සාන්යා මල්හෝත්‍රා හදිසි අනතුරක
සාන්යා මල්හෝත්‍රා වෙලුම් පටි යොදන ලද සිය වමත් සුළැඟිල්ල ප්‍රදර්ශනය කරමින් ගන්නා ලද සේයාරුවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වූයේය.
“පරිස්සමින් ගෙදර වැඩ කරන්න..”
ඒ පින්තූර සමඟම ඇය අනෙක් අයට අවවාදයක් ද දී තිබිණි.
සාන්යා සිය අත තුවාල කරගෙන තිබුණේ බ්ලෙන්ඩරයක් ආධාරයෙන් චට්නි සාදමින් සිටියදීය.
තනිවම නිවසේ සිටි ඇය චට්නි සාදමින් සිටියදී බ්ලෙන්ඩරයේ ක්‍රියාකාරිත්වයේ යම් දෝෂයක් ඇති වී එහි පියන ඉවතට වීසි විණි. ඇය පියන නැවත සවි කිරීමට උත්සාහ කරද්දී වැරදීමකින් ඇගේ වමත බ්ලෙන්ඩරය තුළට ගියේය. ඉන් ඇගේ අත බරපතල ලෙස තුවාල වූයේය. සුළැඟිල්ල කැපී එල්ලෙන්නට වූ අතර අනෙක් ඇඟිලිත් කැපිණි. බොහෝ සෙයින් බියපත් වූ ඇය ක්ලාන්තය සෑදෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී යෙහෙළියකට දුරකථන ඇමතුමක් දුන්නාය. රට වසා තිබුණත් ඒ බැව් නොතැකූ ළඟපාත සිටි යෙහෙළිය වහා පැමිණ ඇය ළඟම රෝහලට රැගෙන ගියාය. කොවිඞ් 19 ශරීරගත වී ඇද්දැයි පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඇය රෝහලට ඇතුළත් කර ගන්නා ලද අතර කැපී එල්ලෙමින් තිබුණ ඇඟිල්ල යථා තත්වයට පත් කිරීම සහ අනෙක් ඇඟිල්ලේ තිබු ගැඹුරු කැපුමට මැහුම් දැමීම සඳහා ශල්‍ය කර්මයක් කරන ලදී.
ඇය රෝහලින් මුදා හැරියාට පසුව සාත්තුවට ඇගේ නිවසේ නතර වූයේ කාලයක් ඇයත් සමඟ එකම නවාතැන් කාමරය බෙදාහදා ගත් මිතුරිය වන හර්ෂිතාය.
“ඇඟිල්ල හොඳටම සනීප වෙන්න සෑහෙන දවසක් යයි.. කොහොම වුණත් මේ දවස්වල වැඩ නැති හින්දම හොඳයි.. ”
සාන්යා කියන්නීය.
දාංගල් චිත්‍රපටියේ බබිතා කුමාරිගේ චරිතය රඟ පාමින් 2016 දී සිනමා ක්ෂේත්රයට පා තැබූ සාන්යා අවසානයට දකින්නට ලැබුණේ බධායි හෝ චිත්‍රපටියෙනි.