පකිස්තානයට පැරදුණ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ගැන නළු නිළි අදහස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විස්සයි විස්ස ලෝක කුසලාන සුපිරි 12 ප්‍රථම තරඟයේදීම ඉන්දියාවට එරෙහිව කඩුලු දහයක විශිෂ්ට ජයක් වාර්තා කරන්නට පකිස්තානය සමත් වූයේය. සැබැවින්ම එය ඓතිහාසික ජයග්‍රහණයකි. ඉන්දියාවේ මෙන්ම පකිස්තානයේ ද ක්‍රිකට් ලෝලීන් ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ අතුරුසිදුරු නැතිව පිරී සිටියේ කොවිඩ් වසංගතය ගැන පවා අවධානයක් යොමු කරන්නේ නැතිවය. ජනප්‍රිය නළුනිළියන් වන ආක්ෂේ කුමාර්, ප්‍රිති සින්තා සහ උර්වාශි රවුටෙලා ද ඒ අතර වූහ. උර්වාශි සිටියේ ඉන්දියානු ජාතික කොඩිය වනමින් ක්‍රීඩකයන්ට ජය පතමිනි. ආක්ෂේ කුමාර් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා සමඟ ක්‍රිඩාගාරයේ වාඩි වී තරඟය නරඹමින් සිටියේය. සිය සැමියා ජිනේ ගුඩ්ඉනෆ් සමඟ ක්‍රීඩාගාරයේදී ගන්නා ලද ඡායාරූපයක් ප්‍රීති සින්තා සිය ඉන්ස්ටර්ග්‍රෑම් අඩවියට එක් කර තිබිණි. ඉන්දියානු ජාතික ධජයේ වර්ණයන්ගෙන් සැදි අවානක් ද ඇය අතේ තිබිණි. ජනප්‍රිය තෙළ`ිගු නළු වරුන් තේජ් ද ක්‍රීඩාගාරයේ සිටිනු දකින්නට ලැබිණි. අන්කිතා ලෝක්හැන්දේ තරඟය නරඹන්නට පැමිණ සිටියේ ඇගේ පෙම්වතා විකී ජායින් සමඟය. නීනා ගුප්තා, සෝහා අලි ඛාන්, අර්ජුන් බිජ්ලානි, තාප්සී පන්නු, රී චක්‍රබෝර්ති ආදීන් තමන් නිවෙස්වල සිට තරඟය නරඹන බැව් සමාජ ජාලා වෙබ් අඩවිවල පළ කර තිබිණි. 

“පවුලේ ප්‍රශ්නය නොවෙන්න ෂාරුක් ඛාන් නොවරදවාම මේ තරඟය බලන්න එන්න තිබ්බා..”

ෂාරුක් ගැන දන්නා ක්‍රිඩා ලෝලීහු එසේ කීහ. මත් ද්‍රව්‍ය චෝදනාවකට අත් අඩංගුවට ගන්නා ලද ෂාරුක් ගේ පුතු ආර්යන් ඒ වන විටත් සිටියේ රක්ෂිත බන්ධනාගාරයේය. ෂාරුක් ගේ මුදල් බලයෙන් හෝ ජනප්‍රියත්වයේ බලයෙන් ඔහු ඉක්මනින්ම නිදහස් කරවා ගන්නට හැකි වෙනු ඇතැයි සියල්ලෝම බලාපොරොත්තු වූහ. එහෙත් ඔහුගේ ඇප අයැදුම පහළ උසාවියෙන් ප්‍රතික්ෂේප වූ බැවින් එය ඉහළ උසාවියට ඉදිරිපත් කරනු ලැබිණි. එය විභාග කරන්නට නියමිතව තිබුණේ ඔක්තෝබර් 26දාය. මෙවන් පසුබිමක ෂාරුක්ට   ක්‍රිකට් තරඟයක් නැරඹීමට තබා එවැන්නක් ගැන සිතීමටවත් නොහැකි වීම පුදුමයක් නොවේ. 

ඩුබායිහිම සිටි සමහර නළුනිළියන් නිවසට වී රූපවාහිනියෙන් තරඟය නැරඹූ බැව් දැන ගන්නට ලැබිණි. 

පකිස්තානය පරදවා ඉන්දියාව ජය ගන්නා අයුරු බලන්නට ඔවුන් සියල්ලෝම සැදීපැහැදී සිටියහ. 

එහෙත් ක්‍රිකට් යනු අනාවැකි බොරු කරන්නට සමත් එහෙම පිටින්ම අවිනිශ්චිත ක්‍රීඩාවක් බැව් සියල්ලන්ටම පසක් කරන්නට එම තරඟයට හැකි වූයේය. කාසියේ වාසිය දිනූ පකිස්තාන් පිල මුලින්ම පන්දු රකින්නට තීරණය කළේය. ඉන්දියානු ඉනිම කඩුලු හතකට ලකුණු 151 ක් වශයෙන් නිමා කරන්නට පකිස්තානුවෝ සමත් වූහ.  මුල් පන්දු ඕවර තුනේදී ආරම්භක ක්‍රීඩකයෝ දෙදෙනාම දැවී ගියහ. නායක විරාත් කෝලි ලකුණු 57ක් ලබා ගත්තේය.  

පිත්තෙන් දස්කම් දක්වන්නට නොහැකි වුවත් පන්දුවෙන් එය කළ හැකි වෙනු ඇතැයි ඉන්දියන් කණ්ඩායම සිතන්නට ඇත. එහෙත් එය ඉටු නොවූ බලාපොරොත්තුවක් පමණක්ම වූයේ පකිස්තාන පිලේ ආරම්භක පිතිකරුවන් වන බබර් අසාම් සහ මොහමඩ් රිස්වාන් ප්‍රවේගකාරී පිති හරඹයක නිරත වෙමින් කඩුලු නොදීම තරඟය නිමා කළ නිසාය. ක්‍රීඩා ලෝලීහු බලවත් දොම්නසට පත් වූහ. එය වඩාත්ම තියුණු වූයේ පරාජය ලැබුණේ පකිස්තානය වෙතින් වීමය. ඔවුහු සිය ආවේගශීලී හැඟීම් සමාජ ජාලා වෙබ් අඩවි හරහා මුදා හැරියහ. සමහරු මේ දොස් පැවරීම් හෙළා දුටහ. ප්‍රීති සින්තාත් සිටියේ කිසිසේත්ම කණ්ඩායමට දොස් නොපැවරිය යුතුයයි මතයේය. 
“දිනුම පැරදුම දෙකම තරඟයකට පොදුයි.. දක්ෂ කණ්ඩායම දිනනවා.. ඒ වගේම එකම කණ්ඩායමට හැමදාම ජයග්‍රහණය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් හොඳ නෑ.. පරුෂ වචනවලින් ක්‍රිඩකයන්ට පීඩා කිරීම මම අනුමත කරන්නෙ නැත්තෙ ඒකයි.. ඔවුන් හැමෝම මිනිස්සු..  ඔවුන් තමන්ගෙ ශක්ති ප්‍රමාණයෙන් ක්‍රිඩා කළා..”

මධ්‍යස්ථව එසේ පැවසූ ප්‍රිති පකිස්තාන් කණ්ඩායමට සුබ පතන්නට ද අමතක කර නොතිබිණි. සෝහා අලි ඛාන් ඇතුළු තවත් නළුනිළියන් කිහිප දෙනෙක්ම පකිස්තාන් ජයග්‍රහණයට සුබ පතා තිබිණි. 

හැම දෙනාගේම ඇගයීමට ලක් වූයේ විරාත් කෝලි ගේ නිහතමානී හැසිරීමය. කලහකාරී ක්‍රිඩකයෙකු වශයෙන් ලෝකයම හඳුනන කෝලි තරඟය නිමා වීමෙන් පසුව පකිස්තාන් පිතිකරුවන්ට සුබ පැතුවේ සිනාසී, පිටට තට්ටු කර ප්‍රශංසාවක් ද කරමිනි. 

ඉන්පසුව පැවති මාධ්‍ය හමුවකදී කෝලි විසින් මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නවලට දෙන ලද පිළිතුරු ද ප්‍රශංසාත්මක බැව් නළුවෙකු, නිෂ්පාදකයෙකු මෙන්ම නිරූපණයේ නියැලෙන්නෙකු ද වන අෆ්තාබ් ශිව්දාසනී පවසා තිබිණි. 

ඉන්දියානු පිලේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට බට රෝහිත් ශර්මා තමා මුහුණ දුන් ප්‍රථම පන්දුවේදීම  දැවී ගියේය. රෝහිත් වෙනුවට ඉෂාන් කිෂාන් නොයෙදුවේ මන්දැයි මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය. 

“ඒක හරි එඩිතර ප්‍රශ්නයක් මහත්තයා.. මොකක්ද ඔයා හිතන්නෙ..? මම ක්‍රීඩකයෝ තෝරා ගන්නෙ මට ඕන විදියට.. ඔයා හිටියානම් මොකද කරන්නෙ..? විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයකින් රෝහිත් ශර්මා හලලා දානව ද ..?  ඊට ඉස්සර වෙලා තරඟයක රෝහිත් ක්‍රීඩා කරපු විදිය මතක නැද්ද..?” 

මාධ්‍යවේදියාගෙන් එසේ විමසූ කෝලි සිනාසුණේය. එහෙත් ඒ සතුටට පෑ සිනාවක් නොවන බැව් සියල්ලෝම හැඳින ගත්හ. විවාදයට තුඩු දෙන යමක් වුවමනානම් කලින් තමා දැනුවත් කරන ලෙස ද එවිට තමාට අදාළ ආකාරයට පිළිතුරු දෙන්නට හැකි බව ද  තව දුරටත් කෝලි පැවසුවේ මාධ්‍යවේදියා නිරුත්තර කරමිනි. මේ පළමු තරඟය මිස අවසාන තරඟය නොවන බව ද කෝලි ප්‍රකාශ කර තිබිණි. 
කෝලිගේ මෙම මහත්මා ස්වභායට තමා ගරු කරන බැව් අෆ්තාබ් ගේ ප්‍රකාශයේ සටහන් විණි.

චන්දි කොඩිකාර

 



More In Hot Story