ෂාරුක් ඛාන් ට 55යි
නොවැම්බර් දෙවෙනිදා ෂාරුක් ඛාන් සිය 55 වෙනි උපන් දිනය සැමරුවේය. වෙනදාට ඔහු සිය උපන් දිනයට සුබ පතන්නට මන්නාත් මැදුර ඉදිරිපිට එක් වෙන රසිකයන්ට ආචාර කිරීම සඳහා එහි සඳැල්ලට පිවිසෙන්නේය. එහෙත් මෙවර ඔහුට එසේ කරන්නට නොහැකි වූයේ ඔහු අයි. පී. එල් තරඟාවලිය වෙනුවෙන් ඩුබායි නගරයට ගොස් සිටීම නිසාය. කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරුවන් වන්නේ ෂාරුක් සහ ඔහුගේ පැරණිම මිතුරියක වන ජූහි චව්ලාය. අනූව දශකයේ රිදී තිරයේ ජනප්‍රියතම පෙම් යුවළ වූ ෂාරුක් සහ ජූහි චිත්‍රපටි අටක එකට රඟ පෑහ. වෙන කිසිම නිළියක සමඟ ඔහු එතරම් චිත්‍රපටි ප්‍රමාණයක රඟ පා නැත. ඔහුගේ උපන් දිනය වෙනුවෙන් තමා පැළ පන්සීයක් රෝපණය කළ බැව් ඇය සිය උපන් දින සුබ පැතුමේ සඳහන් කර තිබිණි. බොලිවුඞ් පුරවරයේ අය පමණක් නොව ලොව පුරා ඔහුගේ රසිකයන් වෙතින් ද ලැබුණ සුබ පැතුම්වලින් සමාජ ජාලා වෙබ් අඩවි පිරී තිබිණි. ෂාරුක් ඔවුන් සියලු දෙනාටම ස්තුති කළේත් ඒවා හරහාමය.
මේ අතර ඔහුගේ ද්විත්වයා ලෙස බොහෝ දෙනෙක් හඳුනන, ඔහුගේ රුවටම සමාන රුවක් ඇති ප්‍රශාන්ත් වාල්දේ විසින් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියේ පළ කර තිබු පුවතක් සියලු දෙනාගේම සිත් පැහැර ගන්නට සමත් වූයේය. එහි වූයේ ෂාරුක්ගේ ප්‍රතිමූර්තියක් බඳු වීම නිසා ඔහුට මුහුණ දෙන්නට සිදු වූ අකරතැබ්බයකි. ෂාරුක් රඟ පෑ බොහෝ චිත්‍රපටි සහ වෙළෙඳ දැන්වීම්වල ඔහු ද ෂාරුක් ගේ ්ද්විත්වයා ලෙස රඟ පා තිබේ. සාමාන්‍යයෙන් ෂාරුක් ගේ උපන් දිනය දවසේ ප්‍රශාන්ත් කරන්නේ කේක් එකක් කපා ඔහුට චිර ජීවනය සහ යහපත් වෘත්තීය ජීවිතයක් ප්‍රාර්ථනා කිරීමය.
එහෙත් පසුගිය වසරේ මේ ක්‍රමය වෙනස් වූයේය.
“2019 නොවැම්බර දෙවෙනිදා මම හිටියෙ බන්ද්‍රාවල.. ඉතින් මට හිතුණා ෂාරුක් ගෙ ගෙදරට ගිහින්ම ඔහුට සුබ පතන්න.. මම මල් පොකුරකුයි කේක් එකකුයි අරගෙන මන්නාත් මැදුරට ගියා.. ඒ වෙනකොට ලොකු පිරිසක් ෂාරුක් බලන්න මැදුර ඉස්සරහ රැස් වෙලා හිටියා.. මම ෂාරුක් ගෙ කාර්ය මණ්ඩලයට කතා කළා.. එයාලා කිව්ව දවල් එකට ෂාරුක්ව හම්බ වෙන්න පුළු්වන් කියලා.. එතකොට වෙලාව එකොළහයි.. ඉතින් මම ආපහු යන්න හිතලා මගේ වාහනේ ළඟට ගියා.. එතකොටම මට ඇහුණා පිටිපස්සෙන් මිනිස්සු දුවගෙන එනවා ෂාරුක්.. ෂාරුක් කියකියා.. මට තේරුණා ඒ අය රැවටිලා කියලා ඒත් මට වාහනේට නැඟ ගන්න ඉඩක් ලැබුණේ නෑ.. මිනිස්සු මාව වට කර ගත්තා.. සමහරුන්ට මාත් එක්ක සෙල්ෆි ගන්න ඕන වුණා.. සමහරු සතුටට අඬන්න පටන් ගත්තා.. මං හිටියෙ කරකියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා.. වාසනාවකට වගේ පොලීසියෙන් ඇවිත් මාව බේරා ගත්තා..”
ප්‍රශාන්ත් එදා සිදු වීම විස්තර කළේ එසේය.
එහෙත් පොලීසිය සිතුවේ ඔහු හිතාමතාම ෂාරුක් ලෙසින් සැරසී පැමිණ කලබලයක් නිර්මාණය කළ බවය. එම නිසා ඔවුහු ඔහු පොලීසියට ඇදගෙන ගියහ.
“මේ අතරේ ෂාරුක් ගෙ ස්ටාෆ් එකේ එක්කෙනෙක් කතා කරලා කිව්වා දෙක වෙනකොට ෂාරුක්ව හම්බ වෙන්න එන්න කියලා.. ඒත් ඒ වෙනකොට පොලීසිය මට අවවාද කරලා තිබ්බෙ ආය කවදාවත් මේ පැත්තෙ කරක් ගහලා තිබ්බොත් එහෙම බලාගෙනයි කියලා.. ඉතින් මම එන්න ආවා..” ඔහු කියා තිබිණි.
දශක ගණනාවක් එකම ආකාරයට ජනප්‍රියත්වය රැකගෙන සිනමා ක්ෂේත්රයේ රැඳී සිටීම සුළුපටු හපන්කමක් නොවේ. එහෙත් ෂාරුක් ඒ හපන්කම කළේය. ඔහු කියන්නේ තමන්ගේ රඟපෑම්වලින් ජනතාව තෘප්තිමත් වෙනවා දැකීම තරම් සතුටක් තමාට තවත් නැති බවය. එපමණක් නොව ඔහුට ආදරණීය පවුලක් ඇත්තේය. බිරිඳ ගෞරි සහ දරුවන් තිදෙනාට ඔහු බොහෝ සෙයින් ආදරය කරන්නේය.
උපන් දිනය වෙනුවෙන් පළ වූ තවත් ලිපියක ඔහුගේ ආහාර පුරුදු ගැන ද සඳහන් කර තිබිණි. ආහාර යනු දෙවියන් වහන්සේගෙන් ලැබුණ ආශීර්වාදයක් බැව් අදහන නිසාම ඔහු කෑම පිළිබඳව එතරම් කරදර වන්නේ නැත. ලැබෙන ඕනෑම දෙයක් ආහාරයට ගන්නා නමුත් කෝපි බීමට නම් ඔහු දක්වන්නේ බලවත් ඇල්මකි.
“මම වතුර බොන්නෙ නෑ.. වතුර වෙනුවටත් බොන්නෙ කෝපි.. දවසකට මම කෝපි කෝප්ප තිහක් විතර බොනවා..”
ඔහු කියා තිබුණේ සියල්ලන් පුදුමයට පත් කරමිනි.
චන්දි කොඩිකාර