ෂාරුක් සහ අනුෂ්කා නැවතත් එකට රඟන ‘Zero’
මෙම වසරේ එළිදැක්වීමට නියමිතව ඇති ‘සීරෝ’ චිත්‍රපටය මගින් ශාරුක් ඛාන් තම රසික හමුවට පැමිණීමට නියමිතව තිබේ. මෙම වසරේ ශාරුක් රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටයද මෙය වේ. එමෙන්ම මෙම වසර තුළදී ඔහු රංගනයෙන් දායක වූ එකම චිත්‍රපටයද මෙය වේ.
හෙට එළිදැක් වීමට නියමිතව ඇති මෙම චිත්‍රපටයේ ප්රචාරක කටයුතු සඳහා විශාල වියදමක් දරා ඇති බවද ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. ආන්නද් එල් රායි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය ශාරුක් ඛාන් රංගනයෙන් දායක වන තවත් වෙනස් චිත්‍රපටයක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති.
මෙම චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් වන්නේ මෙහි නිෂ්පාදනය පිරිවැය දරන්නේ ශාරුක්ගේ බිරිඳ වන ගෞරි ඛාන්ට අයත් ‘රෙඩ් චිලී’ ආයතනය විසින් වීමයි. මෙම චිත්‍රපටය සඳහා කෝටි 200ක මූලික පිරිවැයක් වැය කර තිබේ. ෂාරුක් සමගින් කත්රිනා කයිෆ් හා අනුෂ්කා ෂර්මා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි.
හෙට තිරගත වීම ආරම්භ වීමට නියමිත මෙම චිත්‍රපටයට තිරගත වීමට පෙරම ඉන්දීය කෝටී 100ක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබුණි. ඒ මෙම චිත්‍රපටය විදෙස් රටවල ප්‍රදර්ශනය කිරීම සඳහා එක්තරා සමාගමක් විසින් ඉන්දීය රුපියල් කෝටි 100කට මෙම චිත්‍රපටය මිලදී ගැනීම හේතුවෙනි. ෂාරුක් රංගනයෙන් දායක වූ ‘ෆෑන්’ චිත්‍රපටය මෙන්ම මෙම චිත්‍රපටයත් වෙනසක් ඇති චිත්‍රපටයක් බවට පත්වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. මෙම චිත්‍රපටයේ එළිදැක්වූ ගීත යූ ටියුබ් ජාලය තුළ විශාල නැරඹුම් වාර්තා සඳහා තැබූ අතර, එම ගීත පැය 24ක කාලය තුළ මිලියන 24කට අධික ප්‍රමාණයක් නැරඹූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. එහි එක් ගීතයක් සඳහා බොලිවුඩ් නළු සල්මන් ඛාන් ආරාධිත රංගනයක නිරත වීමද විශේෂත්වයකි.
මෙම චිත්‍රපටයේ විශේෂ තවත් කරුණක් වන්නේ බොලිවුඩ් සිනමාවේ තරුවක් වන අනුෂ්කා ෂර්මා මෙහි ප්‍රධාන භූමිකාව නිරූපණය කිරීමයි. අනුෂ්කාගේ පළමු චිත්‍රපටය වන ‘රබ්නේ බනා දි ජෝඩි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඇය හැඩ කළේ ෂාරුක් ඛාන් සමගය. ෂාරුක් සහ අනුෂ්කා රංගනයෙන් දායක වන 05 වැනි චිත්‍රපටයටද මෙය වේ. 2008 වසරේදී තිරගත වූ ‘රබ්නේ බනා දි ජෝඩි’ චිත්‍රපටය මගින් සිනමාවට පිවිසි ඇය මේ වනවිට සම්මානලාභී නිළියක් වී හමාරය. 1988 වසරේ උපන් ඇය මේ වනවිට වෘත්තීමය රංගන ශිල්පිනියක් සේම නිෂ්පාදකවරියක් ලෙසද කටයුතු කරන්නීය.
උත්තර් ප්‍රදේශ්හි උපන් ඇය ක්ෂේත්රයට පිවිසෙනුයේ නිරූපිකාවක් ලෙසිණි. ඒ 2007 වසරේදීය. විලාසිතා නිර්මාණකරුවෙකු වන වෙන්ඩල් රොඩ්රික්ස්ගේ විලාසිතා දැක්මක් සඳහා දායක වීමෙන් ඇය එම ක්ෂේත්රයට පිවිසුණි. ඉන්පසු ඇය වෘත්තීයමය නිරූපිකාවක් ලෙස කටයුතු කිරීමට මුම්බායි සඳහා පැමිණි තිබේ. මුම්බායිහිදී යශ් රාජ්ගේ චිත්‍රපටයක තිර පරීක්ෂණයක් සඳහා ඇය දායක වී ඇති අතර, ඒ ‘රබ්නේ බනා දි ජෝඩි’ නම් චිත්‍රපටයයි. එතැන් පටන් ඇයගේ සිනමා ගමන ආරම්භ විය. එම චිත්‍රපට සඳහා බොලිවුඩයේ කින් ඛාන් ලෙස හඳුන්වන ෂාරුක් ඛාන් සමග රංගනයෙන් දායක වීමට වරම් හිමි කරගත් ඇය මෙම චිත්‍රපටය වෙනුවෙන් 2009 වසරේදී හොඳම නිළිය වශයෙන්ද නිර්දේශ විය.
ඉන්පසුව ඇයගේ දෙවැනි චිත්‍රපටය වූයේ 2010 තිරගත වූ ‘බද්මාෂ් කම්පැනි’ චිත්‍රපටයයි. එම වසරේදී ඇයට තවත් චිත්‍රපටයක් සඳහා අවස්ථාව උදා විය. ඒ ‘බෑන්ඩ් බාජා බාරත්’ නම් චිත්‍රපටය සඳහාය. 2010 වසරේදී තිරගත වූ තෙවැනි චිත්‍රපටය වන ‘බෑන්ඩ් බාජා බාරත්’ චිත්‍රපටය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙලේදී හොඳම නිළිය ලෙස ඇයගේ නාමය නිර්දේශ වී තිබේ. 2011 වසරේදී ඇය රංගනයෙන් දායක වූ ‘පටිලා හවුස්’ සහ ‘ලේඩිස් වෝස් රිකී බාල්’ චිත්‍රපට දෙකද ආදායම් අතරට පැමිණි චිත්‍රපට දෙකකි.
2012 වසරේදී තිරගත වූ ‘ජබ්තක් හේ ජාන්’ චිත්‍රපටයේ අනුෂ්කා විසින් නිරූපණ කළ පුවත් වාර්තාකාරිනියගේ චරිතය වෙනුවෙන් ඇයට එම වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම සහය නිළිය ලෙස සම්මානයට පාත්රවිය. 2014 වසරේ ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වූ ‘පීකේ’ චිත්‍රපටය එම වසරේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය ලෙසද නම් විය. අනුෂ්කා සහ ඇයගේ සහෝදරයා විසින් අධ්‍යක්ෂණය කළ 2015 වසරේදී තිරගත වූ ‘NH10’ චිත්‍රපටයේ ප්‍රධාන රංගනයද අනුෂ්කා විසින් සිදුකරන ලදී.
2015 වසරේදී ඇය රංගනයෙන් දායක වූ තවත් චිත්‍රපට දෙකක් වන ‘බොම්බේ වෙල්වට්’ සහ ‘දිල් දඩක්නේ දෝ’ චිත්‍රපටයද මූල්‍යමය වාර්තා අතරට පැමිණි චිත්‍රපට විය. 2016 වසරේදී ඉන්දියානු සිනමාවේ පෙරළිකාර චිත්‍රපටයක් වන ‘සුල්තාන්’ චිත්‍රපටයේද ඇය රංගනයෙන් දායක විය. 2017 වසරේ ෂාරුක් ඛාන් සමග ඇය රංගනයෙන් දායක වූ ‘ජබ් හැරි මෙට් සේගල්’ චිත්‍රපටයද බොහෝ දෙනාගේ ආදරය හිමිවූ චිත්‍රපටයක් විය.
2018 වසර ඇයට සුවිශේෂී වසරක් විය. මන්දයත් ඇය චිත්‍රපට 04ක් සඳහා මෙම වසරේ දායක වීම හේතුවෙනි. ඒ ‘පාරි’, ‘සන්ජු’, ‘සුයි දාගා’ සහ ‘සීරෝ’ චිත්‍රපටයයි. මේ වසරේදී ඇය දායක වූ චිත්‍රපට ආදායම් වාර්තා තබමින් තිරගත වූ හෙයින් හෙටින් තිරගත වීම ආරම්භ වීමට නියමිත ‘සීරෝ’ චිත්‍රපටයද ආදායම් වාර්තා අතරට පැමිණෙන චිත්‍රපටයක් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසයි.
ඩිලාන් ක්‍රිෂාන්ත