කුණු කන්දක් පාමුලින් ගෙනා චක්රබෝති පවුලේ පුංචි සුරංගනාවිය දිශානි චක්රබෝති
1995 වසරේ ඔක්තෝම්බරයේ එක් දිනෙක බටහිර බෙංගාලයේ පාර අයිනේ ඇති කුණු කන්දක් පාමුල අසල ගමන් ගත් වියපත් කාන්තාවකට කුඩා දරුවෙක් හඩනවා ඇසෙනවා. මේ ගැහැණිය මේ අසරණ දැරිය රෝහලට රැගෙන යන අතර ඉන් සුළු මොහොතකට පසුව මෙම අසරණ දරුවාගේ ඡායාරූප වගේම මේ පුවත ඉන්දියාවේ රූපවාහිණිවල සහ පුවත්පත්වල ප්‍රචාරය වනවා.
මෙය සාමාන්‍යයෙන් බෙංගාලයේ සුපුරුදු පුවතක්. මන්ද ඉන්දියානු සමාජයේ ගැඹුරට මුල් බැසගත් පුරුෂාධිපත්‍යය හේතුවෙන්, දෙමාපියන් විසින් ගැහැණු දරුවා අතහැර දැමීම සුලබව එකල සිදු වූවක්. නමුත් කුණුකන්දක් පාමුල කුසින් වැදූ මව අතහැර ගියත් පින් මහිමය උපතින්ම උරුම වූ මේ බට්ටිත්තියගේ පුවත දරුදුක හඳුනන තවත් උතුම් වූ හදවතක් හිමි මවක් දකිනවා. අසරණ දරුවාට මවක් වන්නට තීරණය කරන ඇය ඇගේ සැමියාට මේ පුවත පවසන අතර ඔහු ඉන්පසුව දරුවාට පියෙකු ලෙස නැවත ජීවය දෙන්නට නොපැකිලිව තීරණය කරනවා.
මෙම පියා වෙන කවුරුත් නොවෙයි. 80 දශකයේ සුපිරි තාරකාවක් වූ මිතුන් චක්රබෝතියි. මව වන්නේ ඔහුගේ බිරිඳ වූ නිළි යොගීතා බාලියි. ඒ වන විටත් මිතුන්ට පිරිමි දරුවන් තිදෙනෙක් සිටියා. නමුත් ඔහු මේ දැරිය දරුකමට හදාගන්නට රජයේ අනුමැතිය ඇතිව ඉල්ලුම් කර සියලු නීති රීතිවලට යටත්ව 1995 වසරේ නොවැම්බර් මස 24 දින කිහිපයක් වයසැති පුංචි සුරංගනාවිය තම බිරිඳගේ සුරතට ගෙනත් දෙනවා.
යොගීතා දියණිය සුරටතට ගෙන සිපගත් මොහොත දරුවාගේ උපන් වේලලාව වූ අතර ඇයට දරුවා සුරතට ලැබුණු දිනය වූ නොවැම්බර් මස 24 වන දින දරුවාගේ උපන්දිනය වූවා. ඇයට මිතුන් විසින් ඔහුගේ වාසගමත් සහිතව දිශානි චක්රබෝති ලෙස නම් තබනවා. මිමෝ, උෂ්මේ සහ නමෂි නම් වූ මිතුන්ගේ පුතුන් ඇයව ඔවුන්ගේ ලෙයින් උපන් සහෝදරියක් ලෙස පිළිගත් අතර අඩුවම තරමේ මේ වන තෙක් සිත නොරිදා නොමැති බවයි පැවසෙන්නේ.
මේ වනවිට ඇය 27 වියැති සුරූපී තරුණියක්. තම සහෝදරයින්ගේ කලා කටයුතුවලට සම්බන්ධ වූ ඇය මේ වන විට අයියලාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ කෙටි චිත්‍රපට 3කට සහභාගී වී තිබෙනවා. ඇය හොඳින් අධ්‍යාපනය හැදෑරූ අතර මේ නිසා රංගනයට වඩා ඇයව අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යෑමට යොගීතත් මිතුනුත් සහයෝගය දක්වා තිබුණා.
සමාජයේ සුබසාධනය සහ අභිවෘද්ධිය වෙනුවෙන් නිහඬව කටයුතු කිරීම සඳහා මිතුන් ප්‍රසිද්ධයි. ඔහු බොහෝ රෝහල්වල සම භාරකාරීත්වයෙන් පවත්වාගෙන යන අතර එමඟින් බොහෝ දුගී මිනිසුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට උපකාරී වනවා. මේ වනවිට උතුම් වූ මේ සමාජ මෙහෙවරට ඔහුගේ දියණිය දිශානි චක්රබෝති ද ක්‍රියාකාරී ලෙස සහාය දක්වනවා.