සුශාන්ත් ගේ වියෝවෙන් තවමත් වැළපෙන සොයුරියෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200727-79

සුශාන්ත් සිං රාජ්පුත් ගේ මරණය සිදු වී දැනට දෙමසකට ආසන්න කාලයක් ගත වී ඇතත් ඉන් ඇති වූ ආන්දෝලනය පමණක් නොව ඒ පිළිබඳව කෙරෙන පරීක්ෂණ ද තවමත් නිමා වී නැත. දැන් බිහාර් පොලීසිය මඟින් පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ රාජ්පුත්ගේ පියා රී චක්‍රබෝර්තිට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමත් සමඟමය. මේ පෙත්සම ඉදිරිපත් කරද්දීම රී චක්‍රබෝර්ති ආ ගිය අතක් නැතැයි රාවයක් ක්ෂේත්‍රය පුරා පැතිර ගියේය.

“ඒක බොරුවක්.. රී ඉන්නෙ මුම්බායිවලම තමයි.. එයාට සුශාන්ත්ගෙ අවමඟුලට සහභාගි වෙන්න බැරි වුණේ කොරෝනා නිසා අමුත්තන් විස්සකට වැඩිය ගෙන්වන්න බැරි වුණ හින්දා.. ඒ විස්ස අතරේ රී ගෙ නම තිබුණෙ නෑ..”

එසේ පැවසුවේ ඇගේ නීතීඥවරයාය. සිව් වතාවක්ම පොලීසිය විසින් ඇය කැඳවනු ලැබූ බව ද, ඒ සිව් වතාවේම ඇය පොලීසියට ගොස් ඔවුන්ගේ පරීක්ෂණවලට සහයෝගය දුන් බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

“රී අතුරුදහන් වුණා කියන්නෙ බොරු කටකතාවක්.. ඇය අපි කැඳවපු හැම වෙලාවෙම පොලීසියට ආවා..”

මුම්බායි පොලිස් ප්‍රධානියා ද කියා තිබේ.

මේ අතර මුම්බායි පොලීසිය සහ බිහාර් පොලීසිය අතර සීතල යුද්ධයක් ද ආරම්භ වී තිබේ.

“අපි මේ සම්බන්ධයෙන් කිසිම වාර්තාවක් බිහාර් පොලීස්යට දෙන්නෙ නෑ.. එහෙම දෙන්න අධිකරණ බලයක් නෑ..”

මුම්බායි පොලීසිය කියන්නේය.

“මේ මරණයෙන් දවස් පනහකටත් වඩා ගත වෙලා ගිහිල්ලත් මුම්බායි පොලීසිය මොනවද කරලා තියෙන්නෙ..?”

බිහාර් පොලීසිය අසන්නේය. අවුරුදු හතරක් ඇතුළත සුශාන්ත් සිය බැංකු ගිණුමේ රුපියල් කෝටි පනහකට වඩා තැන්පත් කර තිබුණත් ඒ සියල්ලම ආපසු ගෙන තිබීම පුදුම සහගත බව බිහාර් පොලීසිය කියයි. එක් වසරක ඔහු කෝටි 17 ක් තැන්පත් කර තිබු අතර ඉන් කෝටි 15ක්ම ආපසු ලබාගෙන තිබේ. මේවා සැක කටයුතු සාධක වුවත් මුම්බායි පොලිසිය එයට අවධානයක් යොමු කර නැති බවට බිහාර් පොලීසිය චෝදනා කරන්නේය.

මේ අතර රාක්ෂා බන්ධන් උත්සවය දිනයේ රාජ්පුත්ගේ සොයුරියන් ඔහුගේ වියෝව පිළිබඳව බොහෝ හැඟුම්බර ප්‍රකාශ සමාජ මාධ්‍යවල පළ කර තිබිණි. රාඛී බන්ධන් වශයෙන් ද හැඳින්වෙන මේ උත්සවය පැවැත්වෙන්නේ සොයුරුසොයුරියන් අතර ඇති බැඳීම ප්‍රකට කරනු සඳහාය.

සුශාන්ත්ට සහෝදරියන් සිව් දෙනෙකි. එකම සොයුරා වූ බැවින් ඔහුට සියල්ලෝම බොහෝ සෙයින් ආදරය කළහ. සුශාන්ත් සිය වැඩිමහලු සොයුරිය නීතු සිං ඇමතුවේ රාණි ඩි නම් සුරතල් නමිනි. ඇය ඔහු ගුල්ෂාන් යනුවෙන් ඇමතුවාය.

“පූජා තැටිය උඩ කැවිලි තිබුණත්, පහන දැල්වුණත් අවුරුදු තිස් පහකට පස්සේ පළ වෙනි වතාවට පූජා තැටිය උඩ ඔයාගේ රාඛිය තනි වෙලා.. මම අයෙ කවදා ඔයාට රාඛියක් බඳින්න ද මගෙ ගුල්ෂාන්..? මේ තිලකය මම කාගෙ නළලෙ ද තියන්නෙ..? මගේ සහෝදරයා කියලා කාව ද වැළඳ ගන්නෙ..? ඔයා නැතුව ජීවත් වෙන්නෙ කොහොමද කියලා මට කියලා දෙන්න..”

යන අදහස ඇති කවියක් ඇය සමාජ මාධ්‍යයක පළ කර තිබිණි. එය කියැවූ සියලු දෙනාගේම ඇස් කඳුළින් තෙත් වූයේය. එයට පිළිතුරු වශයෙන් තවත් සොයුරියක් වන ස්වේතා සිං පළ කර තිබුණේ ඊටත් වඩා හැඟුම්බර අදහසකි. “මගේ රාණි ඩි, අම්මා නැති වුණ දා ඉඳලම අපි අම්මා විදියට සැළකුවේ ඔයාව.. ඔයාට සුබ රාක්ෂා බන්ධන් උත්සවයක් වේවා.. අපිට අපේ සහෝදරයා නැතුව ගියා තමයි.. ඒත් ඔහු කොහෙ හරි ඉඳන් අපි දිහා බලාගෙන ඇති.. ඔහුගේ ආදරය වැස්සක් වෙලා අපිව නාවනවා ඇති..”

මීතු සිං ඔහුගේ තවත් සොයුරියකි. ජාතික මට්ටමේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රිඩිකාවක වන ඇය ද සිය සොයුරාගේ අභාවය දරා ගත නොහැකිව තවමත් වැළපෙන්නීය.

“අපේ එඩිතරම ශක්තිමත්ම සොයුරිය ඔයා රාණි ඩි.. අපිට අපේ සොයුරා නැති වුණා තමයි.. ඒත් ඔහු වෙනුවෙන් අපේ හිත්වල තිබ්බ ආදරය සදාකාලයටම එහෙමම තියෙයි..” ඇය ලියා තිබිණි.

සුශාන්ත්ගේ අනෙක් සොයුරිය ප්‍රියංකා සිං ඇයත් සොයුරාත් බොහෝ සතුටින් සිනාසෙමින් ගන්නා ලද කළු සුදු සේයාරුවක් සමඟ ලියා තිබූ අදහස ද බොහෝ දුක්බරය.

“ඔයා මගේ සොහොයුරා විතරක් නෙමෙයි මගේ ආත්මගත මිතුරා.. ඇත්තටම මේ වියෝවෙන් දැනෙන දුක විස්තර කරන්න මට වචන නෑ.. ඔයා හැමදාම මගෙ හදවතේ ඉඳියි..”