සුශාන්ත් මත් ද්‍රව්‍ය අරන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200910-29

සුශාන්ත් සිං ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගනු ලබන අලුත් අලුත් තොරතුරු මාධ්‍යවලට නිකුත් වන්නේ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනාම මවිතයට පත් කරමිනි. සැබැවින්ම මේ මරණයට නිශ්චිත හේතුව මෙයයයි කියන්නට නොහැකි තරමට එය සංකීර්ණ වී තිබේ.

මේ වන විට ඔවුන් සුශාන්ත්ට සම්බන්ධ බොහෝ දෙනෙකු ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. වැඩි පුරම ප්‍රශ්න කිරීම්වලට බඳුන් වූයේ ඔහුගේ පෙම්වතිය වූ රී චක්‍රබෝර්තිය.

ඔහු විවිධ අය සමඟ කරන ලද වට්ස්ඇප් සංවාද ද නිලධාරීන්ගේ විමර්ශනයට ලක් වෙමින් පවතී. ඔහුගේ සොයුරියන් හතර දෙනාගෙන් එක් අයෙකු වන ප්‍රියංකා සමඟ කරන ලද සංවාදයක සඳහන් වෙන කරුණු සහ පවුලේ අයගේ පෙර ප්‍රකාශ අතර ඇත්තේ පරස්පර විරෝධී බවකි. සුශාන්ත් මානසික අවපීඩනයෙන් පෙළෙන බවක් තමන් දැනගෙන නොසිටි බැව් ඔවුන් කලින් ප්‍රකාශ කර තිබිණි. එහෙත් වට්ස්ඇප් සංවාදයේදී ප්‍රියංකා ඔහුට බෙහෙත් වර්ගයක් හඳුන්වා දී තිබිණි. එම වර්ගය භාවිතා කරන්නේ මානසික අවපීඩනයට වන අතර ඇය ඒවා නිර්දේශ කර ඇත්තේ වෛද්‍යවරයෙකුගෙන් අසා දැනගෙනය. එහෙත් සුශාන්ත් එම වෛද්‍යවරයා හමුවට කැටුව ගොස් නැත.

සුශාන්ත් ගේ තවත් සොයුරියක වන නීතු සහ ඔහුගේ හිටපු කළමනාකාරිය ශ්‍රැති මෝදි අතර වට්ස්ඇප් සංවාදයක් ද හෙළිදරව් වී තිබේ. සුශාන්ත්ට වෛද්‍යවරයා විසින් නියම කරන ලද බෙහෙත් වට්ටෝරු පිළිබඳව ඇය විමසා තිබෙන අතර ඒවා තමා වෙත එවන ලෙස ද දැනුම් දී තිබේ. එමෙන්ම සුශාන්ත්ට ප්‍රතිකාර කිරීම පිණීස වෛද්‍යවරයෙකු නිවසට ගෙන්වා ගත යුතු බව ද ඇය කියා තිබේ.

ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙකි. එය ද පවුලේ අය දන්නා රහසකි. ඔහුගේ නිවසේ නිතරම සාද පැවැත්වූ අතර ඔහුගේ එක් සොයුරියක් මේ සාදවලට එන්නට පුරුදුව සිටියාය. ඇගේ නම හෙළි වුයේ නැතත් ඇය ද මත් ද්‍රව්‍ය භාවිතා කළ බැව් හෙළි වී තිබේ.

“මේ විදියට බලනකොට ඔහුගේ අසනීපය ගැන තොරතුරු විතරක් නෙමෙයි ඔහු මත් ද්‍රව්‍ය භාවිතා කරන බවත් පවුලේ අය දැනගෙන ඉඳලා තියෙනවා.. ඔවුන් රී චක්‍රබෝර්තිට එල්ල කරලා තියෙන චෝදනා පදනම් විරහිතයි..”

එසේ කියන්නේ රී ගේ නීතිඥවරයාය. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිව් වරක්ම රී ගේ ප්‍රකාශ ලබාගෙන තිබේ. මේ වන විට සුශාන්ත් ගේ මරණයේ සැකකාරිය ලෙස ඇය සමාජයේ අවමන්වලට ද බඳුන් වී සිටින්නීය. නිරන්තරයෙන්ම සිය නිවසේ පිටත රැඳී සිටින මාධ්‍යවේදීන්ට එරෙහිව ඇය පොලීසියට පැමිණිල්ලක් ද කර ඇත.

රාජ්පුත් පවුල එකිනෙකා අතරේ විශාල බැඳීමක් ඇති පවුලක් බැව් කීවත් එය එසේ නොවන බැව් පවසන්නේ ශ්‍රැති මෝදිගේ නීතීඥවරයාය.

2019 නොවැම්බර් මාසයේ දිනෙක ඔහුගේ සොයුරියන් තිදෙනෙකු ඔහුගේ නිවසට පැමිණ තිබිණි. එදින රාත්‍රියේ ඔවුන් අතර ලොකු ගැටුමක් හට ගත්තේය. ගැටුමින් අනතුරුව සොයුරියන් හෝටලයක නවතින්නට ගොස් තිබේ. ඉන් සුශාන්ත් ගේ මානසික අවපීඩන තත්වය වැඩි වූ අතර ඔහු රෝහල්ගත කරන්නට සිදු වූයේය. ඔහු සිය පියාටවත් තමා දකින්නට එන්නට අවසර දී නැත.

“පවුලේ අය හින්දා තමයි මට මෙච්චර දෙයක් වුණේ... ඔයා ආවා කියලත් වෙනසක් නැ.. ඒ හින්දා එන්න ඕන නෑ..”

ඔහු සිය පියාගෙන් ලැබුණු දුරකථන ඇමතුමට පිළිතුරු දී ඇත්තේ එසේය.

කෙසේ වුවත් මේ සිද්ධිය තුළින් අලුත් මත් ද්‍රව්‍යයක් ද හෙළිදරව් වී ඇති බවත්, ඉන් ඔවුන් පුදුමයට පත් වූ බවත් ඉන්දියානු මත් ද්‍රව්‍ය නාශක අංශය පවසයි. මේ පිළිබඳ පරීක්ෂණ තව දුරටත් කෙරෙමින් පවතින්නේය.

 

චන්දි කොඩිකාර