සතුට වැඩිකමට නින්ද ගියෙත් නැහැ...



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-14-ent-86

සංගීත්... “මගේ මරණ මංචකයේ” ගීතයට පසුව ඔබ අලුත් සින්දුවක් කරලා තියෙනවා. ඒකත් වෙනස් විදිහේ නිර්මාණයක්...?

ඔව්... මගේ මරණ මංචකයේ ගීතයට පස්සේ මම අපේ රටේ ගීත කෝකිලාවිය වූ ලතා වල්පොල මහත්මිය සමඟ ගීතයක් ගායනා කළා. “සසර පුරා පැතුව නිසා අපි ආදරේ” නමින් තමයි ඒක හඳුන්වන්නේ. පද රචනා කළේ මේනක අරුමපුර කියන අයියයි. සංගීතය නඳුන් රත්නායක අයියයි. ඒ වගේම එහි සංගීත අධ්‍යක්ෂණය කළේ ලතා වල්පොල මහත්මියගේ මුණුපුරා වුණු තිසර බණ්ඩාරයි.

 

ලතා වල්පොල මහත්මිය වැනි ප්‍රවීණ කලාකාරියක් සමඟ ගීතයක් ගායනා කරන්න ලැබීමත් සුවිශේෂියි. මේ අවස්ථාව ලැබුණේ කොහොමද...?2018-08-14-ent-87

ඇත්ත... ඒක නම් සුවිශේෂිම අවස්ථාවක් තමයි. මම රැකියාව කළේ විදේශ රටකයි. මගේ සංගීත ගුරුතුමා වන්නේ සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතායි. මම කලාභූමි ආයතනයේත් සංගීතය ඉගෙන ගත්තා. ඉතින් මම ලංකාවට එන හැම වතාවකම වගේ මගේ ගුරුතුමා ඇතුළු මේ රටේ මම ආදරය කරන ගරුකරන කලාකරුවන්, කලාකාරියන් කිහිප දෙනෙක්ම බලන්න යනවා. ඉතින් ලතා වල්පොල මහත්මියත් මම අතිශයෙන්ම ගරුකරන සංගීතවේදිනියක්.

 

මෙවැනි කටයුත්තක් සඳහා යෝජනා කළේ කවුද...?

ඔහොම බලන්න ආපු එක දවසක නඳුන් අයියයි, තිසර මල්ලියි තමයි මුලින්ම මට මේ යෝජනාව කළේ. ඒ වෙනකොට ලතා වල්පොල මහත්මිය අවුරුදු ගණනාවකින් යුග ගායනාවක් කරලා තිබුණෙත් නැහැ. ඒ වගේම මම වගේ ආධුනික කෙනෙක් එක්ක ලතා වල්පොල මහත්මිය ගීතයක් ගායනා කරලා තිබුණේම නැහැ. ඉතින් නඳුන් අයියායි තිරස මල්ලියි තමයි ඒ යෝජනාව කළේ.

 

ඒ යොජනාව කරද්දී සංගීත්ට මොකද හිතුණේ...?

අම්මෝ... ඒක මට හීනයක් වගේ වුණා. යෝජනාවක් තිබුණාට මාත් එක්ක ගීතයක් ගායනා කරන්න ලතා වල්පොල මහත්මිය කැමති වෙන්නත් ඕනෙනේ. ඉතින් මම දවසක් නඳුන් අයියා එක්ක ලතා වල්පොල මහත්මිය මුණගැහෙන්න එතුමියගේ ගෙදරට ගියා. මම මගේ ගීතය ගායනා කරලා ඊට පස්සේ එතුමියගේ “රුවන් වලා විමානේ” ගීතයත් ගායනා කළා. ඒක හරි අපූරුවට අහගෙන ඉඳලා “මේ කොල්ලගේ මාර වොයිස් එකක්නේ තියෙන්නේ. අපි සින්දුවක් කරමු.” කියලා එතුමියම කැමති වුණා. ඇත්තටම විශ්වාස කරන්න... එදා මට සතුට වැඩිකමටම ගෙදර ගිහින් නින්ද ගියෙත් නැහැ. ඊට පස්සේ මම මේනක අයියට කියලා හරි ලස්සන ගීතයක් ලියාගත්තා. ඒක ආදර ගීතයක්. ඒ ගීතයට අදහස දුන්නෙත් නඳුන් අයියයි. තිසර මල්ලියි. ඒ වගේම ධම්මිකා වල්පොල මහත්මියත් මට ලොකු සහයෝගයක් දුන්නා. ප්‍රවීණයන් ආධුනිකයන්ට අත දෙන්නේ නැහැ කියලා කියන දේ බොරුවක් වුණා. ඊට පස්සේ අපි තිසරගේ ස්ටූඩියෝවේම මේ ගීතය පටිගත කළා.

 

ගීතය පටිගත කරද්දී සංගීත් ලබපු අත්දැකීම් ගැන කිව්වොත්...?

ඒකත් වෙනමම දෙයක්. වචනවලට පෙරළගන්න බැරි අත්දැකීමක්. ගීතයට මම ටික කාලයක් පුහුණු වුණා. නමුත් ලතා වල්පොල මහත්මිය සංගීතය අහපු ගමන් ඒ ගීතයට හුරුවුණා. මේ ගීතය පටිගත කළේ මිසුයි මායි දෙන්නම එකටමයි. මිස් මම ගීතය ගායනා කරද්දී මම ළඟ ඉඳගෙන මගේ අඩුපාඩු පෙන්නලා දුන්නා. සමහරු මේ සමාජයේ කියන දෙයක් තමයි ප්‍රවීණයෝ කියන්නේ කුහකයෝ. ආධුනිකයින්ට අතදෙන්නේ නැහැ කියලා. හැබැයි කවදාවත් ප්‍රවීණයන් කුහක නැහැ. ඔවුන් සංගීතයට ආදරය කරන ආධුනිකයින්ට හැමවෙලේම අත දෙනවා. මිස් මාත් එක්ක ගීතය ගායනා කරද්දී මට මුලින් සින්දුව ගායනා කරන්න කියලා කිව්වා. එතනදී මහින්ද බණ්ඩාර, ධම්මිකා බණ්ඩාර මහත්මිය වගේම තිසර මල්ලියි, නඳුන් අයියයි මට ගොඩාක් උදව් කළා. ඒ හැමෝගේම ඉදිරියේ එදා මිස් එක්ක ගීතය ගායනා කළා.

 

ගීතය ගායනා කරලා අවසන් වුණාට පස්සේ එතුමිය මොකද කිව්වේ...?

ගොඩාක් සතුටු වුණා. මට ආශිර්වාද කළා. “මේකට පුතා වීඩියෝ එකක් කරනවා නම් කියපන්... ඒකටත් මම එන්නම්” කියලා හරිම ආදරෙන් කිව්වා. නමුත් ඒ වෙද්දී වීඩියෝ එකක් කරන්න තරම් ආර්ථික තත්ත්වයක් මට තිබුණේ නැහැ. ඒ ගැන මම කියද්දී “එහෙම නම් ස්ටූඩියෝ එකේ වීඩියෝ කරගන්න. මම සින්ග් කරන්නම්” කියලා කිව්වා. ඊට පහුවදා නැවතත් ලතා වල්පොල මහත්මිය ආයෙත් වීඩියෝ එකක් කරන්න ඕනේ නිසා ස්ටූඩියෝ එකට ඇවිත් ආයෙත් මේ ගීතය ගායනා කළා. ඒ තරම් ඇය හරිම නිහතමානී කලාකාරියක්. ලතා වල්පොල කියන්නේ ගීත කෝකිලාවිය විතරක් නෙමේ. ඇය ආධුනිකයින්ට ආශිර්වාද කරන හරිම නිහතමානී කලාකාරියක්. අද ලතා වල්පොල මහත්මියගේ ගීත මේ රටේ තියන රියැලිටි වැඩසටහන්වල ගායනා කරලා ජයග්‍රහණ ලබලා ප්‍රසංග වේදිකාවේ ගයලා බොහෝ මුදල් හම්බ කරගන්නවා. නමුත් ඒ බොහෝ පිරිසක් ඇයව බලන්නවත් යන්නේ නැහැ. ඇත්තටස ඒක කොයිතරම් වැරුද්දක්ද...?

 

අද මොකද සංගීත්ට හිතෙන්නේ...?

හීනයක් හැබෑ වුණා වගෙයි දැනෙන්නේ. ඇත්තටම ඒක වචනවලට කියාගන්න බැරි හැඟීමක්. ආධුනිකයෙක් විදිහට මට ලැබුණු මේ අවස්ථාව ඇත්තටම පුදුමයක්. මට ආයේ සින්දුවක් කරගන්න නොලැබුණත් මට කමක් නැහැ. ඒ තරමටම මට ඒ ගීතය ඇති. ඒ තරමටම ඒක මට හරියට වටිනවා.

 

සංගීත් විදෙස්ගත වෙලා ඉන්නේ... ලංකාවට නිවාඩුවට ඇවිත් මේවගේ නිර්මාණ කරන්නේ සංගීතයට තියෙන කැමැත්ත නිසාමද...?

ඔව්... ඒ කැමැත්ත නිසාමයි. ගියපාර මම ගායනා කරපු “මගේ මරණ මංචකයේ” ගීතයත් ඒ වගේ නිවාඩුවකට ආපු කාලයක කරපු නිර්මාණයක්. මම කලාවට හරි ආදරෙයි. කලාභූමි ආයතනයේ ඉගෙන ගෙන සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා යටතේ සංගීතය හැදෑරුවා. මට විදෙස්ගත වුණාට පස්සෙත් අනුරාධා නන්දසිරි මහත්මිය මට කතා කරලා “සංගීත් ඔයා ලංකාවට ඇවිත් සින්දුවක් කරන්න” කියලා හැමවෙලේම වගේ මාව දිරිමත් කළා. ඒ හැමෝගේම ආශිර්වාදයෙන් තමයි මේ නිර්මාණවලට මට යන්න අවස්ථාව ලැබුණේ. මගේ අලුත් ගීතයටත් අනුරාධා නන්දසිරි මහත්මිය කතා කරලා සුභ පැතුවා. කලාවට තියෙන කැමැත්තට මම කවදාවත් ගීත විකෘති කරන්නේ නම් නැහැ. පිටරටවල තනු කවදාවත් මම කොපි කරන්නේ නැහැ. සංගීත ගමනේ මම හෙමින් හොඳ ගමනක් යන්න හැමවෙලේම උත්සාහ ගන්නවා.

 

සංගීත්ට ඉදිරියේදී සංගීත පැත්තෙන් තියෙන බලාපොරොත්තු මොනවාද...?

මට සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ අනුමැතියක් තියෙනවා නම් එතුමාගේ ගීතයක් ඒ සංගීතයට මගේ හඬින් එතුමා එක්ක ගායනා කරන්න හරිම ආසාවක් තියෙනවා. නමුත් මම දන්නේ නැහැ ඒක කොයිතරම් දුරකට හැබෑ වේවිද කියලානම්...