අක්කලාට පේන්න වේදිකාව හෙල්ලෙන්න නැටුවලු
සුරාජ්ගේ ජීවිතේ අමතක නොවන සප්‍රයිස් එකක් ඔන්න මේ පාර එයාගේ උපන්දිනයට ලැබිලා තිබෙනවා. ඒ සුරාජ්ගේ උපන්දිනය ජනවාරි මාසේ දෙවැනිදා. එදා උපන්දිනය වෙනුවෙන් සුරාජ් පිරිතක් පවත්වලා තිබෙනවා. ඒක අවසන් කරලා සුරාජ්ගේ අක්කා මල්ලිව සප්‍රයිස් කරලා.
''මේ පාර උපන් දිනේට අපේ අක්කා මාව සප්‍රයිස් කළා. පිරිත් කියලා ඉවර කරලා අක්කා මාව වීරවිල තියෙන ලස්සන හෝටලයකට එක්කගෙන ගියා. ඇත්තම කිව්වොත් එතැනට යනකම්ම ''යන්නේ කොහේද'' කියලා මම දැනගෙන හිටියේ නැහැ. එතැනට මගේ යාළුවෝ කිහිප දෙනෙකුත් ඇවිත් හිටියා. දවස් දෙකක් අපි එතැන හිටියා. ඒක මාර උපන්දින තෑග්ගත්...''
එහෙමයි සුරාජ් කිව්වේ.
සුරාජ් කියන්නේ රංගන ශිල්පියෙක් වගේම හොඳ නැට්ටුවෙක්. ඔන්න ඉතින් 2015 අවුරුද්දේ කොළඹ බිෂොප් ශ්‍රවණාගාරයේදී සුරාජ්ගේ නර්තන ප්‍රසංගය පැවැත්වූවා. ඒ වෙද්දී සුරාජ්ගේ අක්කලා දෙන්න හිටියේ නම් විදෙස් ගතවෙලයි. හැබැයි මල්ලිව පුදුම කරන්න හිතාගෙන සුරාජ්ගේ අක්කලා දෙන්නා ප්‍රසංගයට හරියටම පැය කීපයකට කලින් ලංකාවට ආවා. දන්න කියන අය නම් කියන්නේ එදා සුරාජ්ට පුදුම සතුටුයි වගේම අක්කලා දෙන්නට පේන්නම වේදිකාව දෙවනත් වෙන්නම නැටුවයි කියලයි.
හිටපු ගමන් ඉතාලියට - දැක්ක ගමන් අඬලා
සුරාජ්ගෙන් අමතක නොවන විශේෂ තෑග්ගක්
අක්කලා සුරාජ්ව සප්‍රයිස් කරනවා වගේම සුරාජුත් මේ අක්කලා දෙන්නව සප්‍රයිස් කරනව කියලයි ආරංචිය. සුරාජ්ගේ ලොකු අක්කා ඉතාලියේ ඉන්නේ. එක වතාවක් ලොකු අක්කට විශේෂ සප්‍රයිස් එකක් දෙන්න හිතාගෙන සුරාජ් එයාට නොකියාම ඉතාලි ගිහින්. මල්ලිව දැකපු ගමන් අක්ක මලෝ විනාඩි කීපයක් ඇඬුවා කියලයි ආරංචිය. හැබැයි ඒ සතුටට.
මේ පාරත් සුරාජ්ගේ ලොකු අක්කාගේ උපන්දිනයට සුරාජ් වගේම චූටි අක්කා එකතුවෙලා විශේෂ දවසක් කළා. කොවිඩ් නිසා යන්න එන්න බැරිවුණ, මුණගැහෙන්න බැරිවුණ සහෝදරකම් අලුත්වෙලා, ලොකු අක්කගේ යාළුවන්ටත් ආරාධනා කරලා සුරාජ්, චූටි අක්කා එකතුවෙලා ලොකු අක්කගේ උපන්දිනය හරි අපූරුවට සමරලා තියෙනවා. අවුරුදු කීපයකට පස්සේ ආයේත් එකට මුණගැහිච්චි මේ සහෝදරකම එදා සුවිශේෂ දිනයක් වුණා.
එන්න බෑ අම්මේ කියලා මෙන්න මල් කළඹකුත් අරන් ඇවිත්
දෙමව්පියන්ට දුන්නු අමතක නොවන සුවිශේෂී දවස
සුරාජ් එයාගේ අම්මා තාත්තාට හරි ආදරෙයි. පවුලේ එකම පිරිමි දරුවනේ. හැබැයි සුරාජ් නම් අම්මා තාත්තාට දරාගන්න අමාරු සප්‍රයිස් නම් දුන්නේ නැහැලු. සුරාජ්ගේ අම්මා එයාගේ හැම උපන්දිනයකටම නුවර මහ රෝහලේ පිළිකා වාට්ටුවට දහවල් ආහාර ලබා දුන්නලු. ඒක හැම වසරකම කරපු මහ පිංකමක්. හැම දෙයක්ම හොයලා බලලා කළේ සුරාජ්ගේ අම්මා.
එක අවුරුද්දක අම්මා හැම දෙයක්ම ලෑස්ති කළා. ''අනේ... අම්මා... මට එදාට ෂූටිං... මට එන්න වෙන්නෙ නැහැ.'' කියලා මම අම්මට පොඩි බොරුවක් කිව්වා. අම්මට දුක හිතෙන්නත් ඇති. හැබැයි අම්මා මට මුකුත් කිව්වේ නැහැ. කොහොම හරි කෑමත් අරගෙන අම්මා එයාගේ යළුවන් එක්ක ඉස්පිරිතාලයට යන්න ලෑස්ති වෙද්දී මම මල් කළඹකුත් අරගෙන, තෑග්ගකුත් අරගෙන ගෙදරට ගියා. එදා අම්මා පුදුම විදිහට සතුටු වුණා. මට ඒ උපන්දිනය නම් අමතක වෙන්නේ නැහැ. හැම අවුරුද්දකම අම්මගේ උපන්දිනයට මම රෝහලට හාමුදුරුවන් වඩම්මලා පිරිත් ටිකකුත් කියවනවා. මගේ තාත්තාට මගේ යාළුවන් හරි ආදරෙයි. තාත්තාත් මගේ යාළුවන් එක්ක හරි එකතුයි. ඒ නිසා තාත්තාගේ උපන්දිනයට මම තාත්තාවයි, අම්මවයි කොළඹ ගෙන්නගෙන හෝටලයකට එක්කගෙන ගිහින් තාත්තාව සතුටු කරවනවා. එදාට ඉතින් තාත්තා හරි ආසයි.
වටේටම කියලා බලා හිටියලු. රූපවාහිනියෙන් සුරාජ්ව මුලින්ම දැකපු දවස
''මුලින්ම මම හිටපු මියුසික් වීඩියෝවක් තමයි රූපවාහිනියෙන් විකාශනය වුණේ. ඒ මියුසික් වීඩියෝ එක කරලා ඉවරවුණාට පස්සේ ඒක විකාශනය වෙනකම් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා. ස්වර්ණවාහිනියේ විකාශනය වුණ නිවාඩු නිකේතනය කියන සංගීත වැඩසටහනක තමයි ඒක මුලින්ම විකාශනය වෙනවා කියලයි කිව්වේ.''
ඔන්න ඉතින් සුරාජ් එයාගේ යාළුවන්ටත් කිව්වලු ''මම ඉන්න මියුසික් වීඩියෝවක්'' යනවා කියලා. හැබැයි දවස් දෙක තුනක් රූපවාහිනිය දිහා බලාගෙන හිටියට ඒ මියුසික් වීඩියෝවත් විකාශනය වෙලා නැහැ. ඔන්න ඉතින් ඒ සිංදුව විකාශනය වෙලා. සුරාජ්ට මාර සතුටුයි. ඒ කාලේ අද වගේ සිංදුව යාවළුන්ට පෙන්නන්න මුහුණ පොත තිබුණේ නැහැ. සමාජ මාධ්‍ය තිබුණේ නැහැ. ඒ නිසා ආයෙත් මියුසික් වීඩියෝව යනකම් එක දිගට දවස් ගණනාවක් ඒ වැඩසටහන දිහා බලාගෙන ඉන්න නම් සුරාජ්ට සිදුවෙලා. හැබැයි ඒකත් ජීවිතේ සුවිශේෂී සිදුවීමක් කියලයි සුරාජ් කියන්නේ.
ගමන පටන් ගත්තේ සඳක් එක්කලු
ජීවිතේ රඟපෑ මුල්ම රංගනය
සුරාජ් මුලින්ම රඟපෑවේ ''මගේ සඳ ඔබ'' ටෙලිනාට්‍යයෙයි. ඒක රූගත කරලා ඉතා ඉක්මනින් නාළිකාවක විකාශනය වුණා. එච්චර ඉක්මණින් ඒක විකාශනය වේවි යැයි සුරාජ් හිතුවේවත් නැහැ. ඒ වෙද්දී සුරාජ් සන්නිවේදන ආයතනය Hot Line සේවයේ සේවය කරනවා. ''ආලෝක විජේ බණ්ඩාර'' කියන චරිතය මේ තරම් දුරක් ගෙන ඒවි යැයි සුරාජ් හිතුවේවත් නැහැලු. සන්නිවේදන ආයතනයේ වැඩ කරගෙන තමන්ගේ පාඩුවේ හිටපු සුරාජ්ගේ ජීවිතය ආලෝක කරපු ''මගේ සඳ ඔබ'' ටෙලිනාට්‍යය අදටත් ඔහුට සුවිශේෂියි.
'අසංක සර්' තමයි අදටත් එක.
පළමු සම්මානය දිනූ රාත්‍රිය
සුරාජ් රඟපෑ මුල් ටෙලිනාට්‍යය මුල්ම චරිතයෙන්ම සුරාජ් ''නැගී එන නළුවා'' සම්මානයට නිර්දේශ වුණා.
''මගේ පළමු නාට්‍යයෙන්ම මම නැගී එන නළුවා සම්මානයට නිර්දේශ වුණා. ඒක මට ලැබුණේ නැහැ. හැබැයි ඒක මට නොලැබුණත් රඟපාපු පළමු චරිතයෙන්ම නිර්දේශයට එකතුවෙන්න ලැබීමත් මට අදටත් සුවිශේෂියි. ඒ සම්මාන උළෙල පවත්වපු දවසේත් ඒ නිර්දේශ වීම ගැන මම ගොඩක් සතුටු වුණා. මගේ ජීවිතේ මුල්ම සම්මානය මට ලැබුණේ ඕලු ටෙලිනාට්‍යය හරහායි. ''අසංක සර්'' ගේ චරිතය වෙනුවෙන් මට ''ජනප්‍රිය නළුවා'' සම්මානය 2005 දී අවුරුද්දේ හිමිවුණා. මේ වෙද්දී සම්මාන කොයිතරම් ලැබුණත් ''අසංක සර්'' නිසා ලැබුණු පළමු සම්මානය මට සුවිශේෂියි.