අදට වඩා පුංචි කාලේ දී මම ගොඩක් ෆැෂන් කලා කියලා තමයි අම්මා නම් කියන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කුඩා කාලයේදීම රංගනයට පිවිසි ඇය අදටත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන දක්ෂ සුන්දර යුවතියකි. චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස වාගේම ආදරණීය නිවේදිකාවක් ලෙසත් ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ ඇති ඇය  අද වන විට ටෙලි නාට්‍ය, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරියක් ලෙස ද නමක් තබා ඇත. සොඳුරු ඇය සමග   මෙවර ෆැෂන් වෙනස් ආකාරයට හැඩ වෙයි.

ප්‍රේක්ෂක, ආදරයට නොඅඩුව භාජනවන කෙනෙක් ඔබ. ඔබ කරන විලාසිතා වලට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

හරිම ඉහළයි බොහෝ යුවතියන් මා කරන විලාසිතාවලට බොහෝ ප්‍රියතාවයක් දක්වනවා වගේම ඇතැම් විට විලාසිතා ඒ විදියටම කරන අවස්ථාත් අහන්න දකින්න ලැබෙනවා .... මම කරන බොහෝ විලාසිතාවන්ට අදටත් විශාල ඉල්ලුමක් තිබෙන බව අහන්න දකින්න ලැබෙනවා ....

ප්‍රේක්ෂකයා කැමති ඔබ මොනවගේ විලාසිතා කරනවාට ද?

ඔවුන් ගොඩක්ම කැමති මම චාම් විදිහට දිගට අඟ පසඟ නොපෙන්නන  විලාසිතා කරනවා නම් තමයි. සමහර වෙලාවට කොටට, අත් නිරාවරණය වන විලාසිතා  එහෙම ඇඳලා ඉන්න වෙලාවට  සමහර අය ළඟට ඇවිත් අහනවා”

ඔයා ඇයි ඔය විදිහට අඳින්නේ”කියලා. නමුත් පෞද්ගලිකව මම මට ගැළපෙන ඕනෑම විලාසිතාවක් රාමුවකට කොටු නොවී කරන්න කැමැති කෙනෙක්.

විලාසිතාවක් කියන්නේ කුමක් විදිහට ද ඔබ දකින්නේ?

මට හිතෙන්නේ නම් විලාසිතා කියන විෂය රඳා පවතින්නේ ම කැමැත්ත මත. ඇඳුම් කියන්නේ මිනිස් මූලික අවශ්‍යතාවලින් එකක්. ඒ ඇඳුම් නවීකරණය කියන විෂයය යටතේ අලුත් වෙමින්, විවිධ වෙමින් විලාසිතා විදිහට  ලෝකයේම කැරකෙනවා. රටින් රටට සංස්කෘතියෙන් සංස්කෘතියට දේශගුණයෙන් දේශගුණයට කරන විලාසිතා වෙනස් වුණත් විලාසිතා කියන්නෙම හැමදාම අළුත් වෙන හරිම අපූරු විෂයක්.

ඔබට ගැලපෙන විදියට විලාසිතාවක් තෝරා ගැනීමේදී මොන වගේ කරුණු කෙරෙහිද සැලකිලිමත් වන්නේ?

ප්‍රධානම කරුණ තමයි මම සහභාගි වන්නේ කොතැනට ද කියන එක අනුව තමයි ගැළපෙන විලාසිතාවන් තෝරා ගන්නේ... ඒ හැරෙන්නට ශරීරයේ හැඩය හමේ පාට ශරීරය උස ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙනවා .....

ඔබ කැමතිම විලාසිතාව?

විලාසිතා කිරීමේදී කවදාවත් මම රාමුවකට කොටුවෙලා නෑ....   සාම්ප්‍රදායික ඇඳුම් වගේම බටහිර පන්නයේ ඇඳුනුත්    මගේ ශරීරයට හොඳින් ගැළපෙනවා.   සාරි, ගවුම්, කලිසම්, සල්වාර්,  ඔය  කොයි ඇඳුම ඇන්දත් ලස්සනයි කියලා මට නම් හිතෙනවා.

විලාසිතා කිරීමේ දී වැඩිපුරම කැමති මොන  පාටට ද?

කහ පාටට, සුදු පාටට සහ රෝස පාටට නම් මම ගොඩක් කැමැතියි.  නමුත් මට වැඩිපුරම තෑගි ලැබෙන්නෙ නම් කළු පාටින් යුතු ඇඳුම්  තමයි ....

ගැලපෙන විදිහට විලාසිතාවක් කරළම හිතට මොන වගේ සතුටක් ද දැනෙන්නේ

ගැහැණු පිරිමි බේදයක් නැතුව හිත සතුටින් තියන්න පුළුවන් හරි අපූරු දෙයක් තමයි විලාසිතා කියන්නෙ.

විලාසිතාවක් හරියට කරහම හිතට මහ පුදුමාකාර සතුටක් ලැබෙනවා.  එ වගෙම යන ගමනත් සතුටින් යන්න  පුළුවන් .... ලස්සන විලාසිතාවකින් අපිට අපේ ගැනම  ලොකු ආත්ම විශ්වාසයකුත් ගොඩ නැගෙනවා....කියලා මට හිතෙනවා.

විලාසිතා කිරීමේදී ඔබ යම් කෙනෙක් අනුගමනය කරනවා ද?

හින්දි සිනමාවේ වාගේම අපේ රටේ රංගන ශිල්පිනියන් කරන බොහෝ ලස්සන විලාසිතාවන්ට මම බොහොම ප්‍රියතාවයක් දක්වන කෙනෙක්.... ප්‍රසිද්ධ චරිතයක් නොවුණත් සාමාන්‍ය කෙනෙක් වුණත් කරන ලස්සන  විලාසිතාවක් සතුටින් විඳින්න පුළුවන් ඇස් දෙකක් මට තියෙනවා. ඊට අමතරව ලෝකයේ නිතර වෙනස් වන විලාසිතා ගැන අන්තර්ජාලය මගින් මම නිතරම යාවත්කාලීනත් වෙනවා.

ඇඳුමකින් කෙනෙකු මනින්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද?

කොහෙත්ම බැහැ. අඟ පසඟ පේන්න අඳින කෙනෙක් ”අසංවර” කෙනෙක් විදියටවත්, මුලු ඇඟම වැහෙන්න අඳින කෙනෙක් සංවර කෙනෙක් විදිහටත්  අපි කොහොමද  ලේබල් කරන්නෙ.

ඔබ කරන විලාසිතාවකින්  ඔබට වටිනාකමක් එක් වෙනවා කියලා ඔබ   හිතනවද?

මම හිතන්නේ වටිනා ඇඳුමක් ඇන්ද පමණින් අපට වටිනාකමක් ඇති වෙන්නේ නැහැ. අපි වටින විදිහට ප්‍රතිරූපයක් හදාගෙන හිටියොත් සාමාන්‍ය සරල විලාසිතාවකින් වුණත් ලොකු ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන්. සමහර වෙලාවට ඔය කරුණම සියයට  50, සියයට 50 ගානෙ සමාන්තරව සිද්ධ වෙන්නත් පුළුවන් … කරන විලාසිතාවෙන් අපට වටිනාකමකුත්, අප ගොඩනඟා ගත් ප්‍රතිරූපය නිසා ඇඳුමට වටිනාකමකුත් එක් වෙන්න පුළුවන්.

කරන විලාසිතාවට ගැලපීම කරන්නේ කොයි විදිහට ද?

අඳින ඇඳුමට ගැළපෙන විදිහට සපත්තු, හෑන්ඩ් බෑග් පළඳින අවස්ථා තියෙනවා ඊට අමතරව, සහභාගි වන තැන අනුව කොණ්ඩෙ සකසා ගැනීම මේකප් කිරීම වැනි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙනවා .... අත්‍යවශ්‍යම අවස්ථාවක හැරෙන්න ගොඩක් වෙලාවට මේකප්  කරන්න කැමති නැති කෙනෙක් මම .... ලොකු මේකප් එකක් දානවා වගෙම, ලොකු ලොකු ආභරණ පළඳින එකත් මට දැනෙන්නේ ලොකු බරක් විදිහට.

විලාසිතා කිරීමේදී කොයි වගේ ආභරණ පලඳින්න ද ඔබ කැමති?

මම ගොඩක්ම කැමතියි, චාම්, පුංචි සරල  අාභරණ පළඳින්න.

පුංචි කාලයේදී විලාසිතා කළ විදිහ  කොයි විදිහට ද මතකයේ තියෙන්නේ?

ඉස්සර මම හරිම ආසයිලු ලස්සනට ඇඳලා, කොණ්ඩ මෝස්තර දාගෙන ලිප්ස්ටික් ගාගෙන ඉන්න. මොන ඇඳුම ඇන්දත් සන්ග්ලාස් දෙකක් නම්  දාන්නම ඕනෙලු. අදට වඩා පුංචි කාලේ  දී මම ගොඩක් ෆැෂන්  කලා කියලා තමයි අම්මා නම් කියන්නේ. තවත් ආදරණීය මතකයක් තමයි අම්මටයි මටයි එක වගේම  ඇඳුම් මහන එක... ඒ වගේ ඇඳුම් කට්ටල දහයක් විතර අදටත් සුරක්ෂිතව තියෙනවා....ආදරණීය මතකයක් විදිහට.

ජීවිතයේ ලස්සනටම සැරසුණු දවස?

හැම දවසක ම වාගේ ලස්සනට අඳින්න නිසා එක දවසක් නම් කියන්නම් අමාරුයි. නමුත් දින කිහිපයකට කලින් මගේ ළඟම හිතවතියකගෙ මංගල සාදයකට සහභාගි වීම ඇඳපු නිල් පාට ඇඳුමට නම් ගොඩක් අයගෙන් ප්‍රතිචාර ලැබුණා.

ඔබ ගොඩක් වියදම් කරලා විලාසිතා කරන කෙනෙක් ද?

එහෙම විශේෂයක් නැහැ. මම ආසම, මට ගැළපෙන ඇඳුමක් සාමාන්‍ය පේමන්ට් එක තිබුණත් මම ආසාවෙන්  ගන්න අවස්ථා ඕනෑ තරම් තියෙනවා ... අඩු මිල ගණන්වල වගේම ඉහළ මිල ගණන් යටතේ, බ්‍රෑන්ඩඩ් ඇඳුනුත් මං අඳින අවස්ථා ඕන තරම් තියෙනවා. මගේ එකම අයියා විදේශගතව ඉන්නේ. ඔහු බොහෝ වෙලාවට මට අවශ්‍ය ඇඳුම් එවන්නෙ   හොඳම තත්ත්වයේ ඒවා. කොයි රටක, මොන විලාසිතාවක් වුණත් මට ගැළපෙනවා නම් මං ආසාවෙන් අඳිනවා.

විලාසිතාවක් කිරීමේ දී නොකළ යුතුම දෙයක් විදිහට ඔබ දකින්නේ කුමක්ද?

කොයි විලාසිතාව කලත් අන්    අයගේ විහිළුවට විහිළුවට ලක් නොවිය යුතුයි.    මොකද අපි යම් මුදලක් වියදම් කරලා, යම්කිසි වියදමක් කරලා විලාසිතා වක් කරන්නේ  ඉන්නවට වඩා ලස්සනට ඉන්න නේ. එහෙම කරන විලාසිතාවක් නිසා අපට නරකක් නොවිය යුතුයි. විලාසිතා කියන විෂය සරල විදිහට දැක්කත් ඇත්තටම එය  පුළුල් විෂයක්. නිවැරදිව නොකලොත් ප්‍රතිරූපයට පවා හානි සිදු වෙන්න පුළුවන් කියලයි මගේ පෞද්ගලික අදහස නම්.

අසුන්තා එදිරිසූරිය