සුශාන්ත් ගේ මරණයදිවි නසාගැනීමක්පරීක්ෂණ කණ්ඩායම කියයි
සුශාන්ත් සිං රාජ්පුත් ගේ මරණය ඉන්දියාව තුළ පමණක් නොව ලෝකය පුරාම රසිකයන් තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඔහු ගෙල වැලලා ගැනීමෙන් සියදිවි හානි කර ගත් බැව් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබුණත් එය පිළි ගන්නට පවුලේ අය මැලි වූයේය. එය මිනීමැරුමක් බවට තමා සැක කරන බැව් කියමින් ඔහුගේ පියා පෙත්සමක් ඉදිරිපත් කළේය. එහෙත් ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කළ අධිකරණ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ එය මිනීමැරුමක් බව ඔප්පු කරන්නට සාක්ෂි නොමැති බවය.
“එය ගෙල වැලලා ගැනීමෙන් සියදිවි හානි කර ගැනීමක්..”
සුශාන්ත් ගේ මරණයට හේතුව සෙවීම පිණිස ස්ථාපනය කරන ලද වෛද්‍ය මණ්ඩලයේ සභාපති සුධීර් ගුප්තා පැවසූ බැව් ඉන්දියා ටුඬේ වෙබ් අඩවිය වාර්තා කරයි. මේ මණ්ඩලයට වෛද්‍යවරු පස් දෙනෙක් ඇතුළත් වූහ.
“ගෙල වැලලා ගැනීමෙන් බෙල්ලේ ඇති වුණ තුවාල හැරෙන්නට මළ සිරුරේ ඇතුළත හෝ පිටත කිසිදු තුවාලයක් තිබුණේ නෑ.. ඒ වගේම පොර බැදීමක හෝ ගැලවෙන්නට උත්සාහ කිරීමේ සලකුණු ඇඳුමේවත් තිබුණෙත් නෑ..” සුධීර් පවසයි.
එය සිය දිවි හානි කර ගැනීමක් බැව් මරණ පරීක්ෂණය සිදු කළ මුම්බායි පොලීසිය විසින් මුලින්ම ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඔහුගේ පවුලේ අය එය පිළි ගත්තේම නැත.
“මේක ගෙල සිර කිරීමෙන් සිදු කළ මරණයක්.. ඒ බව ප්‍රකාශ කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ තරම් කාලයක් ගත කිරීම ගැන අපි කණගාටුවට පත් වෙනවා..”
රාජ්පුත් පවුලේ නීතීඥයා වන විකාස් සිං සැප්තැම්බර් 25 දා ප්‍රකාශයක් නිකුත් කරමින් එසේ කියා සිටියේය.
එහෙත් ඔවුන් ඉතා සූක්ෂම ලෙසින් සියල්ල පරීක්ෂා කළ බැව් වෛද්‍ය ගුප්තා පවසයි. මෙහි වාර්තාව නිකුත් කරන්නට ප්‍රමාද වූයේ මරණ පරීක්ෂණය සිදු කළ කූපර් රෝහලේ ඒ පිළිබඳ වීඩියෝ දර්ශන හෝ ඡායාරූප නොතිබූ නිසා බව ද ඔහු කීවේය.
මරණයට පෙර දිනයේ හා මිය ගිය දිනයේ සුශාන්ත් විසින් පානය කරනු ලැබ තිබූ දෙළුම් යුෂ, රෙඞ් බුල්, දොඩම් යුෂ ආදියේ විස හෝ මත් ද්‍රව්‍ය අන්තර්ගතව ඇද්දැයි සොයන්නට කළ පරීක්ෂණයේ ප්‍රතිඵල ද නිෂේධනාත්මක වූයේය. ඔහුගේ නියපොතුවල ද කිසිවක් තිබී නැත. ගෙල වැලලා ගන්නට භාවිතා කළ කුර්තාව ඇදී තිබූ ප්‍රමාණයත් ඔවුන්ගේ පරීක්ෂාවට ලක් වී තිබිණි.
ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ හා ජංගම දුරකථනයේ ද දත්ත පරීක්ෂා කළ කණ්ඩායම වාර්තා කර තිබුණේ ඔහු දෙවරක් පමණ වේදනා රහිත මරණයක් පිළිබඳව ගූගල් අඩවියේ සොයා බැලීම් කර ඇති බවය. ඔහුගේ අසනීප තත්වයට අදාළ තොරතුරු, ජූනි 9 දා මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන මිය ගිය ඔහුගේ හිටපු කළමනාකාරිනී දිසා සැලියේන් ගේ තොරතුරු ද ඔහු සොයා බලා තිබිණි. එපමණක් නොව ඔහු මේවා පිළිබඳව සිය නීතීඥයා හා නිවසේ සේවකයන් සමඟ ද සාකච්ඡා කර ඇති බැව් පොලීසිය පවසයි.
“දැන් අපේ තීන්දුව ප්‍රකාශ කරලා ඉවරයි.. අපි මේක අවසන් වුණ සිද්ධියක් විදියට සළකනවා..”
වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් පැවසුවේය.
එහෙත් මේ තීන්දුව පිළි ගන්නට සුශාන්ත් ගේ පවුලේ අය සහ ඔවුන්ගේ රසිකයන් මැලි වන බව ද කියැවෙයි.
සුශාන්ත් ගේ මරණ පරීක්ෂණයට අදාළව මත් ද්‍රව්‍ය භාවිතය පිළිබඳව සොයා බලද්දී අනාවරණය වුණ බොහෝ දේවල් ද මේ වන විට ආන්දෝලනයට තුඩු දී තිබේ. මත් ද්‍රව්‍ය භාවිතා කළ බවට හා ජාවාරම්කරුවන් සමඟ ගනුදෙනු කළ බවට සැක කෙරෙන බොලිවුඞ් ක්ෂේත්රයේ කිහිප දෙනෙකුම මත්ද්‍රව්‍ය නාශක අංශයට කැඳවා ප්‍රශ්න කරනු ලැබිණි. ජනප්‍රිය බොලිවුඞ් නිළියන් වන දීපිකා පදුකෝන්, සාරා අලි ඛාන් සහ ශ්‍රද්ධා කපූර් ද ඒ අතර වෙති. ඔවුන් නිදොස් බැව් හෙළි වූයේ වී නමුදු දැඩි දෝෂ දර්ශනවලට සහ අපහාසවලට ලක් වෙන්නට ඔවුන්ට සිදු වූයේය.
සාරා අලි ඛාන් මේ සිද්ධියට මැදිහත් වීම පිළිබඳව ඇගේ පියා සායිෆ් අලි ඛාන් බොහෝ සෙයින් කෝපයට පත් වූයේය. ඔහු සාරා වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට සිය දෙවන බිරිඳ කරීනා කපූර් ද කැටුව දිල්ලිය බලා පියාසර කළේය. දියණිය පිළිබඳව විමසිල්ලෙන් නොසිටීම පිළිබඳව ඔහු සිය පළමු බිරිඳ අම්රිතා සිංට ද දොස් පවරා තිබේ.
සිත් පීඩාවට පත්ව සිටින සාරා සනසන්නට ඉදිරිපත් වී සිටින්නේ සයිෆ් ගේ මව සහ සාරා ගේ ආච්චි අම්මා වන හිටපු ජනප්‍රිය නිළි ෂර්මිලා තාගෝර්ය. ඇය සාරාගේ අපිරිසුදු වූ නම පිරිසිදු කිරීමේ උත්සාහයක නිරත වී සිටින්නීය.
මේ අතර දීපිකාට තවත් අවදානමකට මුහුණ දෙන්නට සිදු වී තිබෙන්නේ ඇගෙන් ප්‍රශ්න කළ මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියාට කොවිඞ් වයිරසය වැළඳී ඇති බැව් හෙළිදරව් වීමත් සමඟය.