රාජ් කුන්ද්‍රාගේ පළමු ප්‍රේමය යළි මතුවෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අන්තර්ජාලය ඔස්සේ කරන ලද අසභ්‍ය චිත්‍රපටි ජාවාරමක මහ මොළකරු බවට චෝදනා කරමින් කෝටිපති ව්‍යාපාරික රාජ් කුන්ද්‍රා මුම්බායි පොලීසියේ අපරාධ අංශය මඟින් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබූ බැව් හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. 
“අසභ්‍ය චිත්‍රපටි නිෂ්පාදනය කර ඇප් හරහා බෙදා හැරීමේ ජාවාරමක් තියෙනවා කියලා පොලීසිය එළිදරව් කර ගත්තෙ පෙබරවාරි මාසෙ.. මේකට අදාළව පරීක්ෂණ කටයුතු දිගටම සිදු වෙමින් තිබුණෙ.. මෙහි මහ මොළකරු රාජ් කුන්ද්‍රා කියලා ඔප්පු කරන්න සාක්ෂි හොයා ගත්තට පස්සෙ ඔහු ඇතුළු නව දෙනෙක් අත්අඩංගුවට ගත්තා..”
පොලිස් ප්‍රකාශකයෙක් පැවසුවේය. 
මේ සම්බන්ධයෙන් පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගත් නිරූපිකාවක හා නිළියක වන ගෙහානා වාසිස්ත්ගෙන් ලද තොරතුරු මත උමේෂ් කමට් අත්අඩංගුවට ගන්නට පොලීසියට හැකි වී තිබිණි. ඔහු සේවය කරන්නේ රාජ් කුන්ද්‍රාගේ එක්සත් රාජධානියට සම්බන්ධ ව්‍යාපාරික ආයතනයක සම්බන්ධීකාරක වශයෙනි. අසභ්‍ය වීඩියෝ වාසිස්ත් ගෙන් ලබා ගන්නා ඔහු ඒවා එහි යවන අතර ඒවා අප්ලෝඞ් කර බෙදා හරින්නේ හොට්ෂොට්ස් නමැති ඇප් එක හරහා බැව් පොලිසිය පැවසුවේය. 
පෙබරවාරි 4 දා පොලීසියට ලැබුණු ඔත්තුවක් මත මාධ් ප්‍රදේශයේ මන්දිරයක් වටලනු ලැබිණි. එහි සිටි තරුණතරුණියන් පිරිස පැවසුවේ කෙටි චිත්‍රපටි සහ වෙබ් චිත්‍රපටිවල චරිත ලබා දෙන බැව් කියමින් ඔවුන් මෙහි කැටුව ආ බවය. එහෙත් බලෙන්ම ඔවුන් යොදවනු ලැබුවේ අසභ්‍ය චිත්‍රපටිවල රඟපෑමටය. මේ චිත්‍රපටිවල අධ්‍යක්ෂ, ඡායාරූප ශිල්පී ඇතුළු පිරිසක් ද, ලක්ෂ පහ හමාරක් පමණ වටිනා කැමරා උපකරණ ද පොලිස් බාරයට පත් වූයේය. 
පසු ගිය දිනවල රාජ් කුන්ද්‍රා මාධ්‍ය තුළ පුවත් මැවූ අයෙකු බවට පත් වූයේ ඔහුගේ පළමු බිරිඳ කවිතා නිසාය. රාජ් 2006 දී ඇය දික්කසාද කළේය. 2007 දී ඇය මාධ්‍යයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක වීඩියෝවක් නැවතත් මතු වී සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරණය වූයේය. එම වීඩියෝවේ ඇය කියා තිබුණේ රාජ්ගේත්, තමාගේත් දික්කසාදයට වග කිව යුත්තේ ශිල්පා ෂෙට්ටි බවය. 
“ඒ දෙන්නා එකට ගත්ත පොටෝ දැක්කම මට හිතුණා මෙයා මේ ඉන්නෙ මම ඉන්න ඕන තැන නේද කියලා.. අපේ විවාහ ජීවිතයේ පුංචි පුංචි ගැටුම් තිබ්බා තමයි.. මම ඒවා අමතක කරලා දාලා සුබවාදී විදියට ජීවිතය දිහා බලන්න පටන් ගත්තත් රාජ් හැම වෙලාවෙම ශිල්පා ගැන කතා කරන්න පටන් ගත්තා.. එයා හැසිරුණේ අපි දෙන්නගෙ විවාහ ජීවිතේට මොනවා වුණත් කමක් නෑ මම ඔයාට වැඩිය හොඳ, ප්‍රසිද්ධ, දක්ෂ කෙනෙක් හොයා ගත්තා කියනවා වගේ.. එයා හැම වෙලාවෙම දික්කසාදය ගැනම කතා කරන්න පටන් ගත්තා.. මං ඇහැව්වා වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න ඔයාගෙ අදහසක් තියෙනව ද කියලා.. ඒත් එයා ප්‍රශ්නෙ මඟෑරියා..”
කවිතා විසින් කරන ලද එම ප්‍රකාශය ශිල්පා ගේ සිත කළඹන්නට සමත් වූයේය. 
“කවිතගෙයි රාජ්ගෙයි විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇති වෙලා තිබ්බෙ මම රාජ්ව දැනඅඳුනා ගන්න හුඟක් කාලෙකට ඉස්සර..  ඒක හොඳටම දැනගෙන තමයි කවිතා මෙහෙම කියලා තියෙන්නෙ.. මම රාජ්ව අඳුන ගත්තෙ ව්‍යාපාරික කටයුත්තක් නිසා.. ඒ වෙනකොටත් ඔහු දික්කසාදයට සූදානම් වෙමින් ඉඳලා තියෙන්නෙ..” 
ශිල්පා මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ එසේය. 
කවිතා ගේ ප්‍රකාශයෙන් ශිල්පාට හා ඇගේ පවුලේ අයට සිදු වූ අවමානය වෙනුවෙන් රාජ් කුන්ද්‍රා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබිණි.
ශිල්පා සහ රාජ් විවාහ වූයේ 2009 දීය. මේ වන විට ඔවුන් ඉතා සාර්ථක යුග දිවියක් ගත කරමින් සිටින අතර දරු දෙදෙනෙකුගේ දෙමව්පියන් ද  වී හමාරය. අවුරුදු 11 ක් තිස්සේ යටපත් කර දමන ලද අතීතය නැවතත් මතු වූයේ 2021 ජූනි 8 දාට යෙදුණ ශිල්පා ගේ 46 වන උපන් දිනයෙන් දින කිහිපයකට පසුවය. කවිතා වීඩියෝව සම්බන්ධයෙන් මාධ්‍යයට කරන ලද ප්‍රකාශයක් ද රසබර ප්‍රවෘත්තියක් බවට පත් වී තිබිණි. ඉන් රාජ් බලවත් සිත් තැවුලට පත් වූයේය. 
“මායි කවිතයි දික්කසාද වෙලා දැනට අවුරුදු පහළොවක්.. මේ අවුරුදු පහළොවේම මම එයාට විරුද්ධව වචනයක්වත් කීවෙ නෑ.. ඒත් මට දැන් හිතෙනවා ඉවසුවා ඇති කියලා.. ඇත්තටම කවිතයි මායි දික්කසාද වුණේ ශිල්පා හින්දා නෙමෙයි කවිතා මගේ නංගිගෙ සැමියා එක්ක පවත්වපු සම්බන්ධෙ මගෙ අතට අහු වුණ හින්දා.. කවිතයි මගෙ මස්සිනයි එකිනෙකාට හුඟක් සමීපයි කියලා මම දැනගෙන හිටියෙ.. මම ව්‍යාපාර කටයුතුවලට එහෙමෙහෙ ගියාම දෙන්නා හම්බ වෙනවා කියලා දැනගෙනවත් මම ඒ දෙන්නව සැක කළේ නෑ.. ඇත්තටම මම පවුල් දෙකේම අයට එක වගේම සැළකුවේ.. ඒත් කවිතා එහෙම නෙමෙයි.. හැම වෙලාවෙම මගෙ පවුලේ කවුරු හරි එක්ක රණ්ඩු වුණා.. මස්සිනාට විතරයි වෙනසක් කළේ නැත්තෙ..  මගේ පවුලේ අය විතරක් නෙමෙයි මගේ රියැදුරා පවා කිව්වා මේ දෙන්න අතරේ මම හිතනවට වැඩිය වෙනස් සම්බන්ධයක් තියෙන්නෙ කියලා.. ඒත් මම කොහොමද මගේ බිරිඳ සැක කරන්නෙ..? ඒ අතරේ මට කවිතා හොරෙන් පාවිච්චි කරපු ජංගම දුරකථනයක් හම්බ වුණා.. ඒකෙ තිබ්බ මගෙ මස්සිනාට යැව්ව පණිවිඩ දැක්කම මම එහෙම පිටින්ම කඩා වැටුණා.. ඇත්තටම මට හිතා ගන්න බැරි වුණා කවිතා කොහොමද මට එහෙම දෙයක් කළේ කියලා.. එයා පවුල් දෙකක්ම කඩලා දැම්මා.. මම ඇඬුවා.. ඇඬුවා.. අන්තිමට මගේ නංගිට කතා කරලා සිද්ද වෙලා තියෙන දේ කියලා කවිතව ඉන්දියාවෙ එයාගෙ ගෙදරට ඇරලුවා.. එතනින් හැමදේම ඉවර වුණා..” 
රාජ් කුන්ද්‍රා කියා තිබිණි. 
“මම කවිතට සැළකුවේ මගේම අක්කට වගේ.. අපි දෙන්නා ඕනම දෙයක් කතාබහ කරන්න තරම් ළං වෙලා හිටියෙ.. මම එයාව හුඟාක් විශ්වාස කළා.. ඒ හින්දම මේ සිද්ධිය දැන ගත්තට පස්සෙ මගෙ හිත කෑලිවලට බිඳිලා ගියා..”
එසේ කියා තිබුණේ රාජ් ගේ සොයුරිය රීනාය. ඇය ද සිය ද්‍රෝහී සැමියාගෙන් දික්කසාද වූවාය. 
රාජ් සහ කවිතා දික්කසාද වන විට ඔවුන්ගේ දියණිය දීලිනාගේ වයස මාස දෙකක් වූයේය. ඇය තමන් භාරයට ගන්නට රාජ් මොන තරම් උත්සාහ කළත් එය කළ හැකි වූයේ නැත. 
“කවදා හරි දවසක එයා මං ළඟට එනවා කියලා මම දන්නවා..” ඔහු කියන්නේය. 
එහෙත් මේ වන විට 15 හැවිරිදි යුවතියක වී  සිටින දීලිනා වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටි නිෂ්පාදනය කරන්නට උඩගෙඩි දෙන සිය පියා වෙතට එන්නට කැමැත්තක් නොදක්වනවා ඒකාන්තය.
සිය බිරිඳ වන ශිල්පා ෂෙට්ටිට ඉතා වටිනා තෑගි දීම පිළිබඳව රාජ් කුන්ද්‍රා ප්‍රසිද්ධියක් උසුලන්නේය. ඔහු ඇයට විවාහ යෝජනා කර තිබුණේ ද කැරට් පහේ දියමන්ති මුදුවක් පළඳවමිනි. එහෙත් මේ අපකීර්තිමත් ත්‍යාගය නම් ඇයට පිළිගන්නට නොහැකි වනු ඇතැයි ඔවුන්ට සරදම් වශයෙන් කියන්නෝ ද සිටිති.  

චන්දි කොඩිකාර

 



More In Hot Story