සල්මන් ඛාන් ගේ ගොවිපොළ නිවස



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 ENT-20200617-17

සල්මන් ඛාන්ගේ ගොවිපොළ නිවෙස පිහිටා තිබෙන්නේ පැන්වෙල් ප්‍රදේශයේය. ගොවිපොළ නිවසක් කී විට බොහෝ දෙනෙකුගේ සිතේ ඇඳෙන්නේ ලීවලින් නිර්මාණය කරන ලද බිත්ති සහ පිදුරු සෙවිලි කළ වහල සහිත දර්ශනීය පැල්පතකි. එහෙත් මේ ගොවිපොළ නිවස එවන් කුඩා හෝ සම්ප්‍රදායික ගොවි නිවසක් නොවේ. එහි භූමි ප්‍රමාණය අක්කර 150 ක් දක්වා විසිරී තිබෙන්නේය. සිය නැගණිය අර්පිතාට ඔහු මොන තරම් ආදරය කරන්නේ ද යත් ගොවිපොළ නම් කර ඇත්තේ අර්පිතා ගොවිපොළ යනුවෙනි. සල්මන්ගේ දෙවැනි නිවස මේ ගොවිපොළය.

මෙහි ලොකු පිහිනුම් තටාකයක් සහ සියලුම උපකරණ සහිත ව්‍යායාමාගාරයක් ද තිබෙන්නේය.

54 හැවිරිදි සල්මන් ලොක් ඩවුන් කාල සීමාව ගෙව්වේ මේ නිවසේය. ඔහුගේ පෙම්වතිය ලෙස සැළකෙන ලූලියා වැන්චුවර් පමණක් නොව ජැකලීන් ෆර්ඩිනැන්ඩස් සහ තවත් නළුනිළියෝ කිහිප දෙනෙක් එහි සිටියහ. ඊට අමතරව සල්මන්ගේ මව, නැගණිය අර්පිතා ඇගේ සැමියා, දරුවා සහ සල්මන් ගේ සොයුරු සොහේල් ගේ පුතු නිර්වාන් ද ඒ කණ්ඩායමට අයත්ය.

“අනිත් අය සල්මන්ගේ ෆාර්ම් හවුස් එකේ ඉන්න එක තේරුම් ගන්න පුළුවන්.. ඒත් ජැකලීන් මොනවට ගියා ද..?”

සමහරු කුතුහලයෙන් ප්‍රශ්න කළහ.

ජැකලීන් ඉන් පෙර ද කිහිප වතාවක් එම නිවසේ කල්ගත කර තිබිණි. එහෙත් මෙවර ඇය එහි යන්නට ඇත්තේ මෙතරම් කාලයක් සිටීමේ බලාපොරොත්තුවෙන් නොවන බැව් සමහරු කියති. තවත් සමහරු කියන්නේ ඇය වියදම් අඩු කර ගැනීමේ අරමුණින් එහි පැමිණි බවකි.

කෙසේ වෙතත් ඔවුන් එහි සතුටින් ගත කරන දර්ශන වරින්වර සමාජ ජාලා වෙබ් අඩවිවල පළ වූයේය.

සල්මන් සිය අශ්වයාට කොළ වර්ගයක් කවමින් ඔහු ද එයින්ම කොළ කිහිපයක් කන හාස්‍යජනක වීඩියෝවක් ද ඒ අතර තිබිණි.

පසුගියදා ඉන්දියාවට කඩා වැදුණ නිසර්ගා කුණාටුවෙන් සල්මන්ගේ ගොවි පොළට ද හානි සිදු විණි. ගස් කිහිපයක්ම කඩා වැටුණ අතර සුළඟින් ගසාගෙන ආ කොළ ගොවිපොළ නිවසේ මිදුල පුරාම විසිරී තිබිණි. ඔහුගේ සේවකයන් මිදුල පිරිසිදු කරද්දී සල්මන් සහ ලූලියා ද ඔවුන්ට එක් වූහ. කොට කලිසමකින් සහ ටී ෂර්ටයකින් සැරසුණ සල්මන් ඉලපතකින් ද, ලූලියා ඉදලකින් ද කොළ අතු ගා එකතු කරන වීඩියෝව බොහෝ දෙනෙක් නරඹා තිබිණි. ඔහු ඒ කාර්යය කළේ පසුගිය දා යෙදී තිබුණ ලෝක පරිසර දිනය වෙනුවෙන් බවද මාධ්‍යවල සඳහන් වූයේය.

 

ENT-20200617-16