අම්ජාඩ් ඛාන්ගේ හදිසි අනතුර ගැන බිරිඳගේ මතකය
ෂෝලේ, දාදා, කුර්බානි, ලව් ස්ටෝරි, උත්සව් ඇතුළු චිත්‍රපටි 132 ක පමණ රඟ පෑ අම්ජාඩ් ඛාන් 1979 දී ද ග්‍රේට් ගැම්බ්ලර් චිත්‍රපටියේ රඟ පාමින් සිටියදී ගෝවේහි අධිවේගී මාර්ගයකදී දරුණු රිය අනතුරකට ලක් වූයේය. එහිදී ඔහු රෝහල්ගත කරන්නට හා හදිසි ශල්‍ය කර්මයට වුවමනා කරන ලියවිලි සියල්ලටම අත්සන් තැබුවේ අමිතාබ් බච්චන් බැව් අම්ජාඩ් ගේ බිරිඳ ෂැහැලා ඛාන් පවසන්නීය.
ඒ වන විට ෂැහැලා මාස හයක ගැබිණියකව සිටියාය. ඇෙග් එක් අතක් කැඩී තිබු අතර අනෙක් අත උරහිසින් ගැලවී තිබිණි. අම්ජාඩ් ගේ ඉල ඇට 13 ක් සහ කලවා අස්ථිය ද බිඳී තිබිණි. බිඳුණු සුක්කානම ඔහුගේ පපුව පසා කරගෙන ගොස් නැවතී තිබුණේ පෙනහලු ද තුවාල කරගෙනය. ඔහුට හුස්ම ගැනීමට අපහසු වූ අතර අභ්‍යන්තර රුධිර වහනයෙන් ද පීඩා විඳිමින් සිටියේය. සිය බිරිඳ හා නූපන් දරුවා පිළිබඳව ද ඔහු කරදර වූයේය. ඔවුන් සවන්ත්වාදී රෝහලට ඇතුළත් කරන ලද අතර රසිකයෝ රෝහල වට කර ගත්හ.
ඔහු ෂෝලේ චිත්‍රපටියේ රඟ පෑ චරිතයේ නම ගබ්බාර් සිං ය.
“ගබ්බාර් සිං එළියට ගේන්න.. ගබ්බාර් සිං එළියට ගේන්න..”
කියමින් ඔවුහු කෑ ගසන්නට පටන් ගත්හ. ඔවුන් පාලනය කරන්නට අසීරු වූ බැවින් වෛද්‍යවරු රෝගින් දෙදෙනා ගෝවේහි අගනුවර වන පන්ජිම් කරා යැවූහ. ආශ්වාස ප්රාශ්වාසය පහසු වනු සඳහා අම්ජාඩ්ට වහාම ශල්‍ය කර්මයක් කළ යුතු වූයේය. ඒ සඳහා අවශ්‍ය වූ සියලුම නීතිමය ලියැවිලිවලට අත්සන් තැබුවේ අමිතාබ් බච්චන් බැව් ෂැහැලා පැවසුවේ මේ මෑතක පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.
“මගෙ සැමියයි අමිත්ජීයි අතරේ ලොකු බැඳීමක් තිබුණා.. අමිත්ජී හුඟක් බයෙන් ඉන්න ඇති අම්ජාඩ් සනීප වෙන එකක් නෑ කියලා.. කොහොම නමුත් ටික දවසකින් අපි ගුවන් යානයක් කුලියට අරගෙන මුම්බායිවලට ආවා.. නැනවතී රෝහලේ මාස තුනක්ම ඉන්න අපිට සිද්ද වුණා..” ඇය කීවාය.
ද ග්‍රේට් ගැම්බ්ලර් චරිතයෙන් ඉවත් වෙන්නට අම්ජාඩ්ට සිදු වූ අතර ඒ වෙනුවට යොදා ගන්නා ලද්දේ උත්පල් දත්ය.
හද්සි අනතුරෙන් දිවි ගලවා ගත්තත් ඔහුගේ ශරීර ශක්තිය පිරිහී ගියේය. එහෙත් ඔහු රඟ පෑමෙන් ඉවත් වූයේ නැත. 1992 දී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මෙලොවින් සමු ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 52ක් වූවා පමණකි.