අමිතාබ් බච්චන් වෙනස් කල සන්ජීර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

1973 දී නිර්මාණය වූ සන්ජීර් චිත්‍රපටිය අමිතාබ් බච්චන්ගේ ඉරණම එහෙම පිටින්ම වෙනස් කළත් සැබැවින්ම එය නිර්මාණය වී තිබුණේ ධර්මේන්ද්‍ර වෙනුවෙන් බැව් එහි අධ්‍යක්ෂ හා නිෂ්පාදක ප්‍රකාශ් මෙහෙරාගේ පුත් පුනීත් මෙහෙරා මෑතකදී ප්‍රකාශ කර තිබිණි. එය සලීම් ඛාන් ගේ කතාවකි. තිර රචනය ලියනු ලැබ තිබුණේ සලීම් සහ ජාවඩ් විසිනි. ඔවුහු එය ධර්මේන්ද්‍රට දුන්හ. ධර්මේන්ද්‍ර රඟ පෑ ප්‍රකාශ් මෙහෙරා ගේ සමාධි චිත්‍රපටිය සාර්ථක වී තිබූ බැවින් ඔහු එම තිර රචනය ප්‍රකාශ්ට පෙන්වීය. 

“බොහොම හොඳ ස්ක්‍රිප්ට් එකක්.. ඔයා ප්‍රධාන චරිතේ බාර ගන්න..” තිර රචනය කියැවූ ප්‍රකාශ්, ධර්මේන්ද්‍රට ආරාධනා කළේය. 
එහෙත් ඒ වන විට මුළු වසර සඳහාම චිත්‍රපටි බාර ගෙන තිබූ බැවින් ධර්මේන්ද්‍රට ඒ ආරාධනාව පිළි ගන්නට නොහැකි වූයේය. ප්‍රකාශ් විසින් රුපියල් 3500 කට තිර කතාව මිළ දී ගනු ලැබුවේ ඉනික්බිතිවය. 

“සමහරු කියනවා මගෙ තාත්තා තමයි අමිතාබ් ගෙ ගෝඩ් ෆාදර් කියලා.. ඒත් තාත්තා කවදාවත් ඒක පිළි ගන්නෙ නෑ.. ඔහු කිව්වෙම දක්ෂතාවයට දක්ෂතාවය එකතු වෙලා මැජික් එකක් නිර්මාණය වුණා කියලා විතරමයි..” පුනීත් කීවේය. 

අමිතාබ් බච්චන්, ජයා බච්චන්, ප්‍රාන්, අජිත් ඛාන් ආදීන් රඟ පෑ සන්ජීර් ඉන්දියානු සිනමාවේ ඉතිහාසය ද අලුතෙන් ලියවූ චිත්‍රපටියකි. අමිතාබ්ට කෝපවත් තරුණ මිනිසා (ඇන්ග්‍රි යංග් මෑන්) විරුදාවලිය ලැබුණේත්, ඔහුට සිනමාවේ ස්ථාවර වෙන්නට අවස්ථාව ලැබුණේත්  සන්ජීර් නිසාය.  ඉන්දියාවේ දූෂණයට එරෙහිව නැඟී සිටින සාමාන්‍ය මිනිසුන්ගේ චරිත හුවා දැක්වෙන කලහකාරී සහ ප්‍රචණ්ඩ ක්‍රියා සහිත චිත්‍රපටි සිනමා ක්ෂේත්‍රය ආක්‍රමණය කරන්නට පටන් ගත්තේත් ඉන් පසුවය.