අතරමගදී පාර මාරු දැන් උයනවා, ඇවිදිනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ ලෝකෙ ජීවත් වෙන්නේ විවිධ වර්ණිත මිනිස්සු. හැමෝටම සමාන පියාපත් නෑ. ඒ නිසාම තමයි මේ ලෝකෙ මෙච්චරම සුන්දර. අපි අතර ඉන්න සමහර චරිත සුවිශේෂී. ඒ නිසාම ඔවුන් අපිට අමුතු අය විදියට වෙලාවකට පේනවා. නූතන තාරුණ්‍යය තුළ එහෙම සුවිශේෂී චරිත හොයාගෙන තමයි අපි මේ චාරිකාව යන්නෙ. අශේන් සේනාරත්න කියන්නේ එහෙම චරිතයක්. අද කතාව ඔහු ගැන.

අපි පොදු සමාජයේ ඉඳලා තමයි මේ චරිත දිහා බලන්නෙ. අශේන් කියන්නෙ අමුතු චරිතයක්. කාලයක් ඔහු ඉතාම ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුණා. සමාජීය දේශපාලන කටයුතුවලදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් විදිහට ඔහු ඒ කාලේ කැපී පෙනුණා. ඔන්න එකපාරට අශේන් සමාජ මාධ්‍යයෙන් අතුරුදන් වුණා. ඒකට හේතුව අපි ගොඩක් දෙනෙක් දන්නවා. කොහොම නමුත් මේ වෙනකොට මේ චරිතය නැවත කරළියේ ඉන්නවා. දැන් අපිට ඔහුගෙන් පේන්නේ වෙනස්ම හැඩයක්.

දැන් අශේන් සේනාරත්න ට්‍රුවලර් කෙනෙක්. ඒ වගේම විවිධ ආහාර රස බලන්නෙක්. අශේන් තවත් බොහෝ දේ කරමින් ඉන්නවා. ඒ දේවල් ගැන කතා කරන්න කලියෙන් ඔහුගේ ආරම්භය ගැන පොඩ්ඩක් හොයලා බැලුවා.

අශේන් සේනාරත්න ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ඉගෙන ගත්ත කෙනෙක්. විනෝදකාමී කෙලිළොල් චරිතයක් වුණත් අශේන් කථික විවාද නිවේදන කුසලතා පෙන්නුම් කරපු පාසල් ශිෂ්‍යයෙක්. පාසලේ බාහිර ක්‍රියාකාරකම් රැසකට අශේන් ඒ කාලේ දායකත්වය ලබාදීලා තියෙනවා. සාමාජීය චරිතයක් විදිහට පෝෂණය වෙන්නත් සන්නිවේදන කුසලතාවයන් දියුණු වෙන්නත් ඔහු පාසැල් කාලේ ලබපු අත්දැකීම් හේතු වුණා කියන එක බොහොම පැහැදිලියි.

අශේන්ගෙ යූ ටියුබ් ඉතිහාසය පිළිබඳවත් අපි හොයලා බැලුවා. 2011 වර්ෂයෙ ආරම්භ කරපු යූ ටියුබ් නාලිකාවක් ඔහු නමින් තියෙනවා. ඔහු ඒකේ සින්දු කියනවා. කොහොම නමුත් වීඩියෝ දෙක තුනයි එතැන තියෙන්නේ. අශේන් සේනාරත්න කියලා කියන්නෙත් සමාජ මාධ්‍ය භාවිතාව ඇතුළෙ බොහොම උත්සාහයෙන් ගමනක් ආපු කෙනෙක් කියලා කියන්න ඉතාම ළාබාල වයසේ පටන් ගත්ත මේ යූ ටියුබ් නාලිකාව අපූරු සාක්ෂියක්.

පසුකාලීනව අශේන් සේනාරත්න ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් බවට පත්වෙන්නේ Ashen Vlog වගේ ඔහුගේ යූ ටියුබ් නාලිකා හරහා. මීට කාලෙකට කලින් ඔහු කරපු Social experiment ගැන විශාල සමාජ ආන්දෝලනයක් ඇති වුණා. ඒ වගේම කාලීන සමාජ දේශපාලන කටයුතු සම්බන්ධව අශේන් මතුකරපු අදහස් නිසාත් ඇතිවුණේ අවුල් වියවුල්.

ඒත් මේ කාලේ අශේන් සේනාරත්න කියන චරිතය වේගයෙන් ප්‍රසිද්ධියට පත්වුණා කියලා කිව්වොත් අපි නිවැරදියි. ඔහු ප්‍රියකරන පිරිසක් වගේම ඔහු විවේචනය කරන පිරිසකුත් මේ කාලය තුළ නිර්මාණය වුණා. අශේන් ජනප්‍රියත්වය පසුපස හඹායන්නෙක් විදිහට තමයි අපිට මේ කාලේ පෙනුනෙ. අශේන් - ඉරාජ් ගැටුම, අශේන්ගෙ ඔට්ටුව වගේ දේවල් එක්ක ඔහුගේ මේ පරිච්ඡේදය අවසන් වුණා.

නැවතත් ඉතාම මෑතකදී තමයි අශේන් සේනාරත්න කියන චරිතයේ අලුත්ගමන සිද්ධ වෙන්නෙ. හැබැයි මේ වතාවේදී ඔහු විවේචනය කරන්නන්ට වඩා ඔහුට ආදරය කරන්නන් ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. එහි ආරම්භය සටහන් කරමින් අපූරු ගීයක් තමන්ගේ යූ ටියුබ් නාලිකාවට මුදාහැරලා තිබුණා. බොහෝ දේවල් සිද්ධ වීමෙන් අනතුරුව ඒ ගීතයේ මෙන්න මෙහෙම පදපෙලක්  තිබුණේ.

ජීවිතේ අපි සිහින මැව්වේ බොහෝවිට සිහියෙන් නෙමෙයි
වැරදුණා මිස පැරදුනේ නෑ ඇරඹුමයි, ''නිම'' නම් නොවෙයි

අපිට පේන විදිහට අශේන් සේනාරත්න කියන චරිතය දැන් නැවතත් ජයග්‍රහණය කරා ගමන් කරමින් ඉන්නවා. ඔහු අරගෙන එන්න Travel videos සහ Food reviews බොහෝ රසිකයන් ආදරයෙන් වැළඳ ගන්නවා. ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය වගේ රටවලත් රටවල සංචාරය කරමින් අශේන් දැන් YouTube මාධ්‍ය තුළ ඇතුළෙ අමුතු රසයක් නිර්මාණය කරනවා.

ඔහුගේ සුපුරුදු සන්නිවේදන හැඩතල තුළ රැඳෙමින් යම් විනයක් පවත්වා ගන්න අශේන් උත්සාහ කරන බව නම් දැන් අපිට පැහැදිලියි. ඒ වගේම අශේන් දැන් ව්‍යවසායකයෙක් විදිහටත් ගොඩනැගෙමින් ඉන්නවා. තාමත් එච්චර සාර්ථක නොවුණත් ඔහුට ගායකයෙකු වීමෙහි හීනයක් තියෙනවා කියලා අපිට නම් පැහැදිලියි.

කොහොම වුණත් තුන් ලක්ෂ හතළිස් දෙහකට අධික රසික සමාජයක් යූ ටියුබ් ඇතුළේදී ඔහු වටේ ඉන්නවා. විවිධ පරිමාවකින් රසිකයන් ආදරේ කරන පැරණි වගේම අලුත් යූ ටියුබ් නාලිකා කිහිපයක් අශේන් අතේ තියෙනවා කියන එක අපි දන්නවා. මීට අමතරව ලක්ෂ හතරකට අධික පිරිසක් ඉන්න මුහුණු පොතේ පිටුවකුත් අශේන්ට තියනවා. ටික් ටොක්වලත් තුන් ලක්ෂ හැට හයදහසක විතර පිරිසක් ඔහුව අනුගමනය කරනවා.

ඉතින් අශේන් සේනාරත්න කියලා කියන්නේ තවදුරටත් ගොඩනැගෙන සමාජ මාධ්‍ය ප්‍රතිරෑපයක්. අශේන්ගෙ වයසත් එක්ක ඔහුට ගොඩක් දුර ගමනක් යන්න තියෙනවා. කොහොම වුණත් සුන්දරම දේ තමයි අතරමඟදී ඔහු පාර මාරු කරපු එක. මිනිස්සුන්ට වරදින්න පුළුවන් ඒත් පරදින්නේ නෑ කියලා කියන්න අශේන් සේනාරත්න හොඳ උදාහරණයක්. එක්තරා විදියකින් අශේන් අපේ තාරුණ්‍යයත් ලස්සන පාඩමක් උගන්වලා තියෙනවා.

නිසල්