ආර්යන් ඛාන් ගේ නිදහස් වීම සහ ෂාරුක් ගේ උපන් දිනය
මත් ද්‍රව්‍ය චෝදනාවකට හසු වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආර්යන් ඛාන් දින 22කට පසුව ඇප පිට නිදහස් වූයේ ඔක්තෝබර් 30 දාය. ඒ මොහොත සියලු දෙනාටම හැඟුම්බර මොහොතක් විය. නිදහස් වූ වහාම ඔහු ෂාරුක් ඛාන්ගේ ශරීරාරක්ෂකයන් විසින් තරු පහේ හෝටලයකට රැගෙන යනු ලැබිණි. සිය නීති උපදේශකයන් ද සමඟ ෂාරුක් එහි රැඳී සිටියේය. ඔවුන් මන්නාත් මැදුරට ගියේ ඉනික්බිතිවය.
සැබැවින්ම එය හැඟුම්බර හමුවක් වූයේය. ඔහු සිය මවත් පියාත් සොයුරා අබ්රාමුත් වැළඳ ගත්තේ හඬමින් බැව් මාධ්‍යවලින් වාර්තා කර තිබිණි. අයියා නිවසේ නැතිව පාළුවෙන් සිටි අබ්රාම්ට ඔහුගේ පැමිණිම ලොකු සතුටක් වූයේය. ඔහුට අදහා ගන්නට නොහැකි වූයේ සතුටු විය යුතු මොහොතේ සියලු දෙනාම හඬා වැටීමය. ආර්යන්ගේ සොයුරිය සුහානා මේ වන විට සිටින්නේ ඇමෙරිකාවේය. ඇය සිය සොයුරා සමඟ සම්බන්ධ වූයේ වීඩියෝ ඇමතුමකිනි.
ආර්යන් ඛාන් දිවාලි උත්සවයෙන් පසුව ඔවුන්ගේ ගොවිපොළ නිවසට යවන්නටත් ඔහුට අවශ්‍ය ශාරිරික හා මානසික ප්‍රතිකාර ලබා දෙන්නටත් පියවර ගත් බවත් කියැවෙයි. ඔවුන් සිතන්නේ ආර්යන් හොඳ පාඩමක් ඉගෙන ගත් බවය.
මේ අතර ෂාරුක් ඛාන් ගේ 56 වන උපන් දිනය නොවැම්බර් දෙවෙනිදාට යෙදී තිබිණි. ඔහුට ලෝකයේ සතර අතින්ම සුබ පැතුම් හා තෑගි ලැබුණ අතර ඔහුට සුබ පතනු පිණිස මන්නාත් මැදුර ඉදිරිපිට රසිකයෝ පොදි කමින් සිටියහ. ඔහුගේ සහෝදර නළුනිළියන්ගේ සුබ පැතුම්වලින් සමාජ ජාලා වෙබ් අඩවි පිරී තිබිණි.
එපමණක් නොව ඩුබායි හි සුප්‍රසිද්ධ බර්ජ් අල් කලීෆා කුළුණ ආලෝකමත් වී තිබුණේ බොලිවුඩයේ රජු ෂාරුක් ඛාන් නමිනි. ඔහුගේ ඡායාරූප සහ ඔහු රඟ පෑ විවිධ චිත්‍රපටිවල දර්ශන එහි ප්‍රදර්ශනය වෙමින් තිබිණි.