ශිරානි නානායක්කාරගේ ධ්‍යාන - 02 චිත්‍ර දැක්ම
පැන්සල, පින්සල, පැස්ටල් කූර මගින් කැන්වස් තිරය මත අපූරුවට ජීවමාන රූප මැවීමට සෑම කෙනෙකුටම කළ නොහැක්කකි. ඒ සඳහා හැකියාව, ලැදියාව සහ වාසනාව නියත වශයෙන්ම බලපායි.
එවැනි පිරිස් අතරින් එම හැකියාව කාන්තාවකට ලැබෙනුයේද ඉතා කලාතුරකිනි. ඉහත කී සියලු ලක්ෂණවලින් හෙබි අතිදක්ෂ චිත්‍ර ශිල්පිනියක වන ශිරානි නානායක්කාර මහත්මියගේ දෙවැනි ඒක පුද්ගල චිත්‍ර දැක්ම ‘ධ්‍යාන - 02’ නමින් පසුගිය 23දා ආරම්භ වී 26දා අවසන් විය.
මෙම 02 චිත්‍ර ප්‍රදර්ශනය ආරම්භ කිරීම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ එඩ්වින් ආරියදාස ශූරීන්ය. ඊට අමතරව ගිවන්ත අර්ථසාද්, හසන්ත හෙට්ටිආරච්චි, බණ්ඩාර ඇහැළියගොඩ, බන්දුල නානායක්කාරවසම් ඇතුළු පිරිසක් මෙහි ආරම්භක දිනය සඳහා සහභාගි විය.
ජාතික රූපවාහිනියේ වසර තිස්පහක් පමණ සේවය කළ ශිරානි මාධ්‍ය රූප හා සජීවිකරණ ඒකකයේ ප්‍රධානී ලෙස වසර ගණනාවක්ම කටයුතු කර තිබේ. නවීන තාක්ෂණයත් සමග නිරන්තරයෙන් චිත්‍ර ඇඳි ඇය 2009 වසරේදී රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේදී ‘මුල්ම ද්විමාණ සජීවිකරණ වීඩියෝව’ට හිමි රාජ්‍ය සම්මානයද දිනාගැනීමට සමත් විය.
මෙම චිත්‍ර දැක්මේ ප්‍රදර්ශනයට යොදා ඇති චිත්‍ර අතර ලංකාවේ සිටින විශිෂ්ඨ කලාකරුවන් රැසකගේ ජීවමාන රූ රැසක් දක්නට ලැබිණි. ඊට අමතරව දිය සායමෙන් හැඩවුණු සිතුවම් විශාල ප්‍රමාණයක්ද ශිරානිගේ ‘ධ්‍යාන 02’ ප්‍රදර්ශනයට තබා තිබිණි. මෙම අවස්ථාවට එක්වෙමින් එඩිවින් ආරියදාස ශූරීන් පැවසූයේ දිය සායම් කලාවට බොහෝ දෙනා එක් නොවෙන්නේ දිය සායම් කලාව තුළ ඇති ශික්ෂණය බොහෝ ශිල්පීන්ට නොමැති හේතුවෙන් බවයි. නමුත් ශිරානි නානායක්කාරගේ දිය සායම් සිතුවම් තුළින් ඇගේ ශික්ෂණය සහ දක්ෂතාවය මනාව දැකිය හැකි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. ‘ධ්‍යාන 02’ දැක්මට සමගාවීව ඇය විසින් රචිත ‘දිය සායම්’ නැමැති ග්‍රන්ථය එළිදැක්වීමද මෙදින සිදුකෙරිණි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශිරානි අප සමග මෙවැන්නක් පැවසීය.
&මම කැමතිම විෂය චිත්‍ර නිසා මම මගේ රැකියාවත් චිත්‍ර ශිල්පිනියක් විදිහට තෝරා ගත්තා. ඉතින් ජාතික රූපවාහිනියේදී මම චිත්‍ර පිළිබඳව විශාල දැනුමක් ලබා ගත්තා. මගේ හැමදේම චිත්‍ර සමගම තිබුණු නිසා මම රැකියාවත් සතුටින් සිදු කළා කියලා හිතනවා. රටේ ජනතාව විශාල දුකකින් ඉන්න මෙවැනි වේලාවක මගේ සිතුවම් නරඹලා මදකට හෝ ඔවුන් තමන්ගේ සිත නිවා ගත්තා කියලා මම හිතනවා. චිත්‍ර නරඹන්නට පැමිණි සහ සුබ පැතුම් එක් කළ සැමට මම ස්තූතිය පළ කරනවා*
සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - ශමීර රාජපක්ෂ