නීනා ගුප්තාගේ දියණිය මසාබා
ප්‍රවීන නිළි නීනා ගුප්තාගේත්, බටහිර ඉන්දියානු කොදෙව්හි පුරාවෘත්ත ක්‍රිකට් ක්‍රීඩක විවියන් රිච්ර්ඞ්ස්ගේත් දියණිය මසාබා ගුප්තා ඇතිදැඩි වන්නේ මවගේ සෙවනේය. දියණිය වෙනුවෙන්වත් කිසිම කෙනෙකු මත්තේ යැපෙන්නට තමා කැමති නොවූ බැව් මෑතකදි මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් නීනා පැවසුවාය. කාගෙන්වත් ආධාර ඉල්ලනවාට වඩා ඕනෑම රැකියාවක් කරන්නට තමා සූදානම් බැව් ඇය කියන්නීය. ස්වාධීනව ජීවත් වෙන්නට ඇය හුරු කරන ලද්දේ ඇගේ මව විසිනි.
“මම අතු ගාන, පිඟන් සෝදන රැකියාවක් වුණත් කරන්න ලෑස්තියි.. ඒත් කවදාවත් කාගෙන්වත් සල්ලිනම් ඉල්ලන්නෙ නෑ.. මගේ යාළුවන්ගෙන් තියා තාත්තාගෙන්, මල්ලිගෙන්වත් මම සල්ලි අරගෙන නෑ.. ” ඇය කියන්නීය.
1980 ගණන්වලදී ඇය විවියන් රිචර්ඞ්ස් සමඟ ප්‍රේමයෙන් බැඳුණාය. එවකට බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමේ නායකයා වූයේ විවියන් රිචර්ඞ්ස්ය. ඉන්දියානු ක්‍රිකට් තරඟාවලියකට පැමිණි ඔහුට නීනා හමු වූයේ මුම්බායි හි පැවති සාදයකදීය. දෙදෙනාගේ කිසිම ගැලපීමක් නොවුණේ වී නමුත් ඔවුන්ගේ සම්බන්ධයට එය බාධාවක් නොවිණි. නීනා විවියන් වෙතින් ගැබ් ගත්තාය. ඒ වන විටත් විවියන් විවාහක දෙදරු පියෙකු වූ බැවින් නීනා විවාහ කර ගන්නට ඔහුට හැකියාවක් තිබුණේ නැත.
ඒ කාලයේ අවිවාහක කාන්තාවක් ගැබ් ගැනීම ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වූයේය. ඇය ජනප්‍රිය තැනැත්තියක ද වූ බැවින් නොයෙකුත් ගැටළුවලට මුහුණ දෙන්නට ඇයට සිදු වූයේය. එහෙත් ඇය දරුවා හදා ගැනීමේ තනි මතයක සිටියාය. දිල්ලි වාසය අත හැර ඇය මුම්බායි ආවේත් දියණිය නිසාමය.
“දරුවෙකුට මොන සැප සම්පත් තිබුණත් අම්මයි තාත්තයි දෙන්නම ළඟ නොඉන්න එක ලොකු අඩුවක්.. මම මගේ දුව ළඟින් හැම වෙලාවෙම හිටියා.. අපි දෙන්නා අතරේ කොච්චර ලොකු බැඳීමක් තිබ්බත් ඇය පීඩා වින්දා කියලා මම දන්නවා..” නීනා කීවාය.
ඒ කාලයේ විවියන් රිචර්ඞ්ස් නිතර නිතර ඉන්දියාවට ආවේය. නීනා සහ දියණීය සමඟ නිවාඩු ගත කරන්නට ද ගියේය.
2008 දී නීනා දිල්ලි වැසියෙකු වූ විවේක් මෙහෙරා නමැති වරලත් ගණකාධිකාරිවරයා සමඟ විවාහ වූවාය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 42 ක් වූයේය.
ගාන්ධි, ද ඩිසීවර්ස්, කස්ටඩි, කොට්න් මේඒ ඇතුළු ජාත්‍යන්තර චිත්‍රපටි කිහිපයක ද, සාත් සාත්, ආදර්ශිලා, උත්සව්, ඇතුළු හින්දි චිත්‍රපටි බොහෝ ගණනාවක ද රඟ පෑ සම්මානනීය නිළියක වන ඇය ටෙලි නාට්‍ය අධ්යක්ෂවරියක ද වන්නීය. සර්දාර් කා ග්රෑන්ඞ්සන් ඇය 2021 රඟ පෑ චිත්‍රපටි අතරින් එකකි.