සිනමා හලක් තුළ තනි වීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දැවැන්ත සිනමා ශාලාවක් තුළ තනිව හිඳගෙන පුළුල් තිරයේ චිත්‍රපටියක් නැරඹීම සැබැවින්ම අපූරු අත්දැකීමකි. එහෙත් කාන්තාවකට ඒ අත්දැකීම විඳින්නට නම් ඇය තුළ ලොකු ආත්ම විශ්වාසයක් හා එඩිතර බවක් තිබිය යුතුය. තමා තුළ ඒ ගුණාංග ඇති බැව් ඔප්පු කරමින් නිම්රත් කවුර් පසු ගියදා මුම්බායිහි සිනමා ශාලාවක දර්ශන වාර දෙකටම ප්‍රවේශ පත්‍ර වෙන් කරවාගෙන තනිවම හොලිවුඞ් චිත්‍රපටියක් නැරඹුවාය. 
කොරෝනා වසංගතය හේතුවෙන් වසා තිබූ සිනමා ශාලාඔක්තෝබර් මාසයේ නැවත විවෘත කළේ සියයට පනහක පිරිසක් පමණක් ඇතුළත් කර ගැනීමේ කොන්දේසිය මතය. මාස ගණනාවක් ගෙවල්වලම සිර වී, පුංචි තිරයෙන් පමණක් චිත්‍රපටි නැරඹූ සිනමා ලෝලීහු පුළුල් තිරයේ චිත්‍රපටියක් නැරඹීමේ ආශාවෙන් හෙමිහෙමිහිට ගෙවල්වලින් පිටතට පැමිණියහ. චිත්‍රපටියක් නැරඹීමේ නියම ආස්වාදය විඳින්නට නම් සිනමා ශාලාවක් තුළදී එය නැරඹිය යුතුයයි අදහන සිනමා ලෝලීන් අතර නිම්රත් කවුර් ද එක් අයෙකි. 
“ටිකට් වෙන් කර ගත්තත් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරලා නැත්නම් හරි, මට අපහසුවක් දැනෙන දෙයක් සිද්ද වුණොත් හරි ආපහු එන බලාපොරොත්තුවෙන් තමයි මම සිනමා ශාලාවට ගියෙ.. ඒත් එහෙම කිසිම දෙයක් සිද්ද වුණේ නෑ.. මුළු ශාලාවම විෂබීජහරණය කරලා තිබුණා.. අත් සේදීම, සමාජ දුරස්තර භාවය පවත්වා ගැනීම වගේ දේවලට ලොකු අවධානයක් යොමු කරන බව ඔවුන් කීවා.. ඒ ක්‍රම හරියටම අනුගමනය කරලා මුඛ ආවරණ පැළඳගෙන සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටියක් නැරඹීම අනතුරුදායක නෑ කියලා මට කියන්න පුළුවන්..” නිම්රත් පැවසුවාය.
නිම්රත් මුම්බායිවල වාසය කරන්නේ තනිවමය. එම නිසා ඇය සියලු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කර තනිවම ශාලාවට ද ගියාය. 
“දැවැන්ත හෝල් එකක තනියම ෆිල්ම් එකක් බලනවා කියන එක විකාරයක් වගේ තමයි.. මටත් මුලින් මහ අපහසුවක් දැනුණා.. ඒත් පස්සෙ මම ඒ අත්දැකීම වින්දා.. මම බැලුවේ විද්‍යා ප්‍රබන්ධයක් අනුව කරපු ෆිල්ම් එකක්.. කිසිම කෙනෙක් නැති හෝල් එකක ලොකු තිරයක මාස්ක් එකකුත් දාගෙන ෆිල්ම් එක බලනකොට මට හිතුණෙ මමත් ඒ ලෝකේ ජීවත් වෙනවා වගේ දෙයක්..  ලස්සනම දේ කියන්නෙ මම ටිකට් එක බුක් කර ගත්තෙ 12.30 ෂෝ එකට.. ඒත් කලින් ඇහැරුණ හින්දා මට හිතුණා 10 ෂෝ එක බලන්න ඕන කියලා.. ඉතින් මම ඒකට ගියා.. මම ෆිල්ම් එක බලබලා ඉන්නකොට මට කෝල් එකක් ආවා මේ ෆෝන් නම්බර් එකෙන් 12.30 ටිකට් එකක් බුක් කරලා තියෙනවා කියලා.. එතකොටයි මම දන්නෙ ඒ ෂෝ එක බලන්න ඉන්නෙත් මම විතරයි කියලා.. ඇත්තටම ඒ කාලෙ සෙනඟ පිරිලා ඉතිරිලා හිටිය සිනමා ශාලාවල අද වෙනකොට තියෙන්නෙ මේ වගේ ශෝචනීය තත්වයක්..” ඇය කියන්නීය. 
මේ වසංගතය ඉක්මනින් දුරු වී සියල්ල යථා තත්වයට පත් වෙනු දකින්නට ඇය ද පුලපුලා බලා සිටින්නීය. 
යහාන්, වන් නයිට් වන් කිංග්, ද ලන්ච් බොක්ස්, එයාලිෆ්ටර් ඇතුළු චිත්‍රපටි රැසක මෙන්ම ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝ, වෙබ් චිත්‍රපටි ආදියේ ද රඟ පා ඇති නිම්රත් කවුර් ගේ අලුත්ම චිත්‍රපටිය අත්රාංගි රෑ ය.  

20210109Nimrath-1 20210109Nimrath-2