අනාගත අම්මලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අනුෂ්කා ශර්මා, කරීනා කපූර් වැනි නිළියෝ 2021 ආරම්භයේදී දරුවන්ට ජන්මලාභය දුන්හ. තවත් නිළියෝ කිහිප දෙනෙක් මේ වන විට මව් පදවියට සූදානමින් සිටිති. 

ලීසා හේඩන්

මේ වන විටත් පුතුන් දෙදෙනෙකුගේ මව වන ලීසා සූදානමින් සිටින්නේ තෙවන දරු උපතටය. සිය උදරය නිරාවරණය වන ආකාරයේ සේයාරුවක් ද සමඟින් ඇය අන්තර්ජාලයේ පළ කර තිබුණේ උපදින්නට සිටින්නේ දියණියක බවය. ඇය පමණක් නොව   සැමියා ඩිනෝ ලාල්වානි ද, පුතුන් දෙදෙනා ද  ඒ පිළිබඳව බොහෝ සෙයින් සතුටු වන බැව් ලීසා සඳහන් කර තිබිණි. 
නිළියක, නිරූපිකාවක පමණක් නොව රූපවාහිනී නිවේදිකාවක ද වන ලීසා, ඩිනෝ ලාල්වානි සමඟ විවාහ වූයේ 2016 දීය. 2017 මැයි 17 දා ඇය කුළුඳුල් පුතු සැක්ට උපත ලබා දුන්නාය. දෙවන පුතු ලියෝ ඉපදුණේ 2020 පෙබරවාරි මාසයේදීය. 

ෆ්‍රීඩා පින්ටෝ

සිය කුළුඳුල් දරු උපතට සූදානමින් සිටින 37 හැවිරිදි ෆ්‍රීඩා සිය පෙම්වතාත් සමඟ ගන්නා ලද ඡායාරූපයක් අන්තර්ජාලයේ පළ කර තිබුණි. එම ඡායා රූපයේ ඇය හැඳ සිටින්නේ කළු පසුබිමේ මල් මුද්‍රණය කරන ලද ගැබිණි ගවුමකි. ඇගේ පෙම්වතා කෝරි ට්‍රාන් ඇගේ පිරුණු උදරය මත අත තබාගෙන සිටින්නේ ඉතා සතුටිනි. 

මුම්බායිවල උපන්නත් ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය චිත්‍රපටිවල වැඩි වශයෙන් රඟ පෑ ෆ්‍රීඩා සහ ඡායාරූප ශිල්පී කෝරිගේ සම්බන්ධය ඇති වූයේ 2017 දීය. 2019 වසරේ කෝරි ගේ උපන් දිනය දා ඔවුහු සිය විවාහ ගිවිස ගැනීම ප්‍රකාශයට පත් කළහ.  

ස්ලම්ඩෝග් මිලියනෙයර්, ඉම්මෝර්ටල්, රයිස් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ඒප්ස් වැනි චිත්‍රපටි තුළින් ජනප්‍රියත්වයට පත් වූ ෆ්‍රීඩා මී ළඟට දකින්නට ලැබෙනු ඇත්තේ දෙවෙනි ලෝක යුද සමයේ බි්‍රතාන්‍ය ඔත්තුකාරියක වූ නූර් ඉනායත් ඛාන් ගේ චරිතය ඇසුරින් නිර්මාණය වෙන චිත්‍රපටියකය. 

දියා මිර්සා

දියා මිර්සා ව්‍යාපාරිකයෙකු වන විභාව් රේඛී සමඟ විවාහ වූයේ මේ වසරේ පෙබරවාරි මාසයේදීය. විවාහ වූ විගසම විභාව් ගේ පළමු විවාහයේ දියණිය ද සමඟ ඔවුහු මාලදිවයින බලා ගියහ. තමා පළමු දරු උපතට සූදානම් බැව් ඇය ඡායාරූපයක් සහ හැගුම්බර කවියක් ද සමඟ අන්තර්ජාලයේ පළ කර තිබිණි. 

නිළියක, නිරූපිකාවක, නිෂ්පාදිකාවක පමණක් නොව සමාජ සේවිකාවක ද වන දියා 2000 වසරේ ආසියා පැසිපික් රූ රැජින ලෙස කිරුළ පැළඳ තිබේ. සහිල් සංහා සමඟ 2014 දි විවාහ වූ ඇය 2019 දී ඔහුගෙන් වෙන් වූවාය. 

විභාව් රේඛී විවාහ වී සිටියේ යෝග උපදේශිකාවක වන සුනයිනා සමඟය. ඔවුන්ගේ දියණිය සමයිරාය. විභාව් සහ දියාගේ විවාහය තමා අනුමත කළ බැව් ඇය ප්‍රකාශයට පත් කර තිබුණේ බොහෝ දෙනෙක් පුදුමයට පත් කරමිනි. 

“අපි දෙන්නට තව දුරටත් පවුල් ජීවිතයක් නෑ.. මගෙ දුවට අලුතෙන් පවුලක් ලැබිම ගැන මම සන්තෝස වෙනවා..”
විභාව් ගේ අලුත් ජීවිතය ගැන ප්‍රශ්න කරන්නන්ට පිළිතුරු වශයෙන් ඇය සඳහන් කර තිබිණි. 

ගීතා බස්රා

ගීතා බස්රා සහ ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිං ඔවුන්ගේ දෙවැනි දරුවා ජූලි මාසයේදී බලාපොරොත්තු වෙති. ඒ  පුවත ඔවුන් අන්තර්ජාලයේ පළ කර තිබුණේ සුන්දර සේයාරුවක් ද සමඟිනි. එහි ඔවුන් දෙදෙනා සහ පළමු දියණිය හිනායා ද සිටිති. හිනායා පුංචි ටී ෂර්ටයක් දෑතින් අල්ලාගෙන සිටින අතර එහි මුද්‍රණය කර ඇත්තේ “ඉක්මනින්ම අක්කා කෙනෙක් වෙනවා..” තේරුම ඇති වැකියකි. 
දරුවා ලැබෙන්නට පෙර නිවාඩුවක් ගත කරන්නට යන්නට ඔවුන්ට වුවමනාව තිබුණ ද කොවිඞ් අවදානම නිසා එය අමතක කර දමන්නට සිදු විණි. ගීතා බස්රා අවසානයට දකින්නට ලැබුණේ ලොක් නමැති පංජාබි චිත්‍රපටියේය.