සංගීතා බිජ්ලානි යළි තිරයට ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200910-21

සංගීතා බිජ්ලානි සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ නිරූපිකාවක ලෙසිනි. ඉනික්බිතිව චිත්‍රපටි ක්ෂේත්‍රයට එක් වූවාය. ත්‍රිදේව් වැනි සාර්ථක චිත්‍රපටිවල රඟ පෑවත් 1996 තිරගත වූ ජගන්නාත් චිත්‍රපටියෙන් පසුව ඇය තිරයේ දකින්නට නොලැබිණි. මෑතක පුවත්පත් සාකච්ඡාවකට එකතු වෙමින් ඇය පැවසුවේ එදාමෙදාතුර චිත්‍රපටිවලට කොතෙකුත් ආරාධනා ලැබුණත් ඇය ඒවා නොපිළිගත් බවත්, එහෙත් දැන් ඇය නැවතත් රංගනයට පිවිසීම ගැන සිතා බලමින් සිටින බවත්ය. මේ කාලයේ චිත්‍රපටිවලින් පිළීබිඹු වෙන ප්‍රබල කාන්තා චරිතවලට තමා ඇල්මක් දක්වන බව ද ඇය කියන්නීය.

“මම චිත්‍රපටිවල වැඩ කළේ 80, 90 දශකවල.. ඒ කාලෙ නිළියන්ට මේ වගේ චරිත සමුදායක් තිබුණෙ නෑ.. ඒ හින්දමයි මම ක්ෂේත්‍රයෙන් ඈත් වුණේ.. ඒත් දැන් මට හිතෙනවා ආපහු එන්න කාලෙ හරි කියලා..” ඇය කීවාය.

සංගීතා බිජ්ලානි සහ සල්මන් ඛාන් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වූයේ ඔවුන් දෙදෙනාම නිරූපණ ක්ෂේත්‍රයේ සිටියදීය. සත්තකින්ම එය ඉතාම සුන්දර මෙන්ම සියලු දෙනාම දැන සිටි ආදර කතාවක් වූයේය. අවුරුදු දහයක්ම ඔවුහු එකිනෙකාටම වෙන් වී සිටියහ. සල්මන්ට එතරම් බැරෑරුම් ලෙස කාන්තාවක් වුවමනා කර තිබුණේ නම් ඒ සංගීතාම පමණකි. ඔවුන්ගේ සම්බන්ධය විවාහය තුළින් තවත් සවිමත් වෙනවා දකින්නට සියල්ලෝම ප්‍රිය කළහ. එහෙත් සියල්ල කනපිට පෙරලුණේ නොසිතූ ලෙසිනි.

1994 මැයි 27 දා සංගීතාගේත් සල්මන්ගේත් විවාහ මංගලෝත්සවය පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබිණි. එහෙත් හිටිහැටියේම සංගීතා පැවසුවේ තමා විවාහ උත්සවය අවලංගු කරන බවය. ඔවුන් දෙදෙනා එක වහලක් යටට වෙන ආකාරය දකින්නට පෙරුම් පිරූවෝ පුදුමයෙන් ගල් ගැසුණහ. සමහරු සංගීතාට දොස් පැවරුවේ ඇය සල්මන් ගේ ජීවිතය ද අපායක් කළ බැව් කියමිනි. එහෙත් සැබෑ සිද්ධිය දැන ගන්නට ලැබුණේ පසුවය. සල්මන්, සංගීතා සමඟ සම්බන්ධය තිබියදීම තවත් නිරූපිකාවක වූ සෝමි අලි සමඟත් සම්බන්ධයක් පටන් ගෙන තිබිණි. සංගීතා විවාහ උත්සවය අවලංගු කළේ එය ස්ථිර වශයෙන්ම දැන ගත්තාට පසුවය. පසු කාලයක සල්මන් ද තමා සංගීතාට ද්‍රෝහි වූ බැව් පිළි ගත්තේය. 1996 දී ඇය ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හෙබවූ මොහමඞ් අසාරුදීන් සමඟ විවාහ වූවාය. ඔහු නව්රින් සමඟ වූ නව වසරක විවාහයත් දරු දෙදෙනාත් අත් හැර දැමුවේ සංගීතා වෙනුවෙනි.

“මම සංගීතට ආදරේ කරන්න පටන් ගත්තෙ හුඟාක් කාලෙකට ඉස්සර දැන්වීමක් රූගත කරන අතරතුරයි.. එතකොට සංගීතා නිරූපණ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්.. මම ඇය දැක්ක ගමන්ම ආදරෙන් බැඳුණා.. ඒත් ඒක ඒක පාර්ශ්වික ප්‍රේමයක්..”

පසු කාලයෙක අසාර් පැවසුවේය.

එහෙත් ඔවුන්ගේ විවාහය පැවතුණේ 2010 දක්වා පමණකි. බැඩ්මින්ටන් ක්‍රිඩිකාවක වූ ජ්වාලා ගුත්තර් හා අසාර් අතර සම්බන්ධයක් ඇති වූ අතර සංගීතා ඔහුගෙන් දික්කසාද වූවාය. එහෙත් ඔවුන් අතර වෛරයක් නොවිණි. අසාර් 2014 මැතිවරණයට තරඟ කරද්දී සංගීතා ඔහුට උදව් කළාය. ඔවුන් දෙදෙනා නැවත වරක් එක් වෙනු ඇතැයි බොහෝ දෙනෙක් අනාවැකි පළ කළත් අසාර් තුන් වන වරට විවාහ වූයේ දිගු කාලීන මිතුරියක වූ ෂැනොන් මාරි සමඟය.

“එකට ඉන්න බැරි නම් වෙන් වෙන එක තමයි හොඳම විසඳුම.. ලෝකෙට පේන්න විතරක් අඹුසැමියෝ වෙලා දුක් විඳින්නෙ නැතුව..” සංගීතා කියන්නීය.