බ්ම්ලා දේවි වෙනුවෙන් තරබාරු වුණ නිම්රත්
නිම්රත් කවුර් ඉපදුණේ 1982 මාර්තු 13 දා රාජස්තානයේ පිලානිහි සික් පවුලකය. ඇගේ පියා යුද හමුදා නිලධාරියෙකු වූ අතර 1994 දී ඔහු කාශ්මීර් ත්රස්තවාදීන් විසින් පැහැරගෙන මරා දමනු ලැබිණි. ඉනික්බිතිව ඇගේ මව, නිම්රත් සහ නැගණිය රූබිනා දිල්ලියේ තදාසන්න ප්‍රදේශයක පදිංචියට ආහ. දිල්ලි පොදු පාසැලින් ඉගෙනුම ලැබූ ඇය ශ්‍රී රාම් විශ්ව විද්‍යාල කොලීජියට ඇතුළත් වී වාණිජ අංශයෙන් උපාධිය ලබා ගත්තාය.
ඇය ක්ෂේත්රයට පිවිසියේ නිරූපිකාවක ලෙසිනි. පසුව වේදිකා නාට්‍යවලට එක් වූවාය. බැග්ඩෑඩ් වෙඩින්, ඕල් අබවුට් විමෙන්, රෙඩ් ස්පැරෝ ආදිය ඒවායින් කිහිපයකි. ඇය අනුරාග් කාශ්‍යප් ගේ පෙඩ්ලර්ස් චිත්‍රපටියේ රඟ පෑවේ හින්දි චිත්‍රපටි කිහිපයක රඟ පෑමෙන් අනතුරුවය. ඇය රසිකයන් අතර නම රඳවා ගත්තේ එම චිත්‍රපටියෙනි. ද ලන්ච් බොක්ස් චිත්‍රපටියේ ඇය රඟ පෑ චරිතයට සම්මාන ද ලැබිණි. 2016 එයාර්ලිෆ්ට් චිත්‍රපටියේ රඟ පෑවාට පසුව කලක් නිහඬව සිටි ඇය 2022 දී දාස්වි චිත්‍රපටියෙන් නැවත කළඑළි බැස්සාය. නිසි අධ්‍යාපනයක් නොලත් දේශපාලනඥයෙකු වටා ගෙතුණ කතාවක් සහිත මේ චිත්‍රපටියේ අභිෂේක් බච්චන් සහ යාමි ගෞතම් ද රඟ පාන්නීය. නිම්රත් රඟ පාන්නේ බිම්ලා දේවි නම් වන මහ ඇමතිවරියක ලෙසිනි.
බිම්ලා දේවි චරිතය රඟ පෑම සඳහා ඇයට කිලෝ ග්‍රෑම් පහළොවකින් බර වැඩි කර ගන්නට සිදු වූයේය. තරබාරු බව නිසා සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් සරදමට ලක් වෙන්නටත් සිදු වූයේය. එහෙත් ඇය චිත්‍රපටියේ රඟ පෑම අවසන් වුණාට පසුව බර අඩු කර ගත්තා පමණක් නොව තරබාරු කාලයේ සහ ඊට පසු ගත් ඡායාරූප දෙකක් සංසන්දනය කරමින් පළ කර තිබිණි. එය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූයේය.
“ඔබ 2016 න් පස්සෙ චිත්‍රපටියක දකින්නට ලැබුණේ නෑ.. සෑහෙන කාල පරතරයක් ඇතුව රඟ පෑවත් දාස්වි චිත්‍රපටියට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා කියලා දැන ගන්නට ලැබුණා..”
ඇය සමඟ සංවාදයක යෙදුණ මාධ්‍යවේදියෙකු පැවසීය.
“ඔව් ඇත්තටම මිනිස්සු බොහොම ආදරෙන් වගේම උණුසුම් විදියට දාස්වි පිළි ගත්තා.. ලැබුණ ප්‍රතිචාරත් ඉතා අන්ර්ඝයි..”
“එච්චර කාලයක් ඔබ ක්ෂේත්රයෙන් ඈත් වෙලා හිටියෙ ඇයි..?” මාධ්‍යවේදියා ඇසීය.
“මම මාස හයකට කොලොම්බියාවට ගියා.. ඊට ටික කාලෙකට පස්සෙ මට හෝම්ලන්ඩ් ටෙලි නාට්‍යයේ රඟ පාන්න අවස්ථාව ලැබුණා.. ඒක ඇමෙරිකාවේ ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවක් ඒ වගේ ටෙලි නාට්‍යයක රඟ පානකොට දීර්ඝ කාලයක් ඒ රටේම රැඳිලා ඉන්න සිද්ද වෙනවා.. එතකොට මේ රටේ අපිට තියෙන අවස්ථා ගිලිහිලා යනවා.. කවුරුවත් අපි එනකම් චිත්‍රපටි තියාගෙන බලා ඉන්නෙ නෑනෙ.. සෑහෙන කාලෙකට පස්සෙ ආපහු ආවම අවස්ථාවක් ලබා ගන්නත් පහසු වෙන්නෙ නෑ.. ඒ හින්දා කෂේත්රයෙන් හුඟක් කල් ඈත් වෙලා ඉන්න හොඳ නෑ කියන පාඩම මම ඉගෙන ගත්තා..” නිම්රත් පැවසුවාය.
කෙනෙකු ගේ පෙනුම, පාට, ස්වභාවය මෙබඳු විය යුතුයයි මනින්නට මිම්මක් නැත. ඇතැම් දේවල් ඔවුන්ට ස්වභාවයෙන්ම උරුම වෙන ඒවාය. ඇතැම් දේවල් ඔවුන් වෙනස් කරගෙන තිබෙන්නේ කුමක් හෝ හේතුවක් නිසාය. ඒවා උපහාසයට ලක් කළ යුතු දේවල් නොවේ. කෙනෙකුගේ ශාරීරික ස්වභාවය සරදමට ගැනීමට පෙර තමන් ඒ තත්වයට පත් වුවහොත් දැනෙන්නේ කෙසේදැයි සිතා බැලීම යහපත්යයි නිම්රත් කියන්නීය.