සන්ජේ දත්ට පෙනහලු පිළිකාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200824-57

සන්ජේ දත්ට පෙනහලු පිළිකාවක් වැළඳී ඇති පුවත වේගයෙන් පැතිර යද්දී ඔහුගේ රසිකයෝ බොහෝ සෙයින් කනස්සල්ලට පත් වූහ. එපමණක් නොව 2020 යනු සියලුම නළුනිළියන්ට අසුබපල ගෙන දුන් වසරක් ලෙස ද ඔවුහු කියන්නට පටන් ගත්හ. සන්ජේ දත් හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළෙන විට ඔහු සිතුවේ තමාටත් කොවිඞ් 19 ආසාදනය වී ඇති බවය. අගෝස්තු 8 වෙනිදා ඔහු ලීලාවතී රෝහලට ඇතුළත් කරනු ලැබිණි. එහිදි කරන ලද පරීක්ෂණවලින් හෙළි වූයේ ඔහු කොරෝනා රෝගියෙකු නොවන බවය. එම නිසා ඔහු ස්කෑන් පරීක්ෂණවලට යොමු කරනු ලැබිණි.

“දකුණු පෙනහැල්ලෙ වතුර පිරිලා තියෙනවා.. සමහර විට බැක්ටීරියා ආසාදනයක් හරි, ක්ෂය රෝගය හරි වෙන්න පුළුවන්..”

වෛද්‍යවරු පැවසූහ.

ඔහු ගේ පෙනහැල්ලෙන් ලීටර එක හමාරක දියර ප්‍රමාණයක් ඉවත් කරනු ලැබිණි. මේ බැව් දැන ගත් විට සන්ජේ් දත් කලබල වූයේය. සිය රෝග තත්වය දැන ගැනීමේ බලවත් වුවමනාවකින් පෙලුණ ඔහු බොහෝ ප්‍රශ්න විමසුවේය. අවසානයේදී ඔහුට වැළඳී ඇත්තේ පෙනහලු පිළිකාවක් බැව් හැඳින ගත් අතර කීමියෝතෙරපි ප්‍රතිකාරය හැර වෙන කළ හැකි දෙයක් නැති බැව් වෛද්‍යවරු නිගමනය කළහ. එහෙත් ඔහුට අවශ්‍යනම් එතෙරක ගොස් ප්‍රතිකාර ගන්නට ඔවුහු අවසර දුන්හ.

ඒ අනුව ඔහු ඇමෙරිකාවට රැගෙන යනු ලැබිණි.ENT-20200824-58

ලෝකයේ වැඩි දෙනෙකුට බහුලව වැළඳෙන මාරාන්තික පිළිකා අතර දෙවැනි තැන හිමි වී ඇත්තේ පෙනහලු පිළිකාවලට බැව් විශේෂඥයෝ පවසති. මෙයට වැඩිපුරම බලපාන්නේ දුම්බීමය. දුම්කොළ හැපීම, ද්වීතියික දුම් පානය, පරම්පරාවේ අයෙකුට වැළඳී තිබීම වැනි හේතු මත ද කෙනෙකුට පෙනහලු පිළිකාව වැළඳෙන්නට ඉඩකඩ තිබේ.

සන්ජේ දත් දුම් බොන්නට පටන් ගත්තේ වයස අවුරුදු හයේදී බැව් කිවහොත් කිසිවෙකු එය විශ්වාස කරන්නේ නැත.

ජනප්‍රිය නළුනිළි යුවළක වූ සුනිල් දත් සහ නර්ගිස්ගේ පළමු දරුවා සන්ජේ දත් ය. එම නිසාම ඔහුට ලැබුණේ කුමාරයෙකුට ලැබෙන සැළකිලිය. ඔහු ඉල්ලන්නේ කුමක් ද එය ලබා දීමට දෙමව්පියෝ සැදීපැහැදී සිටියහ. එම නිසාම ඔහු මුරණ්ඩු දරුවෙකු වූයේය.

සුනිල් දත් චිත්‍රපටි රූගත කිරීමක් සඳහා කාශ්මීරයට ගොස් සිටියදී නර්ගීස් ද සන්ජේ කැටුව එහි ගියාය. එහිදී සුනිල් සිගරට්ටුවක් උරමින් සිටිනු දුටු සන්ජේ තමාටත් එයින් එකක් වුවමනා බැව් කියමින් පෙරළි කළේය. නර්ගීස්ට ඔහු පාලනය කර ගන්නට හැකි වූයේ නැත.

අවසානයේදී පුතු අස්වසන්නට පියාට මැදිහත් වෙන්නට සිදු වූයේය.

අවුරුදු හයක දරුවෙකුට දුම් පානය කරන්නට හැකියාවක් ඇතැයි සුනිල් විශ්වාස කළේ නැත.

“ඇඟිලි පිච්චිලා, කැස්ස ඇවිල්ලා සිගරට් එපා වෙයි..”

එසේ සිතූ සුනිල් පුතු පසෙකට කැඳවාගෙන ගොස් ඔහු අතට සිගරට්ටුව දී උරන ආකාරය පෙන්වීය. ඔහු පුදුමයට පත් කරමින් සන්ජේ බොහෝ හුරුබුහුටි ලෙස මුළු සිගරට්ටුවම පානය කළේය. පළමු වරට සිගරට්ටුවක් උරන ගැටවරයෙකුට එන කැස්සවත් මේ හය හැවිරිදි දරුවාට ආවේ නැත. පුදුමය සමඟම කෝපයටත් පත් සුනිල් පුතුට පහර දී ඔහු අව්වේ ද සිටුවා තැබීය.

එහෙත් මේ මුරණ්ඩු දරුවා දුම් පානයෙන් ඈත් කර තබන්නට සුනිල් දත්ට හැකි වූයේ නැත. සුනිල් දත් හමු වෙන්නට ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ඔහු ගේ නිවසට පැමිණියහ. ඔවුන් කතාබහ කළේ දුම් පානය කරමිනි. සන්ජේ දත් දස හැවිරිදිව සිටියදී ඔවුන්ට නොපෙනෙන්නට බිම දිගා වී සිට ඉවත ලන සිගරට් කොට පානය කරන්නට පුරුදුව සිටියේය. වරක් ඔහු නාන කාමරයේ සිගරට්ටුවක් බොමින් සිටියදී සුනිල්ට හසු වී දඬුවම් වින්දේය.

මොන තරම් දඬුවම් වින්දත් ඔහුට ඒ පුරුද්දෙන් අත් මිදෙන්නට පුළුවන් වූයේ නැත.

ඔහු මත් ද්‍රව්‍ය භාවිතයට හුරු වූයේ මිතුරන් නිසාය. උසස් අධ්‍යාපනය හදාරන කාලයේදී ඔහු කෙල්ලන් සමඟ කතා කරන්නට ලැජ්ජාවෙන් පෙලුණේය.

“මේවා ගත්තම බය නැතුව කතා කරන්න පුළුවන්..”

දිනෙක මිතුරෙකු ඔහුට කොකේන් දුන්නේ එසේ කියමිනි. මිතුරා කියූ දේ සැබෑවක් බැව් ඔහුට පසක් වූයේය. ලැජ්ජාවක් නැතිව කෙල්ලන් සමඟ කතා කළා පමණක් නොව ඔහු දිගින් දිගටම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූයේය. මුල් කාලයේදී ඔහු භාවිත කළේ කොකේන් සහ හෙරොයින් පමණකි. පසුව වෙනත් ඒවා ද භාවිතා කරන්නට පටන් ගත්තේය.

ඔහු ඒවාට මොන තරම් ඇබ්බැහි වූයේ ද යත් 1981 පළමු චිත්‍රපටිය රොකී රූගත කරන්නට කාශ්මීරයට යද්දී සිය සපත්තු තුළ හෙරොයින් කිලෝවක් සඟවාගෙන ගුවනින් ගියේය. එකල ගුවන් තොටුපලවල එතරම් තදින් මත් ද්‍රව්‍ය නීති ක්‍රියාත්මක වූයේ නැත. ඔහුගේ මව නර්ගීස් පිළිකාවකින් පීඩා විඳිමින් රෝහලේ සිටියදීත් ඔහු සිය ඇබ්බැහියෙන් මිදුණේ නැත. මවගේ මරණයෙන් ටික දිනකට පසුව ඔහු හෙරොයින් පානය කර නිදා ගත්තේය. ඔහු අවදි වූයේ දැඩි කුසගින්නකින් පෙළෙමිනි.

“මට හොඳටම බඩගිනියි.. කන්න ඕන..”

ඔහු සිය මෙහෙකරුවාට කිව්වේය. මෙහෙකරුවා හඬන්නට පටන් ගත්තේය.

“මහත්තයා නැගිට්ටේ දවස් දෙකකින්.. ගිහින් කණ්ණාඩියෙන් මූණ බලන්න..” ඔහු කීවේ ඉවත බලාගෙනය.

සන්ජේ වහා නාන කාමරයට ගියේය. සිය මුහුණ එහෙම පිටින්ම වැහැරී ඇති අයුරුත් නාැසයෙන් හා කටින් ලේ ගලන අයුරුත් ඔහුට පෙනිණි. ඔහු බොහෝ සෙයින් බියපත් වූයේය. තව දුරටත් මත්ද්‍රව්‍ය භාවිතා කළහොත් මරණය ඒකාන්ත බැව් ඔහුට වැටහිණි. ඔහු වහා සිය පියා සොයා ගොස් තමාට පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යාමට වුවමනා බැව් කීවේය. ඒ අනුව ඔහු ඇමෙරිකාවට යවනු ලැබිණි.

“මම පාවිච්චි නොකරපු මත් ද්‍රව්‍යයක් තිබ්බෙ නෑ.. දැන් නම් මට හිතෙනවා අපරාදෙ මම ජීවිතේ නාස්ති කර ගත්තා කියලා..”

ජූලි මාසයේදි සිය 61 වන උපන් දිනය සැමරූ සන්ජේ පවසයි.

ඔහුගේ පළමු පෙම්වතිය ටීනා මුනිම් මෙන්ම, පසුකාලයක පෙම්වතිය වූ මධුරි ඩික්සිත් ද ඔහු අතැර ගියේ ඔහුගේ මත් ද්‍රව්‍ය ඇබ්බැහිය නිසාය.

ඔහුගේ පළමු බිරිඳ රිචා ශර්මා මිය ගියේ පිළිකාවක් නිසාය. ඒ විවාහයෙන් ලද දියණිය ත්‍රිශාලා ඇමෙරිකාවේ ජීවත් වන්නීය. දෙවන බිරිඳ රී පිල්ලෙයි ගෙන් ඔහු දික්කසාද වූයේය. තුන් වෙනි බිරිඳ මන්යාතා සමඟ ඔහු තවමත් වාසය කරන්නේය. ඒ විවාහයෙන් ඔහුට දරුවන් දෙදෙනෙකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගනු ලැබු ඔහු කලක් ගත කළේ බන්ධනාගාරයේය. මේ අලුත් විපත විසින් ඔහුගේ ජීවිතය කොතැනකට යොමු කරනු ඇද්දැයි දන්නේ දෙවියන්ම පමණකි.

 

චන්දි කොඩිකාර