තනිකඩ දිවිය සතුටින් ගෙවන තාබු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තබාසුම් ෆාතිමා හස්මි යනුවෙන් හැඳින්වුවහොත් ඇය පිළිබඳව කිසිම කෙනෙකු කිසිම දෙයක් දන්නේ නැත. එහෙත් තාබු නම් සම්මානනීය නිළිය ගැන නොදන්නා අයෙකු නැත. ඇය හින්දි චිත්‍රපටිවල පමණක් නොව තෙළිඟු හා දෙමළ චිත්‍රපටිවල ද රඟ පෑවාය. ඇමෙරිකානු චිත්‍රපටි කිහිපයක ද ඇගේ රඟපෑම් දැක ගත හැකි වූයේය. ඇය වැඩිපුරම රඟ පෑවේ අයසට පත් කාන්තාවන් ගේ චරිත සහිත චිත්‍රපටිවලය. එතුළින් ගොඩ නංවා ගත් අනන්‍යතාව නිසාම සම්මාන රැසකට හිමිකම් කියන්නට ඇයට හැකි වූයේය. ජාතික සම්මාන දෙකක් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන හයක් මේවා අතර තිබෙන්නේය. ඇය 2011 දී පද්මශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. 
තාබු ඉපදුණේ 1971 නොවැම්බර් 4 දා හයිද්‍රබාද් මුස්ලිම් පවුලකය. ඇය ඉපදී ටික කලකට පසුව ඇගේ දෙමව්පියෝ දික්කසාද වූහ. ඇය මුම්බායිවලට පැමිණියේ ශාන්ත ක්ෂේවියර් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමටය. ඇය ඉලෙක්ට්‍රෝනික විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි. 
ඇය හින්දි සිනමාවේ ජනප්‍රිය නිළියන් වන ෂබානා අස්මි, සහ සිනමා නර්තන ශිල්පි බබා අස්මි ගේ ඥාති දියණිය වන අතර ෆාරා නාස් ගේ බාල සොහොයුරිය ද වන්නීය. 
තාබු සිනමාවට පිවිසියේ 1985 දී හම් නවුජාවන් චිත්‍රපටියේ ළමා නිළියක ලෙස ද, 1991 දී කූලි නම්බර් 1 තෙළිඟු චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ලෙස ද රඟ පාමිනි. ඉනික්බිතිව එක් දිගටම සිනමාවේ රැඳී සිටි ඇය රඟ පෑ බොහෝ චිත්‍රපටි ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වූයේය. සමහර චිත්‍රපටි අසාර්ථක වූයේය. ජාවානී ජානේමන්, දේ දේ ප්‍යාර් දේ, අන්ධාදිධූන්, මිසින්, දි්‍රෂ්යාම්, ලයිෆ් ඔෆ් පි, සිල්සිලේ, මීනාක්ෂි, මක්බූල්, හවා, ෆිල්හාල්, චාන්ද්නි බාර්, අස්ටිට්වා, විරාසාත්, පැහැලාපැහැලා ප්‍යාර් ඇය රඟ පෑ චිත්‍රපටි අතරින් කිහිපයකි.
2021 ඇය රඟ පෑවේ භූල් භූලයියා 2 චිත්‍රපටියේය. හොරර් කොමඩි ගණයට වැටෙන මෙය නොවැම්බර් මාසයේදී තිරගත වෙන්නට නියමිතව තිබේ.  
මේ වන විට පනස් හැවිරිදි වුවත් රූමත් බවින් අඩුවක් නැති තාබු ගෙවන්නේ අවිවාහක දිවියකි. 
“මගෙ අවිවාහක ජීවිතයට අජේ දේව්ගනුත් වග කියන්න ඕන..” සිය අවිවාහක දිවිය ගැන ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදියෙකුට පිළිතුරු ලෙස තාබු පැවසුවාය. 
“අජේයි මායි අඳුනන්නෙ අවුරුදු විසි පහකටත් වැඩි කාලෙක ඉඳලා.. අජෙයි මගෙ ඥාති සහෝදරයා සමීර් ආර්යායි අසල්වැසියෝ.. ඒ වගේම හොඳ යාළුවෝ.. අපි එකටමයි හැදුණෙවැඩුණෙ.. මම තරුණ වියට එළඹුණාම ඒ දෙන්නා මං ගැන ඔත්තු බලන්න පටන් ගත්තා.. මට කොල්ලෙක් එක්ක කතා කරන්නවත් ඉඩක් තිබුණෙ නෑ.. එහෙම කතා කළොත් ඒ දෙන්නා ගිහින් ඒ කොල්ලට තර්ජනය කරනවා.. ඉතින් මට කවුරුවත් එක්ක සම්බන්ධයක් ඇති කර ගන්න ඉඩක් තිබුණෙ නෑ..” ඇය කීවේ සිනාසෙමිනි. 
එසේ කීවත් ඇගේ අසාර්ථක පෙම් සබඳතා ගැන නොයෙකුත් කතාන්දර ක්ෂේත්‍රයේ පැතිර තිබිණි. පළමුවෙන්ම ඇගේ නම ඈඳුණේ සන්ජේ කපූර් සමඟය. කීර්තිමත් කපූර් සිනමා පවුලේ සාමාජිකයෙකු වුවත් අනෙක් අය මෙන් රඟ පෑමෙන් ඉදිරියට එන්නට ඔහුට හැකි වූයේ නැත. එහෙත් ඔහු සිය කඩවසම් රූපයෙන් හා මිහිරි කතාවෙන් ඕනෑම කෙනෙකුගේ සිත් දිනා ගත්තේය. තාබුට ද එයින් ගැලවීමක් නොවිණි. සංජේගේ පළමු චිත්‍රපටිය ප්‍රේම් හි ඔහු රඟ පෑවේ තාබු සමඟය. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ඇති වූයේත් චිත්‍රපටියත් සමඟමය. අහේතුකවම එය නතර වූ අතර ඉනික්බිති තමන් දෙදෙනා එකිනෙකා සමඟ කතාබහ කිරීමත් නැවැත්වූ බැව් සංජේ පසුව ප්‍රකාශ කළේය. එහෙත් තාබු ප්‍රකාශ කර තිබුණේ තමා බරපතල ලෙස සැළකූ එකම සම්බන්ධය එය බවය. 
තාබුගේ ජීවිතයට ඊ ළඟට පිවිසියේ චිත්‍රපටි නිෂ්පාදකයෙකු හා අධ්‍යක්ෂවරයෙකු වන සජිඩ් නාදියාවාලාය. අකාලේ මිය ගිය සුන්දර නිළිය දිව්‍යා භාරතී ගේ සැමියා වූයේ සජිඩ්ය. තාබු සහ දිව්‍යා හොඳම මිතුරියෝ වූහ. ඒ කාලයේ සජිඩ් සහ තාබු අතර තිබුණේ සාමාන්‍ය මිතුරුකමක් පමණකි. දිව්‍යාගේ මරණයෙන් පසුව තාබු ක්‍රියා කළේ සජිඩ් පිළිබඳව අනුකම්පාවෙනි. පසුව ආදරයක් බවට හැරුණේ එම අනුකම්පාවය. ඔවුන් දෙදෙනා පෙම් යුවළක් බැව් හැම දෙනාම දැන සිටියත් ඇය සමඟ විවාහ වෙන්නට වුවමනාවක් සජිඩ්ට තිබුණේ නැත. ඔහු සිටියේ මිය ගිය බිරිඳගේ මතකය අමතක කරන්නට නොහැකිවය. අවසානයේදී ඔහුගේ දෙගිඩියාව විසින් ඇය කෝපයට පත් කරනු ලැබිණි. ඒ වන විට ඇයට දකුණු ඉන්දියානු සුපිරි සිනමා තාරකාවක් වූ අක්කිනේනි නාගාර්ජුන ගේ ඇල්මබැල්ම ද වැටී තිබිණි. 
ඇය සජිඩ්ගෙන් සමු ගත්තාය. 
ජීවිතයට ළං වූ තෙවෙනි මිනිසා තමාට දරා ගන්නට නොහැකි තරමේ අසීරු පාඩමක් උගන්වනවා ඇතැයි ඇය සිතා සිටියේ නැත. එහෙත් එය එසේම සිදු වූයේය. තාබුට ළං වෙන විටත් නාගාර්ජුන විවාහකයෙකි. අවුරුදු දහයක්ම සම්බන්ධය පැවතුණත් සිය බිරිඳ අමලාගෙන් වෙන් වී තාබු විවාහ කර ගන්නට ඔහු කැමති වූයේ නැත. අමලා යනු ඔහුගේ දෙවන විවාහයයි. තුන් වෙනි විවාහයකට යාමට ඔහු පැකිලුණේය. බොහෝ වේදනාවෙන් වුවත් ඔහුගෙන් වෙන් වෙන්නට තාබු තීරණය කළේ ඔහු සමඟ අනාගතයක් නැති බැව්  වටහා ගත් නිසාය. එහෙත් අමලාත් ඇයත් සමීප මිතුරියෝ වූහ. 
“තාබු කියන්නෙ ලස්සන මිතුරියක්..”
පසු කලෙක නාගාර්ජුන කීවේ එසේය. 
අමලා විශ්වාස කළේ නාගාර්ජුනගේත් තාබුගේත් සම්බන්ධය පිළිබඳ පුවත කටකතාවක් පමණක් බවය. 
“කවුරු මොනවා කිව්වත් මගේ සැමියයි මගේ හොඳම මිතුරියයි අවිශ්වාස කරන්න මට හේතුවක් නෑ.. ඇත්තටම මේ කටකතාවෙන් තාබුගෙ හිතත් රිදෙන්න ඇති.. මම එ ්ගැන තාබු එක්කවත් මගේ සැමියා එක්කවත් කතා කරලා නෑ.. එහෙම කතා කරන්න මගේ අදහසකුත් නෑ.. මොකද මගේ ගෙදර කියන්නෙ දේවාලයක් තරම් ම සුපිරිසිදු තැනක්.. ඒ වගේ තැනක් කුණුකන්දල්වලින් අපවිත්‍ර කරන්න මම කැමති නෑ. විශේෂයෙන්ම සිනමා ක්ෂේත්‍රයේ ජරා කටකතා ගෙදරට එනවට මම කැමති නෑ..”
ඇය මාධ්‍ය සාකච්ඡාවකදී එසේ පවසා තිබිණි. 
සිය ආදර සම්බන්ධතා බිඳ වැටුණත් තාබු කිසිම දිනෙක සිය ආත්ම ශක්තිය බිඳ දමා ගත්තේ නැත. ඇය සිය තනිකඩ ජීවිතය සතුටින් ගෙවන්නීය. 
“තනිකඩකම කියන්නෙ භයානක වචනයක් කියලා මම හිතන්නෙ නෑ.. ජීවිතයේ සතුට නොයෙක් නොයෙක් වෙස්වලින් ළඟට එනවා.. මමත් තනිකඩ ජීවිතේ ගෙවන්නෙ සතුටින්..”
ඇය කියන්නීය. 
මහේෂ් මන්ජෙර්කාර්ගේ වයිට් චිත්‍රපටියෙන් මී ළඟට ඇය දැක ගන්නට හැකි වනු ඇත. ඔවුන් එකට වැඩ කරන්නේ සම්මානනිය ඇස්ටිට්වා චිත්‍රපටියෙන් අවුරුදු විස්සකට පසුවය. එය 2022 ගිම්හාන කාලයේදී තිරගත වෙන්නට නියමිතය. 

චන්දි කොඩිකාර



More In Hot Story