ලොව ධනවත්ම නළුවෙක් වූ ෂාරුක් ඛාන්ගේ ජීවිත කතාව
‘ෂාරුක් ඛාන්’ යනු කවුදැයි යනුවෙන් ඔබට අමුතුවෙන් හඳුන්වාදීමක් කළ යුතු නොවේ. බොලිවුඩ් සිනමාවේ රජු ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ‘ෂාරුක්’ ගැන පසුගිය දිනවල ලෝකයේ බොහෝ දෙනා කතා කිරීමට මාතෘකාවක් කර ගත්තේ ඔහුගේ අලුත්ම චිත්‍රපට රංගනයක් හෝ සිනමාවේ කටයුත්තක් නිසා නොවෙයි. ෂාරුක්ගේ පුතු නෞකාවක පැවත්වීමට සංවිධානය කර තිබූ පාටියකදී මත් ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ යැයි යන චෝදනාව මත අත්අඩංගුවට පත්වුණි. ‘ෂාරුක්’ සහ ඔහුගේ පවුල ගැන මුළු ලෝකයේම අවධානය යළිත් යොමුවූයේ ඒ සමගය.
‘ෂාරුක් ඛාන්’ නොහොත් 'SRK' යන කෙටි නාමයෙන් හැඳින්වෙන මේ සුපිරි රංග ශිල්පියා ලෝකයේ ධනවත්ම නළුවන් 10 අතරට අයත් චරිතයකි. බොහෝ ව්‍යාපාරික පුවත් වාර්තාවලට අනුව 'SRK' ගේ නාමය ප්රමුඛව සඳහන් කර ඇති වග දැනගත හැකිය. ‘ෂාරුක්’ එලෙසින් ලෝකයේ මහා ධනවතෙකු වූයේ සිනමා රංගනය නිසාම නොවෙයි. වෙනත් ව්‍යාපාර සහ අලෙවි ප්‍රවර්ධන කටයුතු මෙන්ම දැන්වීම ආදී විවිධ අංශ වෙතින් ලබන මහා ධනස්කන්දය නිසාය. මධ්‍යම පාංතික පවුලකට අයත් සාමාජිකයකු ලෙස ඉපිද නළුකම ඔස්සේ ගමනක් යමින් ලෝකය වසඟයට ගත් ‘ෂාරුක්’ ලොව අංක එකේ ධනවතකු වූයේ කෙසේද
කවුද මේ ෂාරුක්?
‘මගේ ආච්චිට, එනම් මගේ මවගේ අම්මාට එදා ඕනෑ කරලා තිබුණේ මට ෂාරුක් ඛාන් කියලා නම දාන්නට නෙවෙයි. අබ්දුර් රෙහ්මාන් කියලා නම දාන්නයි. හැබැයි ඉතින් ඒ නම කිසිම තැනක ලියාපදිංචි කරලා තිබුණෙ නැහැ. ෂාරුක් ඛාන් කියලා මට නම දාලා තියෙන්නෙ මගේ තාත්තා.’
හිංදුස්ථාන් ටයිම්ස් පුවත්පතට වතාවක ‘ෂාරුක්’ පවසා ඇත්තේ එලෙසිනි. ‘ෂාරුක්’ යන්නෙහි තේරුම ඔබ දන්නවාද?
‘කුමාරයකුගේ වගේ මුහුණක් ඇති’ යනු ෂාරුක් යන්නෙහි තේරුම ලෙස සඳහන්වේ. ඒ නාමය ඔහුට සැබෑ ලෙසම ගැලපෙන්නක් නොවේද? සැබැවින්ම ෂාරුක් යනු කුමාරයෙකි. ඔහුට ඇත්තේ මොනවාද යන්න අසනවාට වඩා ඔහුට නැත්තේ මොනවාද? යන්න දැන ගැනීම වඩා හොඳය.
අති සුඛෝපභෝගී කුමාර දිවියක් ගත කළද ෂාරුක් සැමදාටම දුක්වන දෙයක් තිබේ. ‘මගේ දක්ෂතා දැක ගන්න ඒවා දැකලා ආඩම්බර වෙන්න මගේ අම්මා-තාත්තාට බැරි වුණානෙ. මම ලෝකය ජයගන්නට කලින් ඒ දෙන්නා මේ ලෝකයෙන් සදහටම සමුගෙන යන්න ගිහින්.’ බොලිවුඩ් සිනමාවේ ‘අගරජු’ වන ෂාරුක් හැමදාටම දුක්වන්නේ එකී හේතුව නිසාය.
1965 නොවැම්බර් මස 2 වැනිදා ෂාරුක් ඛාන් උපත ලැබුවේ දිල්ලි නගරයේදී මුස්ලිම් පවුලකට අයත් දරුවකු ලෙසය. මීර් තාජ් (ටාජ්) මොහොමඩ් ඛාන් යනු ෂාරුක්ගේ පියාගේ නාමයයි. ලතීෆ් ෆාතිමා යනු මවගේ නාමයයි. අද මේ මා පිය යුවළ ජීවතුන් අතර නොවේ. ෂාරුක්ගේ මවගේ පියා රජයේ ඉංජිනේරුවරයකු විය. ෂාරුක්ගේ පියාගේ පියාව සිටි මීර් ජාන් මුහම්මද් ඛාන් ඇෆ්ගනිස්ථානයෙන් පැවැත එන බව සඳහන් වේ. ෂාරුක් හෙවත් කිං ඛාන්ගේ පියා ‘මීර් තාජ් මොහොමඩ්’ යනු ඉන්දීය නිදහස් සටනට උරදුන් තවත් චරිතයක් විය. වෘත්තිය ලෙස ඔහු කර ඇත්තේ අවන්හලක් ඇතුළු සුළු ව්‍යාපාර කීපයක නිරතවීමය. ෂාරුක් හට තම ළදරුවිය ගත කිරීමට සිදුවූයේ කර්නාටක ප්‍රාන්තයේ මැංගලෝරයේ (මැංගලුරු) හිදීය. මහත්මා ගාන්ධිගේ සමීපතම සගයකුව සිටි ඉන්දීය නිදහස් සටනට උරදුන් අබ්දුල් ගෆාජ් ඛාන් හෙවත් බචාඛානිගේ අනුගාමිකයකු ලෙස ෂාරුක්ගේ පියා එවකට කටයුතු කළ අතර නිදහස් සටන උදෙසා මහත්සේ කැපවී ක්‍රියා කළ චරිතයක් විය. 1947 දී ඉන්දියාව, බ්‍රිතාන්‍ය යටත් විජිත සටනින් ජයගෙන නිදහස් රාජ්‍යයක් වූ පසු මිර්තාජ්ඛාන් තම බිරිඳ සහ දරු දෙදෙනාද කැටුව දිල්ලි නගරයට ආවේය. එහිදී ‘ඛාන්’ පවුලේ නිවහන වූයේ මහල් නිවාස සංකීර්ණයකට අයත් වූ නිවසකි. ෂාරුක් ඛාන්ගේ එකම සොයුරියගේ නම ෂෙහ්නාස් ලලාරුක් ඛාන්ය. ඇය උපත ලබා ඇත්තේ 1960 දීය. ෂාරුක්ගේ පියා ඉන්දියාවට පැමිණ ඇත්තේ ‘පෙෂාවර්’ සිට යැයි සඳහන්වේ. පෙෂාවර් යනු පාකිස්ථානයේ සුන්දර කලාපයක් වන කයිබර් පක්ටුන්වාහි අගනගරය වේ. නවදිල්ලියේ රාජේන්ද්‍ර නගර්හි සිට හැදී වැඩුණු ෂාරුක් මධ්‍යම දිල්ලියේ ශාන්ත කොළම්බස් පාසලේ සිට අධ්‍යාපන කටයුතුවලට එළැඹිණි. ඒ සාමාන්‍ය මධ්‍යම පාංතික පවුලකට අයත් දරුවකු ලෙසය.
පාපන්දු සහ හොකී හපනා
පාසල් සමයේදී ‘ෂාරුක්’ යනු ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවට එක ලෙස දක්ෂතා පෙන්වූවකු විය. ක්‍රීඩාවට මහත්සේ ඇලුම් කළ චරිතයක් වූ බව සඳහන් කළ හැකිය. එය අදටද එසේමය. දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු වූ අතර හොකී ක්‍රීඩාවට දැක්වූයේ ඊට නොදෙවෙනි වූ දක්ෂතාවයකි. එවකට උරහිසේ ඇතිවූ ආබාධයක් නොවන්නට අද අපට ‘කිංග් ඛාන්’ කෙනෙකු වෙනුවට හමුවන්නේ හොකී ක්‍රීඩා තරුවකි. නමුදු කුමාරයකුගේ මෙන්වූ මුහුණක් ඇති ෂාරුක්ගේ දෛවය ලියැවී තිබුණේ සිනමාවටම පමණකි. උරහිසේ ආබාධය මත ක්‍රීඩාව අහිමිවූ පසු ඛාන් රංගනය ගැන හිත යොමුකළ වග සඳහන් වේ. එවකට ඔහුගේ සිනමා වීරයින් වී සිටියේ දිලිප් කුමාර්, අමිතාබ් බච්චන් සහ මුම්තාස්ය. ඉගෙනීමට හපනෙකු වූ ෂාරුක් උසස් අධ්‍යාපනය ලබන අතරේ දිල්ලියේ නාට්‍ය පිළිබඳව වූ ජාතික පාසලට ඇතුළත් වී රංගනය සහ නාට්‍ය කලාව ගැන හැදෑරීමට උනන්දු විය. ආර්ථික විද්‍යා අංශයේ උපාධිය ලබාගත් පසු ඔහු වැඩිපුර කාලය ගත කිරීමට පුරුදු වූයේ එම අංශයේ නොවුණි. ‘දිල්ලියේ තියටර් ඇක්ෂන් ගෲප්’ වෙත ගොස් රංගනය පිළිබඳව එහි අධ්යක්ෂවරයාව සිටි බැරී ජෝන් යටතේ උගෙනීමට උනන්දුවිය. ආර්ථික විද්‍යා උපාධියෙන් නොනැවතී ඔහු ජන සන්නිවේදන අංශයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා උනන්දු විය. එහෙත් එම උපාධිය නිම කළ නොහැකි වූයේ රංගන විෂයය ගැන උනන්දු වූ නිසාවෙනි.
කුමාරයාගේ රංගන ගමන
ඔබ සිතා සිටින්නේ ‘ෂාරුක් ඛාන්’ චිත්‍රපට නිසා ජනප්‍රිය වූ චරිතයක් ලෙසය. නමුදු ඔහු රංගනයට පිවිසියේ රූපවාහිනිය ඔස්සේය. රාජ් කුමාර් කපූර් විසින් දූර්දර්ශන් ටෙලිවිෂන් ආයතනය වෙනුවෙන් නිර්මාණය කළ ‘ෆාවුජ්’ හෙවත් ‘සොල්දාදුවා’ ටෙලි මාලාවේ සොල්දාදුවකුගේ චරිතය නිරූපනය කරමින් ඛාන් ඔහුගේ රංගන ගමනට අවතීර්ණ වුණි. 1988 දී විකාශය කෙරුණු මෙම ටෙලි මාලාව සමඟ පෑ රංගනයේ දක්ෂතා හමුවේ ඔහු හට තව තවත් ටෙලිවිෂන් නිර්මාණ සඳහා ඇරයුම් ලැබුණේ තොග වශයෙනි. එවැනි පසුබිමක චිත්‍රපට රංගනය වෙනුවෙන් ‘දීවානා’ චිත්‍රපටයේ සහාය චරිතයක් රඟපෑමට මුල්වරට ෂාරුක් හට අවස්ථාව ලැබිණි. ඉනික්බිතිව බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත කෙරුණු ‘බාසිගර්’, ‘දාර්’ සමග බොලිවුඩයේ තරුවක් වී ස්ථාවර ගමනක් යාමේ අඩිතාලම වැටුණි. කෙසේ වෙතත් ඒවායෙහි ඔහු රඟපෑවේ පෙම්වතාගේ චරිතය නම් නොවේ. දුෂ්ඨයාගේ චරිතය විය. දුෂ්ඨයාට කවුද කැමැති? කිසිවකු හෝ දුෂ්ඨයින්ට කැමැති නොවේ. එහෙත් ලක්ෂ සංඛ්‍යාත වූ මහා ජනතාවක් මේ දුෂ්ඨයාට වහ වැටී සිටි බව කිව හැකිය. බොලිවුඩ් සිනමාවේ එදා ප්‍රේක්ෂක ආදරය ලද දුෂ්ඨයකු වී නම්? ඒ ‘ෂාරුක් ඛාන්‘ම විය.
මාපිය දෙදෙනා අහිමිවීම
දරුවකු රටේ ජනතාවගේ ආදරයට ගෞරවයට පාත්‍ර වනවා දැකීමට මොන අම්මා තාත්තාද අකමැති? ෂාරුක් කුමාරයා දවසින් දවස කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ආදරය ගෞරවය ලබමින් සිටි මොහොතක ඒ අභිමානය ලැබීමට තරම් ඔහුගේ මව්-පිය දෙදෙනා හට වරම් නොලැබුණි. ෂාරුක්ගේ පියා වූ මීර් තාජ් (ටාජ්) මොහොමඩ් ඛාන් 1981 දී මියගියේ පිළිකා මාරයාට ගොදුරුවීමෙනි. ඉන් හරියටම දස වසරකට පසුව ෂාරුක්ගේ මව ලතීෆ් ෆාතිමා මිය ගියේ 1991 වසරේදී දිර්ඝ කාලීනව දිය වැඩියා රෝගයට ගොදුරු වී සිටීමෙන් පසුවය.
‘තාත්තා නැතිවෙනකොට මගේ වයස අවුරුදු 15යි. අම්මා නැතිවෙනකොට මගේ වයස අවුරුදු 26යි. අක්කටයි-මටයි ඒ දෙදෙනාගේ වියෝව දරාගත නොහැකි දෙයක් වුණා. මුළුගෙදරම අපට දැනුණෙ පාළු සොහොන් පිටියක් වගෙයි. මොන දේ ලැබුණත් ජීවිතය හරියට හිස් වගෙයි දැනෙන්නෙ. මේ පාළුව තනිකම මගේ මුළු ජීවිතය පුරාවටම තියේවි. එයාලා නැති අඩුව සැමදාටම මට දැනේවි’
ෂාරුක් මෙලෙසින් ප්‍රකාශ කර සිටියේ පසු කාලෙක රාණි මුකර්ජි සමග අළෙවි ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන් දායකත්වය ලබාදුන් අවස්ථාවකදීය. මවගේ සිහිනයක් වී තිබුණේ තම පුතු සිනමාවේ රඟපාන හැටි දැකීමටය. මවගේ මරණින් පසුව ෂාරුක් සිනමා රංගනය කෙරෙහි වඩ වඩාත් උනන්දු වන්නට ඇත්තේද එනිසාම විය හැකිය.
ආදරණීය පෙම්වතාගේ චරිතය
එතෙක් බොලිවුඩ් සිනමාවේ දුෂ්ඨයාව සිටි ෂාරුක් ඛාන් ආදරණීය පෙම්වතා බවට පත්වූයේ 1995 දී තිරගතවීම් ඇරැඹි ආදිත්‍ය චොප්රා අධ්‍යක්ෂණය කළ දිල්වාලේ දුල්හනියා ලේ ජායෙගී (DDLJ) චිත්‍රපටයේ රඟපෑම සමගය. සිනමාවේ ඔහුගේ පළමු පෙම්වතිය සුරූපි කාජල් (කාජොල්) ය. DDLJ යන කෙටි නාමයෙන් හැඳින්වෙන ‘දිල්වාලේ දුල්හානියා ලේ ජායෙගී’ චිත්‍රපටය යනු එදා මෙදා තුර හිංදි සිනමාවේ දීර්ඝතම කාලයක් තිරගත වූ චිත්‍රපටය ලෙස වාර්තාවේ. මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 1.2ක් පමණ සුවිශාල ආදායමක් ලැබූ අතර අදටද භාරතයේ තැන තැන එය තිරගතවීම විශේෂත්වයකි. ෂාරුක් මොන තරම් නම් වාසනාවන්තයෙක්ද, භාග්‍යවන්තයෙක්ද යන්න එම චිත්‍රපටය කදිම සාක්ෂියකි. මෙම චිත්‍රපටයේ රඟපාන විටත්, ෂාරුක් හට ඔහුගේ සැබෑ ප්‍රේමය පැවතිණි. ‘ගෞරි’ ඔහු හඳුනාගෙන සිටියේ වයස අවුරුදු 14දී සිටය. බොලිවුඩය කළඹවමින් ෂාරුක් තමාගේ රෝමාන්තික සිනමා ගමනේ ආදරණීය පෙම්වතා වූයේ කාජොල්ගේ පමණක් නොවීය. සිනමාවට පිස්සු වැටුණු මහා භාරතයේ මල් වගේ කෙල්ලන්ගේ, සදාදරණීය ආදරවන්තයා, සිහින කුමරා වූයේ ෂාරුක් කුමාරයා.
ෂාරුක් මේ වගේ කියා දැන සිටියේද?
එදා රංගනයට පැමිණීමට පෙර ෂාරුක් ප්‍රථම වරට රස්සාවක් හැටියට ප්‍රසංගයක අසුන් පනවන්නකු ලෙස කටයුතු කළේය. ‘පන්කාජ් උදාස්’ ගේ ප්‍රසංගයක එලෙස කටයුතු කිරීමෙන් රුපියල් 50ක වැටුපක් ඔහු හට ලැබුණි. එදා මෙම ප්‍රසංගයේ අනෙක් අයට අසුන් පනවමින් (සකසමින්) සිටි මේ කොල්ලා පසු කාලෙක රඟපෑ චිත්‍රපටයක් නැරැඹීමට එදා ඔහු සැකැසූ අසුන්වල සිටි මිනිසුනට පෝලිමේ සිටීමට වීම එක් අතකට හරි පුදුම දෙයක් නොවේද?
එදා එලෙසින් ලැබූ රුපියල් ‘50’ අරගෙන ඔහු කළේ දිල්ලියේ සිට අග්‍රා දක්වා දුම්රියේ යාමය. එසේ ගියේ ටජ්මහල් මන්දිරය දැක ගැනීමට තිබූ ආසාව නිසාය. ආදරයේ තිළිණයක් ලෙස නිර්මාණය වූ ටජ්මහල නැරැඹීමට ෂාරුක් යාමද එක්තරා විදියක අපූරු සිදුවීමකි.
ෂාරුක් යනු මල් පාවාඩ ඇතිරූ මාවතක ආ චරිතයක් නම් නොවේ. තාරුණ්‍යයේ දුෂ්කර අවස්ථාවලදී රංගනයට ඒමට පෙර ඔහු දිල්ලියේදී පුංචි අවන්හලක් පවත්වාගෙන ගිය බව සඳහන්වේ. ෂාරුක් යනු කොහොමටත් එදා සිට ජීවිතයේ වඩාත් කාර්ය බහුලවීමට කැමැතිවූ අයෙකි. එයාගේ සාර්ථකවීමේ රහසද එයයි.
බොලිවුඩයේ බොහෝ තරු චරිත සිනමාවේ හෝ කලාවේ පවුල් පසුබිමක් ඇතිව ආ අය වෙති. එහෙත් ‘ෂාරුක්’ යනු එවැනි කිසිදු පවුල් පසුබිමක් හෝ සම්බන්ධයක් නැතිව ස්වාධීනව ගමනක් ආ චරිතයකි.
කිංග් ඛාන්ගේ ලව් ස්ටෝරි එක එකතකට පිවිතුරු වූවකි. එදා ‘ගෞරී’ ඔහුට මුලින්ම හමුවූයේ සාදයකදීය. කාන්තාවන් සමග කතා කිරීමට මැළිවූ එවකට 18 වැනි වියේ පසුවූ ඛාන් එදා ගෞරී නර්තනයේ යෙදෙන අයුරු දුටුවේය. ‘මාත් එක්ක නටන්න එන්න පුළුවන්ද’ හිත ගිය තැන මාළිගාව මැවී තිබූ ඛාන් එදා ගෞරී හට එලෙස ඇරියුම් කළේය.
පසුව එයා කවරු එනකල්ද බලා ඉන්නේ යැයි ඛාන් තම මිතුරාගෙන් විමසීය. එයාගේ කොල්ලා එනකල් වෙන්නැති මිතුරා කීය. නමුත් එදා ගෞරි හිටියේ සාදයෙන් පසුව අයියා ඇයව රැගෙන යාමට එනතෙක්ය. මේ ආදර කතාව ගැන වෙනම ලිවිය යුතුවේ. ඒ තරම් දිගය. දැන් ඔවුන් විවාහ වී දශක තුනක් ගතවී තිබේ. පුතුන් දෙදෙනකු සහ දියණියක මේ තරු රජ යුවළ සතුය. ‘ෂාරුක්’ වඩා සාර්ථක චරිතයක් වන්නේ ශක්තිමත් විවාහ දිවියක් ගත කරන නිසා යැයි බොහෝ දෙනා කියති.
ෂාරුක්ගේ ව්‍යාපාර
කිංග් ඛාන් හට මහා මුදල් සාගරයක් මැවෙන්නේ බොලිවුඩ් රංගනයට අමතරව, රූපවාහිනී රියැලිටි වැඩ සටහන් මෙහෙයවීම, දැන්වීම්වලට පෙනී සිටීම, අලෙවි ප්‍රවර්ධන කටයුතුවලට දායකවීම ආදී බොහෝ දේ නිසාය. Red Chillies එන්ටර්ටේන්මන්ට් යනු 'Motion picture production company' එකකි. ෂාරුක් එහි සම සභාපතිය. අයි.පී.එල්. තරගාවලියේදී ශූරතාවය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් හි සම හිමිකාරිත්වය දරන්නේ ජුහී චව්ලා සහ ජේ මේතා සමගය. 2009 දි කොල්කටා Knight රයිඩර්ස්හි සන්නාම වටිනාකම ඩොලර් මිලියන 75.9ක් පමණ විය. ලොව ධනවත්ම ක්‍රීඩා කණ්ඩායමක් ලෙස එය නම් කළ හැකිය. ෂාරුක් යනු ක්‍රිකට් පිස්සෙකි. කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ට්‍රින්බාගෝ Knight රයිඩර්ස් හි හිමිකාරිත්වය දරන්නේද ඔහුය. ෂාරුක් ඉන්දියාවේ ක්‍රිකට් වෙනුවෙන් යහමින් මුදල් ආධාර උපකාර කළ අයෙකි. ලොව පුරා විවිධ ප්‍රසංගවලට සහභාගි වෙමින් ඔහු ඉපැයූ ධනයද ඉතා විශාලය. තව තව බොහෝ ව්‍යාපාර හා සම්බන්ධවීම නිසා ඔහු හට ලැබෙන මුදල සමඟ 2020 වනවිට සමස්ත දළ වත්කම ලෙස සඳහන් වූයේ ඩොලර් මිලියන 600ක පමණ විශාල අගයකි.
හැබැයි එකක් මතක තබාගන්න ‘ෂාරුක්’ යනු සමාජ සත්කාර හා පුණ්‍යාධාර වෙනුවෙන්ද අත දිගහැර වැය කරන චරිතයකි.
ෂාරුක්ගේ සුපිරි ජීවිතය
බොලිවුඩයේ අග රජු වූ කිංග් ඛාන්ගේ වාසනාවන්ත අංකය ලෙස ‘555’ යොදා ගැනීම විශේෂත්වයකි. ඔහු සතු ෆෙරාරි, හාලි ඩේවිඩ්සන් ඇතුළු සුපිරි මෝටර් රථ සඳහාද එලෙසින් අංක යොදා ගෙන ඇත. ලෝ ප්‍රකට අත් ඔරලෝසු නාමයක් වන ටැග්හුවාර් සහ තවත් වෙළෙඳ නාම සඳහා පෙනී සිටීම නිසා ඛාන් ලබන මුදල නම් ඉතා විශාල බව කිව හැකිය.
ෂාරුක් හට මුම්බායි නුවර මන්දිරයට අමතරව ඩුබායිහි මන්දිරයක් මෙන්ම ලන්ඩනයේ ධනවතුන් ප්‍රභූන් වෙසෙන මිල අධික පාක් ස්ට්‍රීට්හි සුපිරි නිවසක් ඇති වග සඳහන්වේ. භාරතයෙන් පිදෙන ‘පද්ම ශ්‍රී’ ගෞරවණීය සම්මානයෙන් පුද ලද ෂාරුක් හට ප්‍රංශ රජයෙන්, බ්‍රිතාන්‍යයෙන්, දකුණු කොරියාවෙන්, මලයාසියාවෙන් පුරවැසියකු හට හිමිවිය යුතු ඉහළම සම්මාන පිරිනමා ඇත. එංගලන්තයේ බෙඩ්ෆෝර්ඩ්ෂයර් සරසවිය ඔහුට ආචාර්ය උපාධියක් පිරිනමා තිබේ. දැන් ඔහු නිකම්ම ෂාරුක් නොවේ. ආචාර්ය ෂාරුක් ඛාන්ය. සුප්‍රකට යේල් සරසවිය විසින් ගෞරව ලද එකම තරුව ඔහුම වෙයි.
‘ෂාරුක්ගේ ‘55’ වැනි උපන් දිනය නොබෝදා යෙදී තිබුණු අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔහුට ගෞරව කළේ ලොව ඉහළම පුරවැසියකු හට කරන ගෞරවයක් සේ සළකමිනි. මුළු බර්ජ් කලිෆා කුළුණ ෂාරුක්ගේ රුවින් වර්ණවත් කරමින් ඔහු මවිතයට පත් කරමින්ය. ෂාරුක් යනු 'UN' එකේ ගෞරව සම්මානයට පවා පාත්‍ර වූ තරුවකි. 2008 දී නිව්ස්වීක් සඟරාව සඳහන් කළේ ෂාරුක් ලොව බලවත්ම පුද්ගලයින් 50 දෙනා අතරට අයත් බවය.
සඳුන් ගමගේ