ඊශා ගුප්තා සිය පෙම්වතා ගැන හෙළිදරව් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසු ගිය කාලයේ කොවිඩ් වසංගතය ආසාදනය වීමෙන් රෝගාතුර වී සිටි ඊශා ගුප්තා මේ වන විට පූර්ණ සුවය ලබා සිටින්නීය.  ඒ දිනවල සිය පෙම්වතා මැනුවෙල් කැම්පෝස් ගුවාලර් ගේ සාත්තුසප්පායම් ලබමින් ස්පාඤ්ඤයේ ගත කරන්නට ඇය වාසනාවන්ත වී තිබිණි. 
“ඇත්තටම මම ස්පාඤ්ඤයට ආවෙ මැනුවෙල් හින්දා.. කොවිඩ් වැළඳුණාට පස්සෙ ඔහු මාව ඉතාම ආදරෙන් රැක බලා ගත්තා.. මට සුබවාදී, ප්‍රීතිමත් වාතාවරණයක් සකස් කරලා දුන්නා.. ඒ හින්දම මෙහෙ කල් ගෙවන්න ලැබීම මට සැනසීමක්.. දිල්ලියේ ශීත කාලය වගේම තමයි මෙහෙත් තද සීතලයි.. මම තවමත් ඉන්නෙ ඇඳුම් තට්ටු ගණනාවක් ඇඳගෙන...”
ඇය එහි ජීවිතය විස්තර කරමින් පැවසුවාය. 
මැනුවෙල් සහ ඇගේ සම්බන්ධය ඇගේ ජීවිතයේ අතිශය පෞද්ගලික සහ මිහිරිම කොටස වන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩ ිවිස්තර කතා කරන්නට තමා අකැමැති බැව් ඇය කියන්නීය. 
“ඒ ටික කවදා හරි මගේ මුනුපුරුමිනිපිරියන්ට කියන්න මම පරිස්සම් කරලා තියා ගන්නවා.. අපි දෙන්නා හමු වුණේ රෝමයෙදී 2019.. මම ගියෙ ඔහුගේ ව්‍යාපාර ආයතනයේ වැඩ වගයක් කරන්න..  ඔහු ස්පාඤ්ඤ ජාතිකයෙක් හින්දයි, මම ඉන්දියන් ජාතිකයෙක් හින්දයි මුලදී අපිට එකිනෙකා එක්ක අදහස් හුවමාරු කර ගන්න ටිකක් අපහසු වුණා.. ඒත් විශ්වාසය උඩ තමයි අපි එකිනෙකාට බැඳුණේ..”
ඇය කීවේ ඒ ටික පමණකි. 
රොමෑන්තික ආදරය යනු ඉතා සරල දෙයක් බැව් ඊශාගේ අදහසය. ඒ සඳහා වියදම් කරන්නට හෝ බැරෑරුම් දේවල් කරන්නට වුවමනා නැත. එකිනෙකාගේ අතින් අල්ලාගෙන සිටීම, ළං වී හිඳගෙන චිත්‍රපටියක් නැරඹීම, පුංචි පුංචි දේවල් එකට කිරීම වැනි දේවල් තුළින් ආදරය හා විශ්වාසයත් වැඩෙන බැව් ඇය කියන්නීය. 
“අපි තරුණ කාලෙ ආදර කතන්දර තියෙන චිත්‍රපටි බලනවා.. ඒවායෙ විවිධ කතන්දර ඔළුවට ගියාම අපි හිතන්නෙ ආදරය කියන්නෙ මේක තමයි කියලා.. ඒත් වයසින් වැඩෙනකොට අපිට දැනෙනවා තමන්ගෙ ආදරය අනිත් තැනැත්තට ඒත්තු ගන්වන්න වුවමනා වෙන්නෙ පුංචි පුංචි දේවල් විතරයි කියලා.. එහෙම නොවුණොත් ඒක ලොකු වෙහෙසක්, සිත් පීඩාවක් බවට පත් වෙනවා.. මැනුවෙල් හින්දා මම හිතනපතන විදිය හුඟාක් වෙනස් වුණා.. මම ඔහුගෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා..” ඊශා කියන්නේ බැරෑරුම් ස්වරයෙනි.
2007 දී ෆෙමිනා ඉන්දියා ජාත්‍යන්තර රූ රැජින ජයග්‍රාහිකාව මෙන්ම  නිරූපිකාවක ද වන ඊශා චිත්‍රපටි රැසකම රඟ පා තිබේ ජැනට් 2, රාස් 3ඩී, චක්‍රාවායුව්, හම්ශක්ල්ස්, බේබි, තුලක්තුලක් තුතියා, ටෝටල් දමාල් ආදිය ඒ අතරින් කිහිපයකි. 
ඇය අන්තර්ජාලයට එක් කරන බොහෝ ඡායාරූප ආන්දෝලනයට තුඩු දෙන ඒවාය. 
“මම හිතන්නෙ ලස්සන රූපයක් හංගන්න වුවමනාවක් නැ කියලයි.. මුලින් මුලින් මට මගේ පවුලේ අය මේ පින්තූර දැක්කම මොනවා හිතයි ද කියන හැඟීම දැනුණා තමයි.. ඒත් පස්සෙ මම හිත හදා ගත්තා ඒකෙ වරදක් නෑ කියලා.. මම කරනකියන දේවල් ගැන මම වග කියන්න ඕන මගේ පවුලේ අයටයි පෙම්වතාටයි විතරයි.. ඒ අයට ප්‍රශ්නයක් නැත්නම් අනිත් අය මොනවා කීවත් මම ගණනකට ගන්නෙ නෑ..”  ඇය කියන්නේ එඩිතර ලෙසය. 
මේ දිනවල ඇය සංජේ දත් සහ සුනීල් ෂෙට්ටි සමඟ ප්‍රහසන චිත්‍රපටියක රඟ පාන්නීය. එය ඇගේ දෙවන ප්‍රහසන චිත්‍රපටියයි. ඉන්විසිබ්ල් වුමන් චිත්‍රපටියේ ද ඇය රඟ පාන්නේ සුනීල් ෂෙට්ටි සමඟය.