පලාෂ් දත්තා කියන අමුතු කතාවක්
“ඔව්.. මම සමරිසියෙක්.. මම මේ සමරිසි අභිමානය සමරන ජූනි මාසයේදී ඒ බව ප්‍රසිද්ධියේම පිළි ගන්නවා.. මං හිතන්නෙ බොලිවුඩයේ ප්‍රධාන පෙළේ සමලිංගික නළුනිළියන් අතරින් ඒ බව හෙළිදරව් කරපු පළවෙනි නළුවා මම.. ඇත්තටම මේක තමන්ගෙ පෞද්ගලිකත්වය තමයි.. ඒත් ඒක ප්‍රසිද්ධ කරන්නෙ අපිට අපි හැටියටම ඉන්න ඉඩ ලබා ගන්න.. අපිටත් සමාන අයිතිවාසිකම් වුවමනා බව පෙන්නලා දෙන්න..”
බොම්බේ ටයිම්ස් වෙබ් අඩවියේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් එසේ පැවසුවේ පලාෂ් දත්තාය. නළුවෙකු මෙන්ම නළුනිළියන් සිනමාවට හඳුන්වා දීමේ සම්බන්ධීකාරකයෙකු ද වන පලාෂ් සිනමාවට පිවිසියේ මීට දශක දෙකකට පෙරාතුවය. ඒ මොහබ්බතීන් චිත්‍රපටියේ සහාය චරිතයක් රඟ පාමිනි.
“ඇත්තටම මේ වෙනකොටත් මගේ ලිංගික හැසිරීම් පිළිබඳ පුවත හෙළිදරව් කළ යුතුම ද, නැද්ද කියන දෙගිඩියාවේ මම ඉන්නවා.. ඒත් මං ගැන නිශ්චය කර ගන්න ඕන චරිතාංග නළුවෙක් විදියට මගේ සාර්ථකත්වය පදනම් කරගෙන මිසක් කාමර ඇතුළේ මං කරන දේවල් පදනම් කරගනෙ නෙමෙයි.. මගේ පෞද්ගලිකත්වයෙන් මගේ වෘත්තියට කිසිම බාධාවක් වෙන්නෙ නෑ.. ඉස්සර මිනිස්සු හිතුවෙ සමලිංගිකයන් කියන්නෙ අමුතු සත්ව කොට්ටාශයක් කියලා.. ඒත් දැන් අධ්‍යාපනය, දැනුවත්භාවය, නීතිමය සහයෝගය ආදිය නිසා මේවා සාමාන්‍ය ලිංගික සම්බන්ධකම් කියලා අවබෝධ කර ගන්න හුඟක් දෙනෙකුට හැකි වෙලා තියෙනවා..” ඔහු කියා තිබිණි.
පලාෂ් ක්ෂේත්රයට පිවිසි මුල් කාලයේ එනම් 80 -90 දශකවල සමලිංගිකත්වය යනු තහනම් මාතෘකාවක් වූයේය. එම නිසාම ඔහුට සිය පෞද්ගලිකත්වය වෘත්තියට හරස් වෙනු වළක්වා ගන්නට සෑහෙන උත්සාහයක් ගන්නට සිදු වූයේය.
“මගේ ක්ෂේත්රයේ අයයි, මගේ ලිංගික ආශාවනුයි අතරේ තාප්පයක් බැඳගෙන වුණත් සාමාන්‍ය විදියට ජීවත් වෙන්න මට පුළුවන් වුණා.. බොලිවුඩය කියන්නෙ සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට සහයෝගය ලබා දෙන, ඔවුන් පිළි ගන්නා ක්ෂේත්රයක්.. ඒත් ඔවුන් වැඩි දෙනෙක් සීමා වෙලා ඉන්නෙ වේශ නිරූපණ, මෝස්තර නිරූපණ, නර්තන, පිටපත් රචක වගේ ක්ෂේත්රවලට විතරයි.. මම හිතන්නෙ එහෙම එකම ක්ෂේත්රයකට සීමා වෙන්න ඕන නෑ.. සමහර වෙලාවට නළුවන්ට ලැබෙන්නෙ ඔවුන්ගෙ පෞද්ගලිකත්වය ඉස්මතු වෙන විදියෙ චරිත.. එහෙම නොකර ඔවුන්ගෙ දක්ෂතාවට තැන දෙන්න ඕන.. බටහිර රටවල එහෙම නෑ.. ප්‍රධාන පෙළේ නළුනිළියන් අතරේ සමරිසි අය හුඟක් ඉන්නවා..” ඔහු කියන්නේය.
බොහෝ දෙනෙකු මේ වන විට සමරිසි සම්බන්ධතා යනු අපරාධයක් නොවන බව පිළි ගෙන තිබේ. එම නිසා ඔවුන්ට සිය අනන්‍යතාව පවත්වාගෙන යන්නට, සමාජයේ අවමානයට ලක් නොවී ජීවත් වෙන්නට හැකි වීම අභිමානයක් ලෙස ඔවුහු සළකති. ඔවුන් ඉල්ලා සිටින්නේත් එපමණකි.
සමරිසි අභිමානය ජූනි මාසයට යෙදීම පසුපස ඇත්තේත් අපූරු කතාන්දරයකි. නිව්යෝර්ක් නගරයේ, ග්‍රීන්විච් ප්‍රදේශයේ ක්‍රිස්ටෝපර් වීදියේ සමරිසින්ට වෙන් වූ අවන් හලක් තිබිණි. එය හැඳින්වුණේ ස්ටෝන්වෝල් ඉන් යනුවෙනි. 1969 ජූනි මාසයේ දිනෙක ඔවුන් කණ්ඩායමක් එහි රැස් වී විනෝද වෙමින් සිටියදී පොලීසිය විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී. එම ම්ලේච්ඡ ප්‍රහාරය සිහිපත් කිරිම සඳහා ඔවුහු 1970 වසරේ ජූනි මාසයේදී නිව්යෝර්ක් නගරයට රැස් වූහ. තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටින්නට ඔවුන් සටන් වැදුණේ එදා සිටය. මේ වන විට බොහෝ රටවල සමරිසි සම්බන්ධතා නීතියෙන් පිළි ගෙන තිබෙන්නේ ඒ සටන්වල ප්‍රතිඵලයක් ලෙසිනි.