සුශාන්ත්ගේ පෙම්වතිය අලුත් ප්‍රේමයක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හින්දි චිත්‍රපටියක චරිතයක් ලබා ගන්නට ඕනෑම දෙයක් කැප කරන්නට නොපැකිළෙන යුවතියෝ සිටිති. ඒ එය අනාගතය උදෙසා කරන හොඳ ආයෝජනයක් බැව් දන්නා නිසාය. තෙළීඟු, දෙමළ, මලයාලම් වැනි චිත්‍රපටිවල ජනප්‍රිය නිළියෝ පවා හින්දි චිත්‍රපටියක අවස්ථාවක් ප්‍රාර්ථනා කරති. 
තත්වය එසේ තිබියදී තමන්ට ලැබුණ වටිනා අවස්ථාවක් පෙම්වතා වෙනුවෙන් ප්‍රතික්ෂේප කරන කාන්තාවක ගැන අසන්නට ලැබීමත් පුදුමයකි. ඒ පුදුම කාන්තාව අංකිතා ලොක්හැන්දේය. ඇය අත් හැර දැමුවේ අතටම පියාඹා ආ බොහෝ වටිනා කුරුල්ලෙකි. ඇය ජනප්‍රිය වී සිටියේ රූපවාහිනී නිළියක ලෙසිනි. පවිත්‍රා රිෂ්ටා රූපවාහිනි මාලා නාටකය විසින් ඇය ජනප්‍රියත්වයේ ඉහළම තලයට ඔසවා තබනු ලැබිණි. මොන තරම් ද යත් 2018 රූපවාහිනියෙන් ඉවත් වී සිනමාවට පිවිසෙන තුරුම වැඩිම ගෙවීමක් ලබන රූපවාහිනී නිළිය වූයේ අංකිතාය. 
හැපී නිව් ඉයර් චිත්‍රපටිය සඳහා ෆාරා ඛාන් පළමුවෙන් ඇරයුම් කළේ තමාට බැව් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියත් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී  අංකිතා පැවසුවාය. ඇයට ෂාරුක් ද හමු වූයේය. මෙය සිනමා නිළියක ලෙස දොරට වඩින්නට හොඳම අවස්ථාවක් බැව් ෂාරුක් ඇයට පුනපුනාම කීවේය. එහෙත් ඇය චරිතය බාර ගන්නට අදිමදි කළාය.  දීපිකා පදුකෝන්ට එම අවස්ථාව ලැබුණේ ඉන් පසුවය. සංජේ ලීලා බන්සාලි ගේ බජිරාඕ මස්තානි, සල්මන් ඛාන් ගේ සුල්තාන් ඇය විසින් ප්‍රතික්ෂේප කරන ලද තවත් චිත්‍රපටි දෙකකි. 
“ඒ කාලෙ මම සුශාන්ත් සිං රාජ්පුත් එක්ක සම්බන්ධකම තිබුණ කාලෙ.. මට ඕන වුණේ මම රඟ පානවට වැඩිය ඔහු තැනකට එනවා බලන්න.. මම ඒක කළා.. ඒ හින්දා මට ලැබුණ අවස්ථාවල් අතෑරියා කියලා මට පසුතැවිල්ලක් දැනෙන්නෙ නෑ..” ඇය කීවාය. 
සංජේ ලීලා බන්සාලි සිය චිත්‍රපටියට ඇය යොදා ගන්නට තීරණය කළ කාලයේ ඇය සිටියේ සුශාන්ත් හා විවාහයට සූදානමිනි. එම නිසා ඇය ඒ චිත්‍රපටිය බාර ගත්තේත් නැත. බාද්ලාපූර් චිත්‍රපටිය සඳහා වරුන් ධාවාන් විසින් කරන ලද ඇරයුම ද ඇය ඉවතලූවාය. 
“බජිරාඕ මස්තානි බාර ගන්න.. නැත්නම් කවදා හරි දවසක ඔයාට පසුතැවිලි වෙන්න වෙයි..”
ඇයට චිත්‍රපටිය ගැන කියමින් බන්සාලි ප්‍රකාශ කළේය. එහෙත් සියල්ලටම වඩා ඇයට වුවමනා වූයේ සුශාන්ත් සමඟ ගෙවන සුන්දර පවුල් ජීවිතයකි. ඒ වන විට ඔවුන්ගේ සම්බන්ධය අවුරුදු හයක් වයසැති වූ අතර ඉන් අවුරුදු දෙක හමාරක්ම ඔවුන් වාසය කළේ ඇගේ නිවසේය. එහෙත් ඉක්මනින් විවාහ වෙන්නට ඇයට තිබූ වුවමනාව සුශාන්ත්ට තිබුණේ නැත. ඔහුට වුවමනා වූයේ වෘත්තියෙන් ඉදිරියටම යන්නටය. ඒ සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුම්වල අවසන් ප්‍රතිඵලය වූයේ ඔහු අංකිතා සමඟ වූ සම්බන්ධය නතර කර දමා ඇගේ නිවසින් ද පිට වී යාමය. 
ඔහු ගියාට පසුව ඇය ජීවිතය ගැන බොහෝ සෙයින් කළකිරුණාය. තමාට දිවි නසා ගන්නට පවා කිහිප වරක් සිතුණ බැව් ඇය සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබිණි. 
“මට දැනුණෙ හැම දේම නැති වෙලා ගියා වගේ.. මම ඔහේ  ඇඳේ වැටිලා කිසිම කෙනෙක් එක්ක කතා කරන්නෙ නැතුව හිටිය දවස් අනන්තවත් තිබුණා.. එහෙම වුණත් මම සුශාන්ත් ගෙ මගේ ගෙදර බිත්තිවල එල්ලලා තිබුණ සුශාන්ත්ගෙ පොටෝ ගලවලා දැම්මෙ නෑ.. ගෙදරට එන හැමෝම මගෙන් ඇහැව්වා ඇයි ඒවා ගලවන්නෙ නැත්තෙ කියලා.. ඇත්තටම එහෙම කරන්න මට ශක්තියක් තිබුණෙ නෑ.. ඒ වගේම මට ඕන වුණේ ප්‍රශ්නෙන් පැනලා යන්න නෙමෙයි.. ඒකට මූණ දීලම හිත හදා ගන්න.. මම හැමෝටම කිව්වා ඒකට මට කාලය ඕන කියලා.. සෑහෙන කාලෙකට පස්සෙ මම ඒක කළා.. සුශාන්ත්ගේ පොටෝ අයින් කරලා ඒ තැන්වල වෙන කෙනෙකුගෙ පොටෝ එල්ලන්න තරම් දිරියක් මට ලැබුණා..” ඇය කීවාය. 
මේ වන විට ඇය ආදරය කරන්නේ විකී ජායින්ටය. ව්‍යාපාරිකයෙකු වන ඔහුත් තමාත් ඉතා සතුටින් ජීවත් වන බැව් අංකිතා කියන්නීය.  
සුශාන්ත් ගේ අකල් මරණයෙන් පසුව ඔහුගේ රසිකයන් ඇයට ද දොස් කීවේ ඇය ඔහුගෙන් වෙන් නොවුණේ නම් ඔහුට එවන් ඉරණමක් අත් නොවන බැව් කියමිනි. 
“මම කාටවත් දොස් කියන්නෙ නෑ.. ජිවිතේ හැමදේම සිද්ද වෙන්නෙ ඉරණමේ ලියවිලා තියෙන විදියට..” ඇය කියන්නීය.  
මේ වන විට ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගෙන ඇති බැව් කියැවෙයි. විවාහ ගිවිස ගැනීම සඳහා ඔහු ඇයට පළඳවා ඇත්තේ වටිනා දියමන්ති මුදුවකි. ඔවුහු 2020 දී මුම්බායි නගරාසන්නයෙන් තට්ටු නිවාසයක් ද මිළ දී ගත්හ. 
සිනමා නිළියක ලෙස ඇය දොරට වැඩියේ මණිකර්ණිකා චිත්‍රපටියෙනි. ඉනික්බිතිව ඇය භාගි 3 චිත්‍රපටියේ ද රඟ පෑවාය. 
 
20210410Susanth-1 20210410Susanth-2