සෝනු සූඩ් ගේ සීසන් ටිකට් පත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිම්බා චිත්‍රපටියේ රඟ පෑ සෝනු සූඞ් මේ දිනවල වැඩිපුර ජනප්‍රිය වී සිටින්නේ කොරෝනා සමයේ ඔහු විසින් කරන ලද මානව හිතවාදී ක්‍රියාවන් නිසා පමණක්ම නොවේ. ඔහු කොරෝනා මර්දනයේ යෙදෙන අයට සෞඛ්‍යාරක්ෂක ඇඳුම් කට්ටල, මුහුණු වැස්මවල් සහ අනෙකුත් අවශ්‍ය දේවල් ලබා දුන්නා පමණක් නොව රැකියා සඳහා පැමිණ සිය ගම්රටවල්වලට යා ගත නොහී අසරණ වුණ කම්කරුවන්ට ගමන් පහසුකම් සලසා දෙන්නට ද උත්සුක වූයේය. කේරළයේ අතරමංව සිටි කාන්තාවන් 150 දෙනෙකු ගුවන් මඟින් ඔවුන්ගේ ගම්වලට යවන්නට ක්‍රියා කිරීම නිසා ඔහුට බොහෝ ප්‍රශංසා ලැබිණි.

මේ දිනවල ඔහු ජනප්‍රිය වී සිටින්නේ සමාජ ජාලා වෙබ් අඩවිවල සංසරණය වෙන දුම්රිය සීසන් ටිකට්පතක් හේතුවෙනි. එය 1998 වසරේ මුම්බායි නගරයේ දුම්රියවල ගමන් කිරීම සඳහා සෝනු සූඞ් වෙත නිකුත් කරන ලද්දකි. කිසිවෙකු විසින් එහි ඡායාරූපයක් සමාජ වෙබ් අඩවියක පළ කරනු ලැබ තිබූ අතර එයට බොහෝ ප්‍රතිචාර හිමි වූයේය. ඔහු මෙතරම් අනෙක් අය වෙනුවෙන් කරදර වන්නේ  ඔහු විඳි කරදර මතක ඇති නිසා විය යුතුයයි සමහරු කියා  තිබිණි.

“ඔව්.. ඒක ඇත්ත.. ජීවිතය කියන්නෙ සම්පූර්ණ රවුමක්..”

ඔහු එයට පිළිතුරු ලෙස සඳහන් කර තිබුණේ එසේය.

සෝනු ඊ ළඟට දකින්නට ලැබෙන්නේ මුම්බායි සේගා සහ ප්‍රිත්විරාජ් චිත්‍රපටිවලය. කොරෝනා වසංගතය මැඩලීම සඳහා රජය ගන්නා කවර ක්‍රියා මාර්ගයකට වුව ද සිය සහයෝගය ලබා දෙන බැව් ඔහු කියයි.

20200614Sonu-3 20200614Sonu-2 20200614Sonu-1