ශ්‍රී ලාංකික නිළි ජැකලින්, කළු සල්ලි ජාවාරමක ද ? ඉන්දීය ආරක්ෂක අංශවල අවසාන නිගමනය මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාවේ බොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිතයක් බවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජැකලින් ෆර්ඩිනන්ඩස් පසුගියදා ඉන්දීය මූල්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ අධිකාරීන්ගේ ප්‍රශ්න කිරීමට ලක්වී තිබේ.

ඇය මෙසේ ප්‍රශ්න කිරීමට හේතුව වී ඇත්තේ කළු සල්ලි ජාවාරම් සම්බන්ධව තොරතුරු දැන ගැනීමේ අරමුණෙනි.

ඉන්දියාවේ හොර ජාවාරම් සම්බන්ධව ප්‍රසිද්ධ පුද්ගලයකු වන සුකේෂ් චන්ද්‍රසේකර් නැමැත්තාට කළු සල්ලි ඉන්දීය මුදලින් රුපියල් කෝටි 200ක් ජාවාරම් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබේ.

ඔහු හා සම්බන්ධකම් පවත්වන පුද්ගලයන් ප්‍රශ්න කිරීම තුළින් ඔහුට විරුද්ධව ඇති චෝදනා තහවුරු කර ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටී.

ජනප්‍රිය නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස්ගෙන් මෙලෙස ප්‍රශ්න කර ඇත්තේද සුකේෂ් චන්ද්‍රසේකර්ට විරුද්ධව එල්ල වී ඇති චෝදනා තහවුරු කර ගැනීමේ පියවරක් වශයෙන් මිස ඇයට කළු සල්ලි ජවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බවද ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.

ජනප්‍රිය නිළි ජැකලින් ජාවාරම්කාර සුකේෂ් චන්ද්‍රසේකර් හා සම්බන්ධ වී ඇත්තේ ඔහුගේ බිරිය වන ලීනා පොල්ගේ මිතුරියක වශයෙනි.

පැය පහක පමණ කාලයක් පුරා ජැකලීන්ගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

ජැකලීන්ට අමතරව ඉන්දීය සිනමා කර්මාන්තය හා බැඳුණු තවත් ‘තරුවක්’ ප්‍රශ්න කිරීමට ලක් කිරීමට නියමිත බවද ප්‍රකාශ වී ඇති නමුත් එම ‘තරුවේ’ අනන්‍යතාව තවමත් ඉන්දීය ආරක්ෂක අංශ විසින් හෙළිදරව් කර නොමැත.

සුකේෂ් චන්ද්‍රසේකර් යනු තම කළු සල්ලි මඟින් ඉන්දියාවේ බොහෝ අකටයුතුකම් කරන ලද පුද්ගලයෙකි.

ඔහු අයථා ක්‍රියා මගින් උපයන ලද මුදල් නොයෙක් දේ වෙනුවෙන් වැය කරමින් නීතියට පටහැනිව කටයුතු කරමින් සිටී. ඔහුට අයත් විශාල නි‌ෙවසක් පිළිබඳව ආරක්ෂක අංශ හෙළිදරව් කර තිබේ.

ඒ නිවස චෙන්නායි හි මුහුදට මුහුණලා ඉතා සුන්දර ස්ථානයක පිහිටා ඇති අතර එය ඉන්දීය රුපියල් ලක්ෂ 82.5ක් වැය කරමින් මිලදී ගෙන ඇත්තේ සුකේෂ් චන්ද්‍රසේකර් විසිනි. මීට අමතරව ඔහු තවත් මෝටර් රථ දුසිමක් පමණද මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.

මීට අමතරව ඔහු ඉන්දීය දේශපාලනයේ යම් යම් වෙනස්කම් කිරීම වෙනුවෙන්ද මුදල් වැය කර ඇති බවට වාර්තා ආරක්ෂක අංශ වෙතට ලැබී තිබේ.

මේ ප්‍රශ්න කිරීමේ සිදුවීමත් සමඟ කිසියම් නරක නාමයක් ලැබූවද ජැකලින් රේඩිනන්ඩස් පැහැදිලිවම මේ කළු සල්ලි ජාවාරම් සමඟ සබඳතාවක් නොමැති බව ඉන්දීය ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.

ජැකලීන් ෆර්නැන්ඩස් ශ්‍රී ලාංකික වන්නේ ඇයගේ පියා වන එල්රෝයි ෆර්නැනඩ්ස් ශ්‍රී ලාංකිකයකු වීම හේතුවෙනි. ඇයගේ මව වන ‘කිම්’ මැලේසියානු සම්භවයක් සහිත කැනේඩියානු කාන්තාවකි.

ජැකලීන් උපත ලබා ඇත්තේ බහරේනයේදිය. ශ්‍රී ලාංකික බර්ගර් ජාතිකයකු වන එල්රෝයි රේනැන්ඩස් හෙවත් ජැකලින්ගේ පියා ශ්‍රී ලංකාවේදී සංගීතවේදියකු ලෙස කටයුතු කර තිබේ. 1983 වසරේදී ඇති වූ ජාතිවාදී කෝළාහල හේතුවෙන් ඔහු මෙරට අතහැර බහරේනය බලා ගොස් තිබේ. ජැකලීන්ගේ මව වන කිම් ඔහුට මුණ ගැසී ඇත්තේ එහිදීය. ඇය ගුවන් සේවිකාවක ලෙස කටයුතු කර තිබේ.

සහෝදර සහෝදරියන් සිවු දෙනෙකුගෙන් යුක්ත වූ පවුලක බඩ පිස්සිය වූයේ ජැකලීන්ය.

ඇයට එක් වැඩිමහල් සහෝදරියක් සහ වැඩිමහල් සහෝදරයන් දෙදෙනකු වේ. බහරේනයේදී ප්‍රාථමික අධ්‍යාපනය ලැබු ජැකලීන් පසුව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරා තිබේ.

උසස් අධ්‍යාපනයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි ජැකලීන් කලා කටයුතුවලට තම දායකත්වය ලබා දීම ආරම්භ කර තිබේ.

එහි නැවතුම ඉන්දියාවේ බොලිවුඩ් සිනමාව වූ අතර දැන් ඇය එහි අතිශය ජනප්‍රිය ඉහළ මිලක් අය කරන නිළියකි.

ටිරෝනි වෑවලගේ



More In Hot Story