මොකක්ද?'' යන ඉස්කෝලේ කිව්වහම ඔන්න මිනිස්සුන්ට තිබෙන ලොකුම ප්රශ්නය ''අයියෝ... උඹට ඔය ළමයව කොළඹ රෝයල් එකට දාගන්න බැරිවුණාද?'' කියලා. ළමයා කොහොම හරි ගමේ ඉස්කෝලෙන් සාමාන්‍ය පෙළ හොඳට සමත් වුණාම ''අපෝ... උසස්පෙළට ළමයාට විද්‍යා අංශයෙන් උගන්වන්න'' කියලා. බොහෝ අය දරුවන්ගේ විෂය තෝරාගන්න වෙන්නේ අල්ලපු ගෙවල්වල මිනිස්සුන්ගේ අහන ප්රශ්නවයට උත්තර දෙන්න ඕන නිසයි.
නිකමට හිතන්න කැමැති නැති විෂයක් දෙමව්පියන්ට ඕන නිසා තෝරාගෙන සමහර දරුවෝ අසරණ වෙනවා. කැම්පස් එකේ නවකවදවලට, උද්ඝෝෂණ නිසා තවත් ජීවිත පස්සට යද්දී ඌත් එක්කම ඉගෙන ගත්ත සමහර යාළුවෝ උපාධි අරගෙන කම්පැණි දාලත් ඉවරයි. ඔන්න ඉතින් අවුරුදු ගානක් ගිහින් ඒ ළමයාටත් මොකක් හරි රස්සාවක් ලැබුණම ආයෙත් අර ප්‍රශ්න ටිකම ටික දවසකින් ළමයාගෙනුත් අහනවා. ඒක තමයි ඇත්ත. මම ඔය වැඩසටහන්වල ගොසිප් කතා කරන්නේ නැහැ. බලන් ඉන්න රසික රසිකාවියන්ට සතුටු වෙන දෙයක් තමයි මම කතා කරන්නේ.
මේ කාලේ තවත් තියෙන දෙයක් තමයි ඔය සෙක්ස් වීඩියෝ. එහෙම සමහරු හරි ඉක්මණින් අනිත් අයට ෂෙයාර් කරනවා. ඒකෙන් ඒ අය පුදුම සතුටක් ලබන්නේ. ඒවා හරි පව්. ඔය සමහරු ගහගනිද්දී ඒ රණ්ඩුව බේරනවාට වඩා ඒ රණ්ඩුව වීඩියෝ කරලා ෂෙයාර් කරන අය ගොඩායි. ඒ නිසා මේ රටේ බහුතරයක් අනුන්ගේ ජීවිතවලින් අනවශ්‍ය සතුටක් ලබනවා. ඒවා හරි පව්.
- බුද්ධික රඹුක්වැල්ල
I දිශානි ජයමාලි
සේයාරූ I සුමුදු හේවාපතිරණ සහ අන්තර්ජාලයෙන්