ෂාරුක් - ගෞරි විවාහ සංවත්සරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් පුරවරයේ විවාහ වැඩි ප්‍රමාණයකට එතරම් ආයුෂ නැති බැව් නොදන්නා කෙනෙක් නැත. බොහෝ ආදරයෙන් හා සාමයෙන් යුග දිවිය ගෙවන අය දුර්ලභය. එමෙන්ම ඔවුහු අනෙක් අයගේ ඇගයීමටත් පාත්‍ර වෙති. ෂාරුක්-ගෞරි එවන් බුහුමන් ලබන ආදර්ශමත් අඹුසැමි යුවළකි. 1991 දී විවාහ වූ තිදරු යුවළ ඔක්තෝබර් 25 දා ඔවුන්ගේ විවාහයේ 29 වන සංවත්සරය සැමරුවේය. 
ජනප්‍රිය නිළියක වන ෆරීඩා ජලාල් මෙහෙයවන වැඩ සටහනකට එක් වූ ෂාරුක් ඛාන් සිය විවාහ දිනයේ ඇතැම් මතකයන්  සිහිපත් කළේ සියල්ලන් සිනා ගන්වමිනි.  
“අපි විවාහ වුණේ හින්දු චාරිත්‍රානුකූලව.. ගෞරි ගේ පවුලේ හැමෝම පරණ තාලේ මිනිස්සු.. ඇත්තටම  මම ඒ සාම්ප්‍රදායික මිනිස්සු වගේම ඔවුන්ගේ විශ්වාසත්  හුඟාක් අගය කරනවා.. ඔවුන් ඒක දැනගෙන හිටි​ෙය නෑ.. මම එකයි කාලට විතර උත්සව ශාලාවට යනකොට නෑදෑයො හැමෝම මගෙ දිහාවෙ බැලුවේ නුහුරට කියලා මට තේරුණා.. “එයා මුස්ලිම් කොල්ලෙක්.. එයා ගෞරි එයාගෙ ආගමට හරවා ගනියි.. එයාගෙ නමත් වෙනස් කරයි..” වගේ දේවල් කියනවත් මට ඇහුණා.. ඉතින් මම හිතුවා එයාලට පුංචි විහිළුවක් කරන්න ඕන කියලා.. මම ගෞරිට කිව්වා බුර්කාවක් අඳින්න කියලා..”
ඔහු කීවේ සිනාසෙමිනි. 
එකී ලෙසම ගෞරි බුර්කාවක් පැළඳියාය. 
“දෙයියනේ.. දැනටම එයාව මුස්ලිම් ආගමට හරවාගෙනද..?”
මහ ඉහළින්ම හින්දු ආගම අදහන නෑදෑයෝ මවිතයෙන් එකිනෙකාගෙන් අසා ගත්හ. 
“අදින් පස්සෙ මෙයාගෙ නම අයේෂා.. මෙයා හැමදාම මේ විදියට බුර්කාව අඳින්න ඕන.. ඒ වගේම මෙයාට ගෙදරින් එළියට බහින්නත් බෑ..” 
ෂාරුක් බැරෑරුම් හඬින් නිවේදනය කරද්දී නෑදෑයෝ බොහෝ කම්පනයට පත් වූහ. එහෙත් පසුව සත්‍යය දැන ගත් විට ඔවුන්ට සිනාසෙන්නට මුවවල් මදි වූයේය. 
මේ වන විට ඔවුහු තමතමන්ගේ ආගම් පාඩුවේ අදහති. ඒවාට ගරු කරති. තමන්ගේ දරුවන් සියලුම ආගම්වලට ගරු කරනවා දැකීම තමාගේ එකම සතුට බැව් ෂාරුක් කියයි. 
 
චන්දි කොඩිකාර
 
20201110Sharuk (1) 20201110Sharuk (2)