වයස ඉලක්කමක්ම නොවන බව සෝමි අලි කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“කතාවක් තියෙනවා වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියලා.. ඇත්තටම ඒක එහෙම නෙමෙයි.. සමාජය අපි ගැන තීරණ ගන්නෙ අපේ වයසට අනුව.. මට හිතෙනවා අද මම මිනිස්සු ගැන දන්න දේවල්, මිනිස්සු අනිත් අය ගැන හිතන විදිය කොහොමද කියලා මගේ නව යොවුන් වියේදී දැනගෙන හිටියානම් කියලා.. අපිට නොයෙක් උපක්‍රම භාවිතා කරලා තරුණ පෙනුම රැක ගන්න පුළුවන්.. ඒත් වයස යන එක නවත්තන්න බෑ.. ඒ වයසට අනුව සිතුම්පැතුම් වෙනස් වෙන එක වෙනස් කරන්නත් බෑ..”
එසේ කියන්නේ කලෙක බොලිවුඩයේ සුන්දර නිළියක ලෙසින් නම් දරා සිටි සෝමි අලිය. 
පකිස්තාන් ජාතික සෝමි අලි ඉපදුණේ 1976 දී කරච්චියේදිය. ඇයට අවුරුදු දොළහක් වෙද්දී ඇයට සිය මවත් සමඟ ඇමෙරිකාවේ පදිංචියට යන්නට සිදු වූයේය. එහෙත් කුඩා කල සිටම සිය සිත් ගත් නළුවා සල්මන් ඛාන් වෙනුවෙන් ඇය අම්මාට බැගෑපත් වී ඉන්දියාවට පැමිණියේ වයස අවුරුදු 16 දීය. එහිදී ඇය නිරූපිකාවක වූ අතර බොලිවුඩ් චිත්‍රපටි කිහිපයක ද රඟ පෑවාය. අන්ත්, ක්‍රිෂාන් අවතාර්, යාර් ගද්දාර්, ආන්දෝලන්, මාෆියා ඒ අතර වෙයි. සල්මන් ඛාන් සහ ඇය අතර වූ අවුරුදු අටක සම්බන්ධය බිඳී ගිය පසුව ඇය බොලිවුඩය හැර දා නැවතත් ඇමෙරිකාවටම ගියාය. මඟ නැවතුණ සිය අධ්‍යාපනය ද සම්පූර්ණ කර ගත් සෝමි අලි සමාජ සේවිකාවක බවට ද පත් වූවාය. ඇය විසින් පවත්වාගෙන යනු ලබන “නෝ මෝර් ටියර්ස්” සමාජ සේවා ආයතනය අයසට පත් කාන්තාවන්ට පිහිට වෙන තැනකි.
සෝමි අලි තවමත් සුන්දර පෙනුමෙන් යුක්තය. ඇගේ වයස අවුරුදු 45 ක්යයි බැලූ බැල්මට කිව නොහැකිය. 
“වයසට යනවා කියන්නෙ ලැජ්ජාවට හේතුවක් නෙමෙයි.. කාටවත් වයස නතර කරගෙන ඉන්න බෑ.. ඒත් කාන්තාවන්ගේ කෙට්ටු බව, මහත බව අවධාරණය කරලා ඔවුන් අපහසුවට පත් කරන්නෙ අනිත් කාන්තාවන්ම තමයි..” සෝමි කියන්නේ දොම්නසිනි. 
ඇය සිතන්නේ වයස යනු අත්දැකීම් සම්භාරයක් බවයි. එම නිසාම වයස්ගත මිනිසුන්ට ගරු කරනවා මිස අපහාස නොකළ යුතුය. එමෙන්ම තමනුත් වයසට යන  බැව් අමතක නොකළ යුතුය. බොහෝ අය වයසට යද්දී සිතුම්පැතුම් වෙනස් කරනවා පමණක් නොව තමන්ට ද ගැටවර වියක් තිබූ බැව් අමතක කරති. එම නිසාම ගැටවර වියේ දරුවන් විසින් කරනු ලබන දඟකාරකම්, අත්හදා බැලීම් දෙස ඔවුන් බලන්නේ වපරැස්වලිනි. එහෙත් සෝමි අලි එවැන්නියක නොවේ. මත්ද්‍රව්‍ය චෝදනාවක් මත ආර්යන් ඛාන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ විට ඇය ඔහුගේ පැත්තට කතා කළේ කිසිදු බියකින් සැකයකින් තොරවය. මත් ද්‍රව්‍ය නීතිගත කළ යුතු බව ද ඇය එහිදී අවධාරණය කළාය. ඇය මත්ද්‍රව්‍ය සම්බන්ධ තමන්ගේ අත්දැකීම් ද හෙළිදරව් කර තිබිණි.  
 
“ඉලන්දාරි එහෙම තමයි.. මොන ඉලන්දාරියට ද මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්දැකීම් නැත්තෙ..? ගණිකා වෘත්තිය වගේම මත් ද්‍රව්‍යත් සමාජෙ තියෙනවා.. ඉතින් ඇයි ඒවා සාපරාධි ගණයට දාලා තියෙන්නෙ..? මම හිතන විදියට මත්ද්‍රව්‍ය ගැන ඔච්චර බරපතල විදියට කතා කරන හැමෝම ඒවා අත්හදා බලපු කාලයක් තියෙන්න ඇති.. කවුරුවත් ශාන්තුවරයෝ නෙමෙයිනෙ..”
 
ඇය සඳහන් කර තිබුණේ උපහාසයෙන් මෙනි. 
ඇය මුලින්ම මරිජුවානා පානය කර තිබුණේ අවුරුදු 15 දීය. ඉනික්බිතිව ආන්දෝලන් චිත්‍රපටියේ රඟ පාද්දී දිව්‍යා භාරතී සමඟ ද මත් ද්‍රව්‍ය ගෙන තිබිණි. 
 
“ඒ ගැන මට කිසිම පසුතැවිල්ලක් නෑ..” ඇය කියන්නීය. 
 
ආන්දෝලන් චිත්‍රපටියේ ඇය රඟ පෑවේ සන්ජේ දත් හා ගෝවින්දා සමඟය. එහි අධ්‍යක්ෂ සජිඩ් නාදියවාලා ගේ බිරිඳ වූ 19 හැවිදිරි දිව්‍යා භාරතීට අකල් මරණයක් අත් වූයේ චිත්‍රපටිය ඇරඹි මුල් කාලයේදීමය.  ඒ අධික බීමතින් සිටියදී සඳැල්ලෙන් බිමට ඇද වැටීමෙනි. ඇය මත් දියර සමඟ මත් ද්‍රව්‍ය ද ගන්නා බැව් එකල කටකතා පැතිරී තිබිණි. 
 ඇමෙරිකාව මත් ද්‍රව්‍ය මැඩලීමේ යුද්ධය පටන් අරගෙන තියෙන්නේ 1971 ඉඳලා.. ඒත් අදත් ඒවා ගන්න කැමැත්ත තියෙන කෙනෙකුට පහසුවෙන් ගන්න පුළුවන්.. මට ෂාරුක් ඛානුයි ගෞරි ඛානුයි මේ වගේ සිත් වේදනාවකට ගොදුරු වීම ගැන හරි දුකයි..” ඇය කියා තිබිණි. 
 
බොහෝ දෙනෙකු ඇගේ මේ ප්‍රකාශය විවේචනය කර තිබිණි.