කොළඹ නවම් මහ පෙරහර
කොළොම්පුර මහා කලා මංගල්‍යය හෙවත් කොළඹ ගංගාරාම නවම් මහ පෙරහරේ අවසන් මහා පෙරහර පසුගියදා (19දා) උත්කර්ෂවත් ලෙස වීථි සංචාරය කෙරිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනසහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් සදාතුක ධාතු කරඬුව හස්තියා මත තැන්පත් කිරීමෙන් පසුව පෙරහර ආරම්භ වූ අතර, කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති, කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම නවම් මහා පෙරහර මෙවර සංවිධානය කර ඇත්තේ 41 වැනි වරටය.
අලිඇතුන් හතළිස් පහකට ආසන්න සංඛ්‍යාවක් ගමන් ගන්නා නවම් පෙරහර තාලන් නැටුම, වේවැල් නැටුම, පතුරු නැටුම, තෙල්මේ, කුමාරපාළිය, ශුද්ධ මාත්‍රා, රිද්දි යාගය, සවරං නැටුම, බුම්මැඩි, සක් පිඹීම, අව් අතු හා මුරායුධ, රබන් කරකැවීම, පන්තේරු, මහසෝනා, උඩැක්කි, දෙවොල්, නාගරාක්ෂ, ආතා මුත්තා කෝලම, හනුමන්තා නැටුම ආදී වශයෙන් 145කට අධික විචිත්‍රවත් පෙරහර අංගවලින් සමන්විත විය.
ගල්කිස්ස රත්මලාන විමලාරාමාධිපති, ආචාර්ය අත්තුඩාවේ පියරතන, ශ්‍රී ඥානෙශ්වර පිරිවෙනෙහි සම්මාන පරිවේණාධිපති දොරදෙණියේ විමලකිත්ති හා පරිවේණාධිපති තන්තිරිමුල්ලේ සරණ යන ස්වාමීන් වහන්සේලා ධාතු කරඬුව භාරව පෙරහරෙහි වැඩම කළහ. කොළඹ ශ්‍රී ජිනරතන පාර, හුණුපිටය වැව පාර, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවත, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත, ශ්‍රී උත්තරානන්ද මාවත, පෙරහර මාවත, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, ශ්‍රී ජිනරතන මාවත ඔස්සේ ගංගාරාම විහාරස්ථානය දක්වා පෙරහර ගමන්ගත් අතර ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි කිරින්දේ අස්සජි, පාලටුවාවේ ජිනරතන යන හිමිවරුද නවම් මහ පෙරහර සංවිධාන කටයුතු මෙහෙයවූහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ