අජේ දේව්ගන්ගේ දශක තුනක සිනමා ගමන
පසු ගිය දා අජේ දේව්ගන් සිය සිනමා දිවියේ තිස් වසර සම්පූර්ණ කළේය. මේ වෙනුවෙන් ක්ෂේත්රයේ සහෘදයෝ සහ රසිකයෝ ඔහුට සුබ පැතූහ. ඔහුගේ බිරිඳ ජනප්‍රිය චිත්‍රපටි නිළි කාජල් ලියා තිබුණේ හෘදයාංගම සටහනකි.
“සිනමා දිවියේ තිස් වසරක්.. දශක තුනක්.. ඒත් ඊට ඉස්සරහින් ගණනය කළ නොහැකි තරම් හෝරාවන් තිබූ බව දන්නෙ දෙවියෝ විතරයි.. ඔහුගේ ස්ථිර කැප වීම සහ ඔහුගේ රඟ පෑම් ඔහු වෙනුවෙන් කතා කිරීම තමයි ඔහුව මේ තරම් දුරක් ගෙනාවේ.. හැම වෙලාවෙම මම ඔහුට ගරු කරන්නෙ ඒ හින්දයි.. දිගටම ඔබේ ගමන යන්න.. ඔබ ගැන ආඩම්බර වෙනවා..”
ඇගේ සටහනේ වූයේ එබඳු අරුතකි.
විශාල් වීරු දේව්ගන් නමින් 1969 අප්‍රේල් දෙවෙනිදා උපත ලද ඔහු සිය නම අජේ වශයෙන් වෙනස් කළේ සිනමා ගමන වෙනුවෙනි. ඔහු මේ වන විට චිත්‍රපටි සියයකට වඩා ප්‍රමාණයක රඟ පා තිබේ. ඒවායින් වැඩිම ප්‍රමාණයක් ක්‍රියාදාම චිත්‍රපටිය. ඔහු චිත්‍රපටි නිෂ්පාදකයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ද වන්නේය.
ඔහු සිනමාවට පිවිසියේ ෆූල් ඕර් කාන්තේ චිත්‍රපටියේ රඟපාමිනි. එක රැයින් ඔහු තරුවක් බවට පත් කරන්නට එම චිත්‍රපටියට හැකි වූයේය. ඔහු මෝටර් සයිකල් දෙකක පා තබාගෙන දර්ශනයට අවතීර්ණ වූ අයුරු අදටත් රසිකයන් සිහිපත් කරන්නේ පුදුමයෙනි.
“මාත් එක්කම විශාල්ලා තුන් දෙනෙක් එකම කාලයේ දොරට වැඩියා.. මම අජේ කියලා මගේ නම වෙනස් කෙරුවේ පැටලීිමක් වෙයි කියලා හිතුව හින්දයි..”
සිය නම වෙනස් කර ගැනීම පිළිබඳව අජේ අදහස් දැක්වූයේ එලෙසය.