තරබාරුව ජය ගැනීම අර්ජුන් ගේ ඇසින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය දා නිමාව දුටු 2020 ඔලිම්පික් තරඟාවලියේදී ඉන්දියාවට හිමි වූයේ එකම රන් පදක්කමකි. හෙල්ල වීසි කිරීමේ ඉසව්ව සඳහා එය ලබා ගන්නා ලද්දේ නීරාජ් චොප්රා විසිනි. ඔහු හෙල්ල වීසි කළ දුර මීටර් 87.58 කි.  ජවන හා පිටිය ක්‍රිඩා ඉසව්වකින් ඉන්දියාවට ඔලිම්පික් රන් පදක්කමක් ලබා දුන් ප්‍රථම ක්‍රීඩකයා ලෙස නීරාජ් චොප්රා ඉතිහාසගත වූයේය. තනි පුද්ගල ඔලිම්පික් රන් පදක්කමක් දිනූ දෙවන ඉන්දියානු ක්‍රිඩකයා වන්නේත් නීරාජ් චොප්රාය. 

1900 සිට මේ දක්වා ඔලිම්පික් තරඟ 24කට සහභාගි වී ඉන්දියාව දිනූ පදක්කම් ප්‍රමාණය 35 ක් වන අතර ඉන් රන් පදක්කම් ප්‍රමාණය 10 කි. අටක්ම දිනා ගන්නා ලද්දේ හොකී කණ්ඩායම් විසිනි. තනි පුද්ගල රන් පදක්කමක් ප්‍රථමයෙන් දිනා ගත්තේ 2008 දී බෙයිජිං හි පැවති ඔලිම්පික් තරඟාවලියේ වායු රයිපලයෙන් වෙඩි තැබීමේ ඉසව්වට තරඟ කළ අභිනව් බින්ද්‍රාය.  

මෙවර ජපානයේ පැවති ඔලිම්පික් තරඟාවලියේදී ඉන්දියාව පදක්කම් හතක් දිනා ගත්තේය. එකම රන් පදක්කම නීරාජ් චොප්රා සතු වූ අතර රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් හතරක් ඉන්දියා පදක්කම් සටහනේ දැක්විණි. 

මුළු ඉන්දියාවම නීරාජ් පිළිබඳව ආඩම්බර වූයේය. බොලිවුඞ් වැසියෝ ද ඔහුට ප්‍රශංසා කළහ. අර්ජුන් කපූර් ඒ අතර විශේෂය. ඔහු නීරාජ්ට සුබ පැතූ අතරම ප්‍රශංසාත්මකව කතා කළේ නීරාජ් තරබාරුකම මට්ටු කිරීමේ සටනින් ජයග්‍රහණය කර තිබීම පිළිබඳවය.  මේ වන විට 23 හැවිරිදි නීරාජ් කුඩා කලදී බොහෝ තරබාරු වූයේය. මොන තරම් ද යත් අවුරුදු 14 දී ඔහුගේ බර කිලෝ ග්‍රෑම් 80 ක් ව තිබිණි. ඔහු නිරතුරුවම අනෙක් අයගේ සරදම් නිසා පීඩාවට පත් වූයේය. ඔහුගේ පියා ඔහු ව්‍යායාමාගාරයකට යැව්වේ එම නිසාය. නීරාජ් බොහෝ උනන්දුවෙන් ව්‍යායාමවල නිරත වූවා පමණක් නොව ව්‍යායාමාගාරය ආසන්නයේ තිබූ  ක්‍රීඩාංගනයට ද යන්නට පුරුදු වූයේය. ඔහුට හෙල්ල විසි කිරීමේ දක්ෂතාවක් ඇති බැව් වටහා ගත්තේ එහි සිටි පුහුණුකරුවෙකි. අවසානයේදී නීරාජ් තරබාරුව පමණක් නොව ක්‍රීඩා ලෝකය ද ජය ගත්තේය. 

නීරාජ් ගේ මේ ජයග්‍රහණය තමගේ ද ජයග්‍රහණයක් ලෙස අර්ජුන් කපූර්ට දැනෙන්නේ කුඩා කල ඔහු ද තරබාරු බවින් පීඩා වින්ද බැවිනි. 
“ඇත්තටම තරබාරු බව එක්ක සටන් කිරීම ශාරීරිකව වගේම මානසිකවත් ලොකු වෙහෙසක්.. ඒත් නීරාජ් වෙහෙස නොතකා සටන් කළා.. ඒ විතරක් නෙමෙයි ඔලිම්පික් රන් පදක්කම දක්වාම ඔහුගේ ඉලක්කය ඇදී ගියා.. ඇත්තටම ඔහු රටට ලොකු ආඩම්බරයක්.. ජීවයක්..” අර්ජුන් සඳහන් කර තිබිණි.

තමා තරබාරු කාලයේදී සහ ඉන් මිදුණ කල ගත් ඡායාරූප දෙකක් ද අර්ජුන් අන්තර්ජාලයට එක් කර තිබිණි. 

“මම මගේ ජීවිතේ හැම මොහොතකටම ආදරේ කරනවා.. මගේ අම්මා මට කිව්වෙ ජීවිතයේ තියන හැම පියවරක්ම ගමනක ආරම්භයක්.. ඒ ගමන සාර්ථක කර ගන්න වෙහෙස වෙලා වැඩ කරන්න ඕන කියලා..  ඒකෙ තේරුම එදාටත් වඩා හොඳට දැන් මට තේරෙනවා.. මොකද මම හැම දෙයක්ම දිනා ගත්තෙ මහන්සි වෙලා වැඩ කරලා..’‘ ඔහු කියන්නේය. 



More In Hot Story