දීපිකාගේ ආලෝකමත් පවුල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දීපිකා පදුකෝන් මේ වන විට ජනප්‍රියත්වයේ ඉහළම හිණි පෙත්තට පා තබා අවසන්ය. ඇය බොහෝ ප්‍රවේසමින් චිත්‍රපටි තෝරා ගන්නවා පමණක් නොව තමන්ගේ චරිතයට සාධාරණය ඉටු කිරීමට ද වගබලා ගන්නීය. 
 
රසිකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ දීපිකාට ආදරණීය පවුලක් ද තිබේ. තාත්තා, අම්මා, නංගී සහ ඇය අතර ඇත්තේ සුන්දර බැඳීමකි. මේ බැඳීමටම සරිලන ලෙස ඔවුන්ගේ නම්වල අරුත්  ද අපූරු ආකාරයකට සම්බන්ධ වී තිබේ. 
 
දීපිකා යන නමේ තේරුම ආලෝකයයි. ඇගේ තාත්තා ප්‍රකාශ්ය. එය බිඳී විත් තිබෙන්නේ සංස්කෘත වදනක් වන ප්‍රකාශ වෙතිනි. එහි අරුත වන්නේ දීප්තිමත් ආලෝකයයි. ඇගේ අම්මා උජ්ජලාගේ නමේ තේරුම යම් කිසිවක් ආලෝකයෙන් පිරවීමය. ඇගේ නංගී අනීෂාය.  අඳුර දුරු කරන ආලෝකය යන්න ඇගේ නමේ තේරුමයි. සැබැවින්ම එය අරුමයක් නොවන්නේ ද..?
මේ වන විට බොලිවුඩයේ කාර්යබහුලම නිළිය බවට පත් වී ඇත්තේ දීපිකාය. පතාන් චිත්‍රපටියේ ඇය ෂාරුක් ඛාන් සහ ජෝන් ඒබ්‍රහම් සමඟ රඟ පාන්නීය. ෆයිටර් චිත්‍රපටියේ ඇය රඟ පාන්නේ රීතික් රොෂාන් සමඟය. ඇය සහ රිතික් එකට රඟ පාන පළමු චිත්‍රපටිය   වන්නේත් ෆයිටර්ය. ශකුන් භාත්‍රාගේ තවමත් නමක් තබා නැති චිත්‍රපටියේ ඇය අනන්‍යා පාණ්ඩේ සහ සිද්ධාන්ත් චතුර්වේදී රඟ පාන අතර ප්‍රභාස් සහ අමිතාබ් බච්චන් සමඟ රඟ පාන්නේ නාග් අස්වින් ගේ චිත්‍රපටියකය. ද ඉන්ටර්න් නම් හොලිවුඩ් චිත්‍රපටියේ හින්දි නිෂ්පාදනයේ ද ඇය රඟ පාන්නේ  අමිතාබ් බච්චන් සමඟය. මුලින් මේ චරිතය රඟ පාන්නට නියමිතව සිටියේ රිෂි කපූර්ය. ඔහුගේ හදිසි වියෝව නිසා එය අමිතාබ්ට හිමි වූයේය. 
 
කබීර් ඛාන් ගේ 83 චිත්‍රපටිය තිරගත වන තුරු ද දීපිකා නොඉවසිල්ලෙන් බලා සිටින්නීය. ඉන්දියාවේ පුරාවෘත්ත ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව්ගේ චරිතය ඇසුරින් නිර්මාණය වී ඇති එහි ප්‍රධාන චරිතය රඟ පාන්නේ දීපිකා ගේ සැමියා රන්වීර් සිං ය. දීපිකා එහි සහාය නිෂ්පාදිකාවක බැව් වාර්තාවක සඳහන් වී තිබිණි. 
 
සැබැවින්ම බොලිවුඩයේ ආදර කතා අතරින් රසික ප්‍රසාදය ඉහළින්ම දිනා ගත් ආදරණීය යුවළ දීපිකා සහ රන්වීර්ය. ඔවුන් පිළිබඳව කොතෙකුත් කතා කළත් ඔවුන්ට ඇති වීමක් නැත. ඔවුන් මේ යුවළ හඳුන්වන්නේ දීප්වීර් නම් ආදරණීය නාමයෙනි. 
තමා දීපිකාට ආදරය කරන්නට පටන් ගත්තේ දුටු මුල්ම වතාවේ පටන් බැව් රන්වීර් වරක් ප්‍රකාශ කර තිබිණි. ඔහු මුල්වරට ඇය දැක තිබුණේ සිනමා සම්මාන උළෙලකදීය. 
 
“ඇය දැක්ක ගමන්ම මට දැනුණේ මාව සමතලා වෙලා ගියා වගේ හැඟීමක්.. ඇය එදා ඇඳලා හිටියෙ රිදී පාට ගවුමක්..” 
“එච්චර කාලෙකට ඉස්සර දැකපු දෙයක් ඔහොම මතක හිටියෙ කොහොමද..?” මාධ්‍යවේදියෙක් පුදුමයෙන් විමසුවේය. 
“කොහොමද ඒක අමතක කරන්නෙ කියලා අහන්න..”
ඔහු කීවේ සිනාසෙමිනි. 
 
ඔවුන් දෙදෙනා අතර සම්බන්ධය ඇති වූයේ ගෝලියොන් කි රාස්ලීලා රාම්ලීලා චිත්‍රපටියේ රඟ පාද්දීය. එහෙත් එහි දර්ශන තලයේදී ඔවුන්ගේ ආදරණීය හැසිරීම් දුටු බොහෝ දෙනෙක් සිතුවේ ඔවුන්ගේ සම්බන්ධය සෑහෙන කලක් පැරණි බවය. 
 
දීපිකාට කෙටිකාලීන ප්‍රේම සම්බන්ධතා කීපයක්ම තිබූ අතර ඉන්දියාවේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් වන එම් එස් දෝනි සහ යුව්රාජ් සිං ගේ නම් ද ඇගේ නම සමඟ ඈඳී පැවතිණි. ඇය සෑහෙන කලක් ආදරය කළේ රන්බීර් කපූර්ටය. එහෙත් රන්බීර් ඇගේ විශ්වාසය කඩ කර කත්‍රිනා කායිෆ්ට ළං වීම නිසා ඒ සම්බන්ධය කෙළවර වූයේය.
 
රන්වීර් සිං ගේ පාසැල් වියේ පෙම්වතිය වූයේ හේමා මාලිනීගේත්, ධර්මේන්ද්‍රගේත් දෙවන දියණිය අහානා ඩියෝල්ය. එහෙත් කාලයත් සමඟ එම සම්බන්ධය ද අතීතයට එකතු වූයේය. අනුෂ්කා ශර්මා, පරිනීති චොප්රා, සෝනාක්ෂි සිංහා කලින්කලට ඔහුගේ ජීවිතයේ රැඳී උන්හ. 
 
කොතරම් අය ජීවිතයට ආවේ ගියේ වුව ද දීපිකා සහ රන්වීර් සැබෑ ආදරය සොයා ගත්තේ ඔවුනොවුන් තුළිනි. 2013 දී රාම්ලීලා චිත්‍රපටිය තිරගත කෙරිණි. එම වසරේම මාධ්‍ය සාකච්ඡාවකදී දීපිකා කියා තිබුණේ තමා දරුවන් දෙතුන් දෙනෙකු සහිත පවුලක් පිළිබඳව සිහින දකින බවය. 
 
2018 නොවැම්බර් මාසයේදී ඔවුහු ඉතාලියේදී අතිනත ගත්හ.  එහෙත් තමන් දෙදෙනා විවාහ ගිවිස ගත්තේ ඊට අවුරුදු හතරකට පෙර බැව් දීපිකා ප්‍රකාශ කළේ බොහෝ කලකට පසුවය. 
 
“අපි දෙන්නගෙ විවාහ ගිවිස ගැනීම ගැන දැනගෙන හිටියෙ දෙපැත්තෙ දෙමව්පියෝ, සහෝදරියෝ විතරමයි..” ඇය කියා තිබිණි. 
ඔවුන් එකිනෙකාගෙන් වෙන් වු බවට කටකතාවක් පැතිර ගියේ විවාහයට වසරකට පෙරදීය. 
 
“රන්වීර් කියන්නෙ මගෙ ජීවිතේ වැදගත්ම කොටස.. මම කොහොමද ඒ කොටසෙන් වෙන් වෙලා ජීවත් වෙන්නෙ..? ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක්..”
 
එම කටකතාවට පිළිතුරු දෙමින් දීපිකා කියා තිබිණි. 
 
බොලිවුඩයේ බොහෝ පෙම්වතුන් විවාහයට පෙර එකම නිවසක ජීවත් වන්නේ එකිනෙකා වඩාත් හොඳින් හැඳින ගැනීම අරමුණු කරගෙනය. එහෙත් දීප්වීර්ට එසේ කිරීමේ වුවමනාවක් නොවිණි. 
 
“විවාහ ගිවිස ගත්ත දවසෙ ඉඳලම මම විවාහයට ලෑස්ති වෙලා හිටියෙ.. ඒත් දීපිකාට එච්චර ඉක්මනට ලෑස්ති වෙන්න බැරි හින්දා මම ඇයට කල් දුන්නා.. මම කවදාවත් ඇයට බල කළේ නෑ.. ඇගේ නිදහසට මම ගරු කළා..  මේ තමයි මම විවාහ වෙන කාන්තාව.. කවදා හරි මගේ දරුවන්ගෙ අම්මා කියන එක හැම වෙලාවෙම මගෙ හිතේ තිබුණා.. ඊට වඩා වෙන හැඳින ගැනීමක් මොකටද..?”
ඒ සම්බන්ධයෙන් රන්වීර් පැවසුවේ එසේය. 
 
“විවාහයට ඉස්සර එකට ජීවත් වුණානම් ඒකෙ අලුත් දෙයක් නෑ.. විවාහ වෙලා මුල්ම අවුරුද්දෙ එක වහලක් යට ඉඳගෙන අපි කළේ එකිනෙකා වඩාත් හොඳින් හැඳින ගැනීම තමයි.. විවාහයට ඉස්සර එකට ජීවත් වෙලා බලන්න කියලා අපිට පෙළඹවීම් ආවා.. රන්වීර් කිව්වෙ ඔයා කැමතිනම් මට ප්‍රශ්නයක් නෑ.. ඔයාගෙ සතුට තමයි මගෙත් සතුට කියලා.. ඒත් මගෙ දෙමව්පියෝ වගේම මාත් විශ්වාස කළේ හැමදේම සිද්ද වෙන්න ඕන වෙලාවක්, කලාවක් තියෙනවා කියලා.. ඒක ඒ විදියටම වුණා.. දැන් අපි ජීවත් වෙන්නෙ ලොකු තෘප්තියකින්.. ජීවිතේ හැම මොහොතක්ම අපි සතුටින් විඳිනවා..” දීපිකා කියන්නීය. 
 
පසුගිය කාලයේම රසිකයන්ට මෙන්ම ක්ෂේත්‍රයේ අයටත් වුවමනා වී තිබුණේ ඔවුන් දෙමව්පියන් වන්නේ කවදාදැයි දැන ගන්නටය. එහෙත් ඒ පිළිබඳ ඉඟි මිස ස්ථිර යමක් ඔවුන් ප්‍රකාශ කර නැත. එයටත් වෙලාවක් හා කලාවක් ඇතුවා විය යුතුයයි රසිකයෝ කියති. 
 
චන්දි කොඩිකාර


More In Hot Story