ගීතා බස්රාගේ දේදුනු දරුවා
ගීතා බස්රා සිය දෙවන දරුවාට උපත දුන්නේ ජූලි 10 දාය. හර්බජාන් සිං සහ ඇය සිය පුතු නම් කර ඇත්තේ ජෝවාන් යනුවෙනි. ඔවුන්ගේ දියණීය හිනායා ඉපදී ඇත්තේ 2016 දීය.
“මගේ පුතා ජෝවාන් දේදුනු දරුවෙක්..”
ඇය පසු ගිය දිනෙක මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
දේදුනු දරුවෙක් ලෙසින් හැඳින්වෙන්නේ ගබ්සාවකට, උපන් හැටියේ මිය ගිය දරුවෙකුට, මළ දරු උපතකට පසුව උපදින නීරෝගි දරුවාය. අහසේ දේදුන්නක් දිස් වෙන්නේ මහා කුණාටුවකට පසුව හෝ පරිසරයේ අඳුරු බවක් පැතිර තිබියදීය. ඒ අදහස අනුව යමින් මෙවන් දරුවන් දේදුනු දරුවන් ලෙස හඳුන්වන්නට ඇතැයි මතයක් පවතී.
ගීතා බස්රා සිය දරුවා දේදුනු දරුවෙකු ලෙසින් හඳුන්වන්නේ ඔහුගේ උපතට පෙරාතුව ඇය ද ගබ්සා දෙකකටම මුහුණ දී තිබූ බැවිනි. ඒ 2019 සහ 2020 දීය. ඒ අවස්ථාවන් දෙකේදීම හර්බජාන් සිං ඇයට ශක්තියක් වෙමින් ඇය අසළම හිඳියේය. 2019 ගීතාගේ දරු ගැබ ගබ්සා වීම සිදු වෙද්දී ඔහු සිටියේ පංජාබයේය. එහෙත් ඇගේ තත්වය දැන ගත් විගස ඔහු ආපසු ආවේය. ඇගේ දෙවන ගබ්සාව සිදු වූයේ 2020 ලොක් ඩවුන් සමයේදී බැවින් ඇය තනි නොකර අසළම සිටින්නට ඔහුට හැකි විණි. මෙවන් අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙන්නට සිදු වෙන හැම කාන්තාවකටම සිය සැමියාගේ, පවුලේ අයගේ සහයෝගය අත්‍යවශ්‍ය බැව් ගීතා කියන්නීය
“මේ ගබ්සා දෙකම සිද්ද වුණේ මුල් මාස තුන ඇතුළතයි.. ඕනම අම්මා කෙනෙකුට ඒක හරිම දුක්බර අත්දැකීමක්.. ගබ්සාවක් සිදු වුණාට පස්සෙ ඔවුන් එහෙම පිටින්ම කඩා වැටී දරුවන් ගැන තියෙන ආසාවත් අතාරිනවා.. ඒත් මම කියන්නෙ එහෙම බලාපොරොත්තු අතෑර ගන්න එපා කියලා.. ඇත්තටම පවුලකට දරුවො දෙන්නෙක්වත් ඕන.. එහෙම නැත්නම් පළවෙනි දරුවා තනි වෙනවා.. මම හිතේ දුක යටපත් කරගෙන ශක්තිමත්ව ජීවිතේට මූණ දුන්නා.. මගේ විශ්වාසයක් තිබුණා දෙවියන් වහන්සේ කවදා හරි මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරලා දෙයි කියලා.. ඒක ඒ විදියට ම වුණා.. හතර වෙනි වරටත් ගැබ් ගත්ත බව දැන ගනිද්දි සතුටක් වගේම බයකුත් මට දැනෙන්න පටන් ගත්තා. ඒ වෙනකොට අපි හිටියෙ හර්බජාන්ගෙ මහ ගෙදර.. මම මුල් මාස තුනේදී හොඳටම පරිස්සම් වුණා.. විවේක ගත්තා.. විටමින් වර්ග හරියටම ගත්තා.. ඊට පස්සෙ තමයි අපි ආපහු මුම්බායි ආවේ.. ඒ ආවට පස්සෙ මම යෝග ව්‍යායාම කරන්න පටන් ගත්තා.. ඒකෙන් මගේ මානසික ශක්තිය විතරක් නෙමෙයි ශරීර ශක්තියත් වැඩුණා..” ගීතා කියන්නීය.
ඇය අනෙක් අම්මලාටත් උපදෙස් දෙන්නේ ගබ්සාවක් සිදු වූ විගසම කඩා වැටුණත් දෙවන වතාවේ ඊට වැඩිය ශක්තියකින් නැගී සිටිය යුතු බවය. එවිට ලැබෙන ප්‍රතිඵල විස්මයජනකය.
“ජොවාන් වීර් සිං.. මගෙ වීරයා.. මම අන්තිමට දේදුන්න කෙළවරේ තිබුණ රත්තරන් හොයා ගත්තා..”
ඇය බලවත් සතුටින් කියන්නීය.